Friday, May 17, 2013

වෙන්වීම.




අතැඟිලි බැන්දත් රන් හුයකින්
දෙදෙනා වෙන් වී ඇත මෙලෙසින්
දරා සියලු දුක් දියණිය සමඟින්
මඟ බලාන  ඉන්නේ මෙලෙසින්

පාළු යහන මත සුසුම් ලමින්
සුවඳ රැඳුන ඔබෙ ඇඳුම් අරන්
දියණිය කියනා කතා අසන්
ඉන්නේ කොහොමැයි කඳුළු වරන්

වරදක් උනිද නොදනිමි හිමි සඳට
ගියේ ඇයිද මා හා දියණිය අතැර
කෙනෙක් ඔබට ලංවූයේ ඇයිද
සෙනේ මදිද මා දුන් ඔබ අතට


මවක් වුනෙමි දියණිය හා ඔබට
නොතැවෙමි අදත් සිතමින් ඒ ගැනම
සාදා ඇතිද රස මසවුළු ඒ පියඹ
කවදා හරිම ඒවිද හීන අරන් ඔබ



දවයි ම'සිත ඔබ සිහිවෙන වාරයට
කොහේ සිටන් හෝ මා අමතාවිද
ලඟට ඇවිත් කියා රහස්  හුරතලේට
ඔච්චම් කරන හැටි මැවෙනව නෙතු අගට



වෙන්ට එපා හතුරෙකුට වත් මෙවන් දුකක්
තරහක් නොමැත ඔබ ගැන මට කවදාවත්
පතිවත රකිමි හිමි සඳ අද ලඟ  නැතිවත් 
රැක ගමි ඔබගේ දියණිය මා දෑස ලෙසින්


සසරේ දුකම මේ යැයි සිත සනහා
ඉන්නෙම් දහමටම සිත යොමු කරවා
ඔවදන් දෙවා දියණිය යහ මග හරවා
මියයන තුරා රැක ගෙන ඈ දෑස ලෙසා

Tuesday, May 7, 2013

අමා ගීතය




සිහිනයක් විය එදා සැරිසරන්නට බුද්ධගයාවේ
පින ලැබුනා මට සිත්සේ වඳිනට බුද්ධගයාවේ
අසිරිමත්වූ ඒ බුදු පිළිමේ දැක්මෙන් සිත සැනහේ
සාදු! සාදු! මම වඳිනෙමි  ශ්‍රී මහ  බෝ සමිඳේ



දම්සක් සුතුරින් ලොව සැනසූ මේ දෙවුරම් වෙහෙරේ
පහන් සිතින් සැරි සැරුවා ආනන්ද බෝධි මළුවේ
ගන්ධ කුටිය ලඟ මල් පුදලා අප  බුදු හිමි වැඳගත්තේ
සත්බුදුවරු සිහි කරමින්  වැඳ වැඳ නිර්වානය පැතුවේ



දහසක්  දෙවියන් අදටත් වඬිනා මේ දෙවුරම් වෙහෙරේ
නිවේ නිවේ සිත සැනහී දහමේ නිවන් පුරේ ළඟ වේ
පුන්සඳ පානේ දහම් දෙසූ සැටි මැවී මැවී පෙනුනේ
සිත බරවූවා අදටත් සමිඳුනි අප මේ දුක් සසරේ









සල් මල් පිපි සීතල උදයක අප යන ඒ මොහොතේ
කුසිනාරවට මල්වැසි වැස්සා සිහිකර  පිරිනිවණේ
සාදු! සාදු! අප වැන්ඳා වැතිරී ඒ සුන්දර පිළිමේ
කඳුළු ගලා සිත පිරුනා ශෝකෙන් අද හිමි ඔබ නැහැනේ




දෙදහස් හයසිය වසරක් ගෙවිලා දහමේ බල පැතිරේ
අදටත් සත්තයි ඒ බුදු බණ දැන නිවනේ මඟ පෙනුනේ
අසිරිය වින්දා හිමි ඔබ වැඩි මඟ පියමණිමින් සසරේ
සාදු! සාදු!  මා  ඉපදුනෙ පිනටයි  බොදු මවකගෙ තුරුලේ