සුන්දර මතක දිගේ
අපි විවාහ වෙලා මේ ඔක්තෝම්බරයට අවුරුදු හතලිස් දෙකක්. ඉතිං එයින් අවුරුදු තිස් හතක් ඔයා මාත් එක්ක ආදරෙන් හිටිය.
එක්තරා වෙසක් දවසක සැම්බියාවේ , ලුසාකා නගරයේ පුරා හඳ පිරි හැන්දෑවක මගෙ අත ඉල්ලපු ඔයා හැමදාම ආදරෙන් ඒ අත අල්ලාගෙන හිටියෙ බොහොම ආදරෙන්. අපි දෙන්නටම අපේ අත් මඟහැරුණේ නෑ එකම දවසක් වත්. එහෙ ඉන්නැත්දි , හැම තැනම ක්‍රිකට් මැච් වලට පවා අපි ගියෙ එකට. බබාල ලැබෙන්න ඉන්නැත්දි උනත් ඒ අමාරුකම් විඳගෙන මම හිටියෙ ඔයා එක්ක. පැවිලියන් එකේ මම වාඩිවෙලා ඉන්නැත්දි මගේ ලඟින්ම වහලෙ කඩන් වැටෙන්න ගැහුව හයේ පාරවල් මම ආඩම්බරෙන් බලා හිටිය. අදටත් පුදුමයි මට තුවාලයක් නොවී ඔයා එහෙම කරපු හැටි. පුතාල එක එක්කෙනා එකතුවෙත්දි අපේ පවුලට ඔයාගෙ ආදරේ කවදාවත් බෙදුනෙ නෑ. මට තිබුන ආදරේ ගරුත්වය සෙනෙහස හැමදාම එක ලෙස ඔයා ආරක්ෂා කලා.
අපි අප්‍රිකාවේ හැම තැනම ඇවිද්දා. සමහර ගමන් මගෙ ජීවිතයේ ලස්සනම මතක. ඒ හැම මතකයක්ම මගේ ලෝකෙම සුන්දර කලා. හැම ගමනකදිම මාව දරුවන්ව සුව පහසුවෙන් තියන්න ඔයා උපරිමයෙන් උත්සාහ කලා.
රැකියාව , ක්‍රිකට් එක්ක ඔයා කොච්චර කාර්ය බහුල උනත් අපේ හැම දෙයක්ම සොයා බැලුව. ඒ අතරෙදි හැම උත්සවයකම අපිත් එක්ක සහභාගි උනා. ඒ එකක්වත් මඟහැරියෙ නෑ.
පුතාල තුන්දෙනා තමයි ඔයාගෙ මුලු ලෝකෙම උනේ. මොනතරම් වැඩ රාජකාරි මැද්දෙත් ඔයා එයාලට උපරිම ආදරේ දුන්නා. එයාලට මට රැකවරණය දුන්නා. ගැහැනියකට තමන්ගෙ පියාගෙන් ලැබෙන රැකවරණය වගේම තම ස්වාමියාගෙන් ලැබෙන රැකවරණය ලබන්න මම හරිම වාසනාවන්තයි. හැම පුංචි සැමරුමක්ම අපි ආදරෙන් සැමරුවෙ එකට. දරුවන් ගේ උපන්දිනය , අපේ විවාහ සංවස්තර පවුල ඇතුලෙ ලස්සනට පිළිවෙලින් අපි කලා.
ලොකු පුතාට අවුරුදු හතර ලබත්දි අපි ලංකාවට එන්න තීරණය කරනව. ඒ පුතාව ආනන්දයටම යවන්න ඔයාට තිබුනා ආසාව නිසා.
අපි ලංකාවට ඇවිත් බිංදුවෙන්ම ජීවිතය පටන් ගන්න උනා. අම්මලත් ලඟ නැතිව ඒ ආපු ගමන ලේසි උනේ නෑ. පුංචි පැටව් තුන්දෙනාගේ උවමනා එපාකම් එක්ක ලොකු දුෂ්කර ගමනක් යන්න තිබුනා අපිට. ඒත් අපි එකට හැමදෙයක්ම දරාගෙන ආව.
ලොකු පුතාව ආනන්දයට දාගත්තෙ ඔයාගෙම උනන්දුවෙන්. ඒ කාලෙ ඔයාගෙ කසින් අයියා කෙනෙක් අපිට නොසෑහෙන්න උදව කලා. ඊලඟට පොඩි පුතත්, ඊලඟට චූටි පුතත් ඔයාගෙම ඉස්කෝලෙට යනවා. ආඩම්බරකාර තාත්තා නිතරම එයාල දිහා බලාගෙන සතුටු උනා.
අපේ ජීවතත් කෙමෙන් කෙමෙන් වෙනස් උනා. ඔයා මට ආයෙත් ඉගෙන ගන්න උදව් කලා. ඒ හැම දෙයක් අතරේ මට ආයතනයේ වගකීම් ටිකෙන් ටික පැවරුවා. ඔය අතරේ අපි අතරේ මත ගැටුම් තිබුනත් මට ලොකුවට ඒවා ඇදන් යන්න ඔයා දුන්නෙ නෑ. එතන මම ඉවසුවාද ඔයා මම නිසා ඉවසුවා ද කියල කියන්න මම අදටත් දන්නෙ නෑ. ගොඩක් වෙලාවට අපි අපිට ගලපගත්තා කියල තමයි මට හිතෙන්නෙ. ඔයාගෙ හීන හැම එකක්ම මගෙ අතින් පාට උනා. මගේ හීන ලස්සනට ඔයා පාට කලා. අපි අපිව ලස්සනට පාටකරන් ජීවිතය ඉස්සරහට අරන් ගියා.
ඉවසීම , දරාගැනීම , කරුණාව, මුදිතාව සෙනෙහස, ආදරය අපේ ජීවත තව තවත් ලස්සන කලා.
කෙමෙන් කෙමෙන් අපි වියපත් වෙනකොට දරුවන් විවාහ වෙලා අපේ කැදැල්ලෙන් පියාඹලා ගියා. ඒ වෙනකොට ඔයාගෙ ව්‍යාපාර සේරම හොදින් කෙරුනා. අපි අපේ ව්‍යාපාර වලින් ඈත් වෙලා පොඩි විවේකයක් හෙව්වා. ටිකෙන් ටික ව්‍යාපාරයත් කඩන් වැටෙන්න ගත්තා.
අපි අපේ තැන් විකුනලා දරුවන්ට එයාලගෙ තැන් හැදුවා. ඒ දිහා බලාගෙන ඔයා සතුටු උනා.
කවදාවත් මගේ ඉවිල්ලකටවත් ඔයා ඇඟිලි ගැහුවේ නෑ. මට ඕනෙ විදිහට හැමදේම සතුටින්ම කරන්න ඉඩ දුන්නා. මට ඕනෙ වෙලාවට නිදහසේ අඬන්න , ඔයාගෙ පපුවෙ ඔලුව හංඟාගෙන ඉන්න හැම මොහොතේම මට ඉඩ තිබුනා . ඔයා ලඟ මට හැමදාම සතුටු වෙන්න සෙනෙහෙබර නවාතැනක් තිබුනා. අපි අතරේ තිබුන ඒ ආදරණීය බැඳීම නිසා හැම මොහොතක්ම මම ගෙව්වෙ අප්‍රමාණ සැනසීමකින්. ඒක කොච්චර වටිනවාද කියලා තේරෙන්නෙ දැන්.
ඔයාගෙ පුංචි මුණුපුරන් හතරදෙනාම දැන් ටිකෙන් ටික ලොකු වෙනව. එදා වගේම අරිත් පුතා ඔයාගෙ ඉස්කෝලෙට යන බව දැනගත්තොත් ඔයා හරියට සතුටු වෙයි. නදිත් ගොඩක් දුරට ඔයා වගේ. ඔයාව නිතරම ලොකු මුණුපුරන් දෙන්න මතක් කරනව . රියෝන් ඔයාගෙ උපන්දිනය දවස තෝරාගත්තෙ එයාගෙ ක්‍රිකට් නොම්මරේට . ඒක එයාගෙ ආසාව.
ඒ ඔයා එයාලගෙ ලෝකෙ පිරෙව්වෙ ආදරෙන් නිසයි. ඒ සුන්දර මතකයන් සීයා දුන්නා කියලා එයාල නිතරම මතක් කරනවා.
හැමදාම මගේ අත අල්ලාගෙන ගිය පාරවල් වල අද මම තනියම යනවා. කියා දුන් ජීවිතය ලස්සනට ඉස්සරහට ගෙනියනව. පුලුවන් තරම් පින් පුරවනව. ඒක තමයි මට සැනසීමට තියෙන එකම දේ. ඔයාට ඉක්මනින්ම මේ සසර කෙළවර කරන්න ලැබේවා !
🩷🙏🩷

අක්කා 🩷❤️💜 අයියා සන්තෝසෙන් ඔයාල දිහා බලාගෙන ඇති
ReplyDeleteබොහොම ස්තූතියි නංගි. 🩷
Delete🙏
ReplyDeleteලියා තැබීමත් එක විදියක අත්හැරීමක් තමයි.
ReplyDeleteSending love චන්දි අක්කා. ජීවිතේ හොඳින් සතුටින් ඇරියස් න්ථිව ගත කලාම.. ඒවා සුන්දර මතක වෙනවා. හැමදාම ඉස්සර වගේම සතුටින් ඉන්න. 💜️
ReplyDeleteඔහු අපගේ මුලස්ථානයේ ආදරණීය සහෝදරයෙක්. පක්ෂයේ අපි ඔහුව ආමන්ත්රනය කරේ කිත්සිරි සහෝදරයා කියලා.
ReplyDeleteපක්ෂය යලි ගොඩ නැගීමට කිත්සිරි සහෝදරයා කල මෙහෙය ආසමසමයි.
අභාවයට පත් කිත්සිරි සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය.
හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් අපි ඔහුව සිහි කරමු.
🙏🙏🙏
ReplyDelete