Saturday, September 24, 2011

සෙනෙහසක මහිම - 2වන කොටස.



අපි ප්‍රැන්සිස් ටවුමට එනකොට රෑ වෙලා. ඉතින් නැවතුනේ ලස්සනම තැනක. ඒ තැන චැලේස් ක්‍රමයට හදාපු ඉතාම මනරම් ස්ථානයක්.

මම මගෙ මතක කාලෙක නැවතුන ලස්සනම තැනක් එතන. තාමත් ආසයි ආයෙත් යන්න ඇත්නම්. අපිට මුදල් ඉතිරි කරගන්න ඕනෙ උනත්, මගෙ මහත්තයා මට තියෙන ආදරේටම මෙතන නවාතැන් ගන්න හිතුවා කියල මට හිතුන. ඒ මටයි පුතාටයි දුර ගමනකට පස්සේ හොද නින්දක් හා විවේකයක් අවශ්‍යයි කියල හිතල වෙන්න ඇති. එයාට මට වඩා මහන්සි ඇති, ඒ උනත් මට පෙන්නුවේ නෑ. මාව නිතරම සතුටු කරන්නනේ හිතන්නෙ. අපි හොදට කෑම වේලක් අරන් නිදා ගත්තා එළිවනතෙක් නිදහසේ.


අපි උදේ ටිකක් දවල්වෙලා තමයි නැඟිට්ටෙ. හදිසියක් නෑ යන්න. ඊලඟ නැවතුම සිම්බාබ්වේ හරහා සැම්බියාවට. සිම්බාබ්වේ අප්‍රිකාවෙ තියෙන තවත් ලස්සනම රටක් , මීට අවුරුදු ගානකට කලින් මම තාත්තලත් එක්ක එහේ ආවා මට මතකයි. අපි කට්ටියක් ලංකාවෙන් ආව යහලුවෝ සමඟ ඇවිත් ගියා, ඒ කාලෙ. දැන් නම් කාලයක් ගිහින් ඒ උනත් මතකය එහෙමම.


අපි බඩඉරිඟු යායවල් මැදින් ආව, මේ රටේ ගොඩාක් බිම් වගා කරනවා. කලින් හිටිය විදේශිකයන් තමයි බොහොමයක් බිම් වගා කරන්නෙ. ඒ අය තමයි වැඩි බිම් ප්‍රමාණයක් අයිතිකරගෙන ඉන්නෙ. සැම්බීසි ගඟේ සරුසාරම ප්‍රදේශය මේ හරියද? කියල හිතෙනවා මේ කෙත්වතු දැක්කම. පාරවල් එක දිගට පේන පලල් මාර්ග. අප්‍රිකාවෙ ගමනක් යනකොට හරියට අනුරාධපුර පොලොන්නරු යනවා වගේ. වැඩිය උස ගස් නම් දකින්න නෑ. පතන් බිම් තමයි වැඩි පුරම දකින්නට තියෙන්නෙ. වැඩි හරියක් සෝයා , රටකජු, බඩ ඉරිඟු, ඇපල් , පීචස්,වගේ දේවල් සමඟ සත්ව පාලනය කරනවා.


අපි බුලවායෝ නගරය හරහා ලිවින්ග්ස්ටන් නගරයට යන්න ඕනේ. කිලෝ මීටර් හාරසිය විස්සක් වගේ. හයිවේ පරවල් නිසා ඉක්මනින් යන්න පුලුවන්. අපිනම් වැඩි වේගයයෙන් යන්නෙ නෑ. පරිස්සමින් යන්න ඕනෙ පුතා ඉන්න හින්දා. මේ ගමන එයාට වෙහෙසයි. ඒ උනාට මගේ අතේ මට කරදරය්ක් නොවෙන්න එයා හිටියා. මගදි ඇඩුවෙම නෑ වගේ.


බුලවායෝ ටවුමෙන් දවල් කෑම කාල පිටත් උනා ලිවින්ග්ස්ටන් දේශසීමාවට එන්න. එතනදි සිම්බාබ්වේ පැත්තෙන් ඇවිත් සැම්බියාව පැත්තට එන්න ලැබුනෙ අන්තිම කාලසීමාවෙදී. වික්ටෝරියා ඇල්ල හරිම ලස්සනට පේනවා පාලම උඩින් යත්දි. අපිට පුතා එක්ක හිටිය නිසා වැඩිය කරදරයක් නැතිව ඉක්මනින්ම වැඩ කටයුතු කරල දුන්න ඒ නිලධාරින්. අවශ්‍ය ලියකියවිලි ලග තිබුනහම කරදරයක් නෑ. අපි වෙනදා වගෙම සැම්බියාව පැත්තට ආවහම හරිම සහනයක් හිතට දැනුන, ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, අපේ රටට අපි ආව කියන හැගීම නිසා. තව කොච්චර දුර යන්නද? ඒ උනාට රට ඇතුලෙනේ ඉන්නෙ කියන හැගීම තියෙනවානේ.


වෙනදා වගෙම මොසියොටුනියා ඉන්ටර් කොන්ටිනෙන්ටල් අපේ නිවහන උනා එදා රැයට. අපේ මධුසමය ගතකල තැන. අපිට හුරුපුරුදු තැන. මම හරිම ආසාකරන තැනක් ඒ හෝටලය. දියඇල්ල ලගත් ටික වේලාවක් ඉදල ගියෙ එතනට. හොද නිවාඩු පාඩුවේ හිටිය එතන. අම්මලාට කතාකරල අපි ආව බව කිව්වා. එයාලට සතුටුයි කරදරයක් නොමැතිව ආව එකට. පුතා හොදට හිටිබව කීවම තවත් සතුටුයි.


ලුසාකාවලට එන්න උදේම පිටත් උනා. හවස් වෙනවිට එහෙට ආව. මගෙ අම්මලාගෙ ගෙදර නැවතුනා. හැමෝම පුතාවටේ. නංගිලට ඉවරයක් නෑ. අපිට සලකන්න හැමතැනම යනවා බබාව අරන්. සතුටින් දවස් දෙකක් එහේ හිටියා. ඊළගට අපේ නිවහනට එන්න පිටත්වූනා. දවල් වෙන්න ආව අපේ ගෙදරට. කාර් එක සුද්ද පවිත්‍ර කරල තිබ්බ. දැන් හිතුවට වඩා ඒක ලස්සනයි.


ඔහොම මාස එක දෙක ගෙවිලගියා. පුතාගෙ පලමුවෙනි උපන්දිනේ ආව. මම මුලින්ම දානයක් දුන්න ඒ මාසෙ වැඩිහිටි නිවාසයට. ඊට පස්සෙ අපෙ ලගම හිතවත් අය සහ අම්මලා දෙගොල්ලන්ටම එන්න කියල පොඩි සංග්‍රහයක්. බබාට නම් තේරුමක් නෑ. අපේ ගෙදර බීම පාටි නැතිනිසා සින්දු කියල දවස ඉවර කලා. හැමෝටම හරිම සතුටුයි.


දෙවන උපන්දිනය එනකොට පුතාගෙ සුරතල් කතා ගොන්නක් එකතුවෙලා. වතුර කෝප්පෙ- වොටර් කප්පෙ, කිරි බෝතලය - කුක්කු බොතෙ, ක්‍රිකට් කලබ් - ක්‍රිකට් කලබ්බෙ , යන්න - ගෝ අවේ, බම්ප්ස් උඩින් යනකොට - ආ දෙයාර් බම්ප්ස්, තැන්ක්යූ - තැන්කූ, වගේ වචන එයාගෙ වචන මාලාවෙ තිබුන. මල්ලි බබෙක් ගේනබව කිව්වම හරිම සතුටුයි. මල්ලි ඉපදුනාම වැඩියම සතුටු උනේ පුතා. ඉඹිනවා ඉවරයක් නෑ. අතගානවා හරිම ආදරෙයි. කවදාවත් මල්ලිට හිරිහැර කලේ නෑ. මල්සි තමයි එයාගෙ ලෝකෙ. තාත්තා සමග හැම මැච් එකකටම යනවා. මාත් එක්ක. හුරේ දානවා ලොකු එක්කෙනෙක් වගේ. ෆොර් රන්ස් කියල මහ හයියෙන් කෑ ගහනවා. උස්සගන්නවත් බැරි තාත්තිගෙ බැට පිති අරගෙන එයා ප්‍රැක්ටිස්. ග්‍රවුන්ඩ් එකට ගිහාම හැමෝම දන්නවා. හැමෝම එක්ක කතාව. එයාව බලාගන්න සැම්බියන් කෙනෙක් හිටියා, චිලේෂි කියලා. අවුරුදු 19 ක් වගේ. එයා එක්ක හරිම යාලුයි. එයාතමයි මෙයාගෙ හැමදෙයටම පස්සෙන් යන්නෙ. හොද කොළුවා. ඒ දෙන්නගෙ තිබුන බැඳීම හරිම පුදුමයි. එයා තාම එහේ ඉන්නවාද? කියල දන්නෙ නෑ. අපි එහෙන් ආවාට පස්සෙ අපේ අම්මල ලග තමයි හිටියෙ, ඊටත් පස්සෙ අම්මල එයාට පොඩි මල් හා ගෙවතු අලංකරනය කරන කොම්පැනිය භාරදීල ආවා. එයා අපිට සහ අම්මලාට කල උදව් වලට හිලව්වට. එයා අපිට කාලයක් ලිපි ලීවා. දැන් කාලෙක ඉදන් කිසිම තොරතුරක් නෑ. අපි ඉන්නකාලෙ හිටිය යාළුවෝ ගොඩක් ඒඩ්ස් රෝගයෙන් නැතිවෙලා. ඒ ගැන හිතන කොට හරිම දුකයි.


ඉතින් මල්සි, ඉපදුනාට පස්සෙ ලොකුගෙ මුලු ලෝකෙම මල්සි. හුරතල් වෙන්නෙ, ආදරේ කරන්නෙ, කතා බහ, සෙල්ලම් හැම දෙයක්ම මල්සි එක්ක තමයි. අපි ලඟට එන්නෙ ඉතින් මොනව හරි ඕනෙ උනාම තමයි. ක්‍රිකට් වලට ගිහාම, මල්සිගේ අත් අල්ලාගෙන තාත්තිට අත්පොළසන් දෙනවා , මල්ලියට ඕවා ගානක් නෑ පුෂ්චෙයාර් එකේම නිදි. මෙයා එයාව ඇහැරනවා, "මල්සි , දෙයාර්...දෙයාර් ෆෝ රන්ස්, කැලැප්, කැලැප් මල්සි "කියලා. මල්ලි ලහිරු, උපන්නෙ පුතාට අවුරුදු දෙකහමාරෙදි විතර. ඉතින් ඒ කාලෙදි ලොකුට හොඳට තේරෙනවා. ලොකුකම හිතට අරන් තමයි වැඩ. මල්ලිව බලාගන්න, අඬනකොට මට බනින්න ගන්නෑ කියල, මල්සිට බඩගිනියි, නිදිමතයි කියන්නෙ සේරම කරන්නෙ ලොකූ. සැම්බියාවෙ හිටිය අපේ යහළුවන්ට නම් මතක ඇති, මල්සි ලඟට කවුරුහරිම ආවොත් එලවනවා ගෝ අවේ....කියල. කාටවත් ලංවෙන්න බෑ මල්සිව හුරතල් කරන්න. එයාගෙ අමුතු භාෂාවක් තිබුනා කතාකරන, ඒ භාෂාවෙන්ම බනිනවා. අපිට හරිම හිනා ඒ කතා ඇහුවම. කොහෙන් ආව වචන මාලාවක් ද දන්නෙ නෑ. මල්ලියා උපන් වෙලාවෙත් තාත්තා මගේ ලඟම හිටියා. මල්ලි අයියට වඩා ලොකුයි උපදින කොට. හරිම මහතයි. මට ටිකක් අමාරු උනා ඒ වෙලාවෙ. තාත්තගෙ උපන්දිනය දවසෙම මල්ලි උපදීවි කියල හිතුවට දවසක් කලින් මල්ලි ඉපදුනා.


අනෙක් කොටස ලඟදීම බලාපොරොත්තු වන්න......







Thursday, September 15, 2011

සෙනෙහසක මහිම.


දකුණු අප්‍රිකාව


බොට්ස්වානා

ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. අපිට දේවල් ලැබෙන්නෙත් මහ පුදුම විදිහට . අපේ පවුලට දියණියක සෙනෙහස අහිමි උනේ පෙර අපි කරපු කර්ම ශක්තීන් නිසාම වෙන්න ඇති. මගේ හිතේ නම් හැබැයි , දරුවො ලැබෙන්න ඉන්න වෙලාවෙ වැඩි කැමත්ත තිබුනේ පුතාලට කීවොත් නිවැරදියි. මගෙ මහත්තයා නම් දුවෙකුට ආසාකල බව දැන ගත්තෙ චූටිම පුතා හම්බවෙලා මාස ගානකට පස්සෙ මට ලියපු කාඩ් පතක් කාර් එකේ කබි හෝල් එකේ තියල දැක්ක වෙලාවේ. මට මොහොතෙ හිතට දුකක් ආවත් පස්සෙ ගැන තරම් හිතුවෙ නෑ . කාලයත් එක්ක අපි අපේ ජීවිත සටනට පුරුදු වුනේ හැම පවුලක්ම වගේ. අපිට හිටියෙ පුතාලම තුන් දෙනෙක් නිසා මට පහසු උනා කියල මට හිතෙනවා. ඳග මලු උනාට මම පස්සෙන්ම හිටිය නිසාත්, හොද පාසැලකට යවාගන්න පුලුවන් උන නිසාත් මෙහෙම හැදුන කියල සතුටු වෙන්න පුලුවන් නේද, කියල මම හිතා හිටිය.

තුන්දෙනාම පොඩිකාලෙ අපි හිටියෙ වෙන රටකනෙ. ඉතින් ලොකු පුතා හම්බ වෙන්න ඉන්නව කියල දැනගත්තාම අපේ පවුල් දෙකේම කට්ටියට , කියන්නෙ මගෙ අම්මල තාත්තල වගේම මහත්තයාගෙ අම්මල තාත්තලා දෙගොල්ලන්ටම හරිම සතුටුයි. පුංචි පැටියෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්තාම තියෙන සතුට කාටවත් මනින්න පුලුවන්ද? නේද. හැමෝගෙන්ම මට ඉතින් අවවාද , අනුසාසනා. ආදරය සෙනෙහස නොඅඩුවම ලැබුන. තාත්තාත් ක්රිකට් ක්රීඩකයෙක් නිසා ලැබෙන්න ඉන්නෙ කොලුපැටියෙක්ම තමයි කියල හැමෝම කියන්නෙ.

තාත්ත, නම් හැම වෙලාවෙම අම්මව බලා ගන්න තමයි වෙහෙසෙන්නෙ. වැඩට ගියත් කීප සැරේ කෝල් කරනවා කොහොමද කියල. ආවගමන්ම මගෙ පැටිය කොහොමද? කියල බඩ අතගානවා. රෑට හැම දාම තාත්තා පුතාට කතා කරනවා. එයා විස්වාස කලා පුතා අපි කියන දේවල් අහගෙන ඉන්නෙ කියල. ඒක මමත් හිතනවා. කලල අවස්ථාවේ උනත් දරුවෙකුට දෙමාපිය හැගීම් තේරෙනවා කියන එක. මම හැම දාම හවසට අපේ බුදු කාමරේ තාත්තා එනකල් පුතාට පිරිත් කියනවා.

අපි ගෙව්වේ හරිම අවිවේකී ජීවිතයක් උනාට අපි වෙලාව හදා ගත්තා අපිට. ක්රිකට් මැච් වලට හැම සති අන්තයම මම ගියා තාත්තත් එක්ක. එහෙම ගිහින් දවසම ගත කරන්න මට හරිම අමාරුයි. උනට තාත්ත කාලෙ ඉඳලම ආසාවෙන් කල ක්රීඩාව ඒකනේ. ඉතින් පුතා ආව කියල ඒක නවත්තන්න කියන්නෙ කොහොමද? සමහර දවසට මට හරිම අමාරුයි දවසම බඩ තද කරගෙන ඉදගෙන ඉදල. පුතාත් තාත්තා වගේ කවද හරි හොදට සෙල්ලම් කරාවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නව අපි දෙන්නාම. අපි ඉතින් මැච් දවසට උදේම ලෑස්ති වෙල යනව ග්‍රෞන්ඩ් එකට. මැච් එක පටන් ගත්තහම තාත්තා හොඳට සෙල්ලම් කරනවා. මම බලා ඉන්නෙ හරිම අසාවෙන්. ඔහොම ඉන්න කොට මෙන්න හයේ පාරක් මගෙ ළගටම පැවිලියන් එකේ වහලෙත් කඩා ගෙන ඊළග එක පුතාට කියල තව පාරක් ටිකක් එහායින්. හැමෝම හිනා වෙනව. ඔල්වරසන් දෙනව තාත්තට. පුතාත් ඒව බලා ඉන්නව ඇති අම්මගෙ කුසේ ඉඳල. මට ආස දෙවල් කන්න දෙන්න හැම ආපන ශාලාවකටම තාත්ත මාව එක්ක යන්න ඇති.


දවසක් යන්න උනා අපි හිටිය රටේ අගනුවරට මැච් එකකට. මගෙ අම්මලත් එහේ හිටිය නිසා මට එතරම් දුරක් වාහනේක යන්න හොද නැති නිසාත් අපි හිතුව ප්ලේන් එකේ යන්න. මැච් එකත් සෙල්ලම් කරල අම්මලාවත් බලල එන්න. අයෙත් ගෙදර එන්න ප්ලේන් එකට නැග්ගම, මට පේනවා තටුව කොනේ ගිනි ගන්නවා. මාව බයේ වෙව්ලනවා. මහත්තයා කියනවා කලබල නැතිව ඉන්න කියල . හිස ගිනිගනිත්දි , පුතාව කොහොම රැක ගන්නද කියල හඬා වැටෙන හිතින් බුදුගුණ සිහිකරත්දි, ආයෙත් ගුවන් තොටු පලටම ආව. පැය කට විතර පස්සෙ අයෙත් හදාගෙන ගියා.

ඉතින් ඔන්න මට දිනත් ලං උනා පුතා ලැබෙන්න. මාව එක්ක ගියා වෙන නගරයකට . එහේ අරෝග් ශාලාව හොද නිසා. අනෙක මගෙ නැන්දම්මල හිටියෙත් නගරයේම නිසා. ඉතින් පුතා ලැබෙන්න හොස්පිටල් එකට ඇතුල් උනාම හරිම බයක් ආවා. කවදාවත් ගෙදරින් පිට මෙහෙම ඉඳලම නෑ මම. එළිවෙන කල් මට විළිරුදාව. මහත්තයත් පැත්තක ඉන්නව නිදි මරමින්. මගේ පිට අතගානවා අනේ මෙහම දෙයක්. ටික වෙලාවකින් එයාට ගෙදර යන්න කියන වෙලාවත් ආවා. උනාට එළියෙන් ඉන්නම් කියල හිටියා ගියේ නෑ මාව දාල. මාව බලා ගන්න හිටිය නර්ස් නෝනලා දෙන්නම මගේ ළග. කොන්ද ගැලවෙන්න වගේ රිදෙන කොට පිට පැත්තම අත ගගා රෑ පහන් වෙනකල්ම මගේ ළග හිටිය. නියම නයිටින්ගේල් ප්රතින්ඥාවට වැඩකරන හෙදියන්. එහෙම කරුනාවක් මට ලංකාවෙදිවත් ලැබෙන එකක් නෑ. බව මගෙ අම්ම තමයි මට කීවෙ. උදේම ආව පුතාගෙ තාත්ත ආයෙත් මගෙ ලගට. මම හැමදාම පැතුවෙ මගෙ තාත්ත වගේ මට ආදරය කරන කෙනෙක්ව මට ලැබෙන්න කියල. පැතුම මගේ හීනයක් නෙවෙයි කියල තේරුනේ එදා තමයි. හැම ගැහැනු ළමයෙකුටම තමන්ගෙ තාත්තා තමයි නේ එකම වීරයා. විශේෂයෙන්ම අයියා කෙනෙක් නැති පවුලක. තාත්තා මගෙ ලගට ආවම තමයි ඔන්න පුතාටත් අම්මගෙ කුසෙන් එළියට එන්න හිතුනෙ. රෑ එලිවෙනකල් මට අමාරු කරල. උදේ ඩොක්ටර් ආවම මාව ගත්තා ශළ්යාගාරයට. තාත්තාටත් අවසර ලැබුන අම්මා ලග ඉන්න. මම වේදනාවෙ කෑගහන කොට ළග ඉදල මාව තාත්තා සනසවනවා. මම කොච්චර වාසනාවන්තද? තාත්තා මගේ නලල වතුරෙන් පිහදමනවා. පවන් ගහනවා. දිරිගන්වනවා. හැමෝම උත්සහ කරන්නෙ පුතාව කරදරයක් නැතුව එළියට ගන්න. මට ඇති කියල හිතුනම මම හුස්ම අතාරිනවා. එයාල කෑ ගහනවා හුස්ම ගන්න, ගන්න කියලා. නර්ස් නෝනලා දිරිමත් කරනවා. එක හරියට තාත්තත් එහෙම කියනවා. අනේ මම ඉතුරුවෙයිද? කියල මම අහනවා. තාත්තගෙ ඇස් වල කදුළු පිරිල. නෑ , නෑ ඔයාට පුලුවන් අම්මා.... ”තාත්තා කියනවා.

ලොකු සටනක් කරනව සීසර් කරන්නැතිව බබා ගන්න. මට සිහි නැතිවෙන්න යනව. බබා ගොඩක් හොඳට හැදිල හින්ද මට අමාරුයි වගේ. මේව කොහොම උහුලයිද? පුතාගෙ තාත්තා. මගෙ ඇස්වලත් කඳුළු. අන්තිමේ අඬු දාල තමයි බබාව ගත්තෙ. ( Forceps delivery ) ලස්සන කොලුපැටියෙක්. මලක් වගේ ලස්සනයි. පුතාව පිරිසිදු කරල සුදු රෙද්දක ඔතල තාත්ත අතට දෙනව මම දැක්ක. තාත්තගෙ හිතේ තිබුන සතුට මම දැක්කෙ එයාගෙ ඇස් දෙකෙන්. ඇස් දෙක මට මියෙන තුරාවට මතක තියේවි. මෙච්චර කල් මාව ආරක්ශා කරල අවසාන ප්රතිඵළය දැන් අතට අරන් නේද? කියල මට හිතුන. සියලු වේදනා ඉවර උනා පුතාගෙ මූණු පොඩිය දැක්කම. තාත්තගෙන් හාදුවක් බොහොම ආදරෙන් අම්මටයි, පුතාටයි දෙන්නටම. කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම දවසේ තමන්ගේ ආදරවන්ත ස්වාමියා තමන් ලඟ ඉන්නවා කියන එක තරම් වාසනාවක් තවත් නෑ කියල මම හිතන්නෙ. අනෙක් අතට ඒකෙ ලොකු වාසියකුත් තියෙනවා. බබා ලැබෙන කොට ලඟ ඉන්නකොට එයා දැනගන්නවා තම බිරිඳ තම දරුවා වෙනුවෙන් විඳින වේදනාවත් දුකත්. ඒ වගෙම තම මෑණියන් තමන් ලැබෙන කොට වින්ද දුක් කන්දරාවත් ඔහුට දැනෙන්නෙ එතකොට තමයි. ඉතින් එහෙම ලඟ ඉන්නා ස්වාමිවරු කවමදාකවත් තම ආදරනීය බිරිඳට අකටයුත්තක්, අකරුණාවක් කරන්න හිතන්නේ නෑ. ආදරය උපරිමයටම දෙන්න බලනවා ඇරෙන්නට.දවල් වෙනකල් මට නිදාගන්න දීල වාට්ටුවට අපිව ගෙනාව.


ඉතින් , දහවල් ලෙඩ්ඩු බලන වෙලාවෙත් මම දන්නෑ, නිදි. හවස අම්මලත් ඇවිත් , මටත් යන්තම් ටිකක් හොඳයි. නංගිලා මගේ හිස පීරලා, පුතාව බලන්න ගියා. හැමෝටම හරිම ආසයි. සිංහල නම් හොයනවා බබට නමක් දාන්න. අන්තිමටම පුතාගෙ තාත්තට කැමතිම නම නාමලක් වගේ ලස්සන ප්රියංකර නිසා නාමල් ප්රියංකර කියල නම තිබ්බ. මාව බලාගත්ත ලංකාවෙ දොස්තර මහත්තුරු දෙන්නෙක්, දොස්තර මිල් රොයි සිල්වා (පුන්යා හීංදෙනිය මහත්මියගෙ සැමියා) හා දොස්තර ලක්ෂ්මන් ගුණරත්න සමග දොස්තර පටේල් ( ඉන්දියන්) .


දවස් දෙකකට පස්සෙ ගෙදරට ආව මහත්තයාගෙ අම්මලාගෙ. පුතා නිදාගත්තෙම නෑ මුලු රෑම. මමයි, තාත්තයි දෙන්නම ඇහැරලා. කිරිබොන්නෑ, අඬනවා. මම ටිකක් වෙලා ඇහැරලා ඉන්නවා ඊළගට පුතාලගෙ තාත්තා ඉන්නවා. මෙහෙම දින කීපයක් ගෙව්වා. ඊලඟට අව්වෙ තියන්න කීවා ඇග කහපාට වෙලා. හිරු එළිය තමයි බෙහෙත. ඔන්න ඉතින් ටික ටික දැන් හැඩ ගැහිල ගෙදර පරිසරයට. මාසයක් ඉන්න ඕනෙ ආච්චිලගෙ ගෙදර. මාසෙකින් ඩොක්ටර්ට පෙන්නල තමයි ගෙදරට ගෙනියන්න අවසර. ආච්චි අම්මල දෙන්නම හරි හරියට වැඩ. පුතාට , අම්මට අවශ් දේ සපයන්න.

ඔහොම ඉන්නකොට ගෙදර එන දිනයත් ලංවෙලා.

අපි අපේම ගෙදරට ආව. අම්ම ගෙදර අස්පස් කරල මට ඉන්න පුලුවන් විදිහට. අපි ගෙදර එනකොට ගෙදර හිටිය බැල්ලි, ඩ්ංකි ටත් පැටව් ලැබිල. එයා හරිම ආඩම්බරෙන් ඉන්නවා. චූටි පුතාගෙ වාසනාව. හොඳ ගෙයක් ලැබුන අපිට නිදහසේ ඉන්න. හරියට නුවර එළියෙ තේ වතු බංගලාවක් වගේ. පළතුරු, මල් පිරුන වත්තක් සමඟ. හොඳ පලාතක. තාත්තා ගේ මුලු ලෝකෙම පුතා. උදේ නැගිටින්නෙ නාමලෝ, කියාගෙන. ගෙදර එන්නෙ පුතාව බලා ගෙන. හැම තැනම පුතාව ගෙනියන්න තමයි කල්පනාව. පුංචි පැටියත් එහෙමම තමයි, තාත්තාගෙ කටහඬ ඇහෙන පැත්තට හැරෙනවා. හිනාවෙනවා ,කථා කරනවා, ඇඟ උඩදානවා වඩාගන්න කියල. හරියට ගෙදර එන වෙලාවට මට එලියට ගෙනියන්න කරදර කරනවා තාත්තව බලන්න. අනේ , මෙහෙම දෙන්නෙක් කියල මම හිතනවා. පුංචිකාලෙ ඉඳලම ක්‍රිකට් වලට තමයි ආසාව.

අපි පුතාට මාස තුනක් වෙත්දි සවුත් අප්‍රිකාවට ගියා. ගියේ ප්ලේන් එකේ. වාහනයක් ගන්න කියල අපි ගියේ. එන්න වෙන්නෙ හැතැප්ම ගානක් මහ මග වාහනය එළවගෙන. අම්මලා නම් කැමැත්තක් තිබුනෙ නෑ. නමුත් අපි යන්න තීරණය කලා පුතා එක්කම. යත්දි නම් ප්‍රශ්ණයක් නෑ. එහේදි, අපි ගියා සන් සිටි කියන නගරයටත්. ඒක ලෝකෙ ධනවත්ම අය විනෝද වෙන්න එන තැනක්. කැසිනෝ, ගැම්බ්ලින්, විවිධ ක්‍රීඩා එහෙම තියෙන සල්ලි කන තැනක් කීවොත් හරි. ඒ තැන වෙනමම කෘතීමව ඉඳිකරපු නඟරයක් . අපි ඉතින් අපේ කම තියාගෙන තැන බලලා මාරු උනා කිව්වොත් හරි. අපිට පුලුවනෑ ඒ වගේ තැන්වල ඔට්ටු වෙන්න. ඒ උනාට රස කෑමක් රස බලන්න, අයිස්ක්‍රීම් එකක් කන්න එහෙම අමතක කලේ නෑ. අපේ පුතා මේ ගමනේ දි කිසිම කරදරයක් කලේ නෑ අපිට. බොහොම හොඳට හිටියා. අම්මගෙ කිරි බොන කාලෙ නිසා කිසිම වදයක් නෑ. බඩගිනි උනාම කිරි පෙව්වාම හොඳට ඉන්නවා. අදටත් මගේ ලඟ පින්තූර තියෙනවා වැඩි හරියක් මගේ අතේ නිඳි. බෙල්ල පහලට කඩා වැටිලා දැක්කහම දුකයි. මේ ටිකේ ගෙවල් මාරු කල නිසා ස්කෑන් කරල ඒව දමන්න මට අපහසුවක් තියෙනවා.

අපි එහෙන් එනකොට අපිට හොඳ BMW එකක් ගන්න ලැබුනා. අපි ඒකෙ අඩුපාඩු ටිකක් හදාගෙන රට හරහා ගමනට ලැහැස්ති උනා. මග දිගට හරියට පතන් බිම්. වැඩි හරියක් ලස්සනට වැඩුන බඩ ඉරිඟු යායවල්. එහෙම නැත්නම් රටකජු යායවල්. සමහර තැන් වල පීච් හෝ ඇප්‍රිකට් යායවල්. ඇපල් හෝ මිදි ඉඳල හිටල තියෙනවා. දකුණු අප්‍රිකාවෙ විශාල බිම් ප්‍රමාණයක් වගා කරනවා. එහේ යටත් කරගෙන හිටිය විදේශිකයන් අදටත් ඒවායෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හරිම ලස්සන රට. තැන තැන කුඩා කඳු ගැට. මෙහෙම බොහෝ දුරක් ගෙවා ගෙන අපි ආව බොට්ස්වානා කියන රටට. මේ රට ටිකක් වෙනස්. අප්‍රිකාවෙ බොහොමයක් ස්වභාවික වනෝද්යාන තියෙන්නෙ මේ හරියෙ. වැඩි හරියක් කැලෑබද ප්‍රදේශ. කාන්තාරය සමහර තැන්වල.

http://en.wikipedia.org/wiki/Botswana

රට තියෙන්නෙ කලහාරි කාන්තාරය මැදිකරගෙන. ඔකවන්ගා කියන ඩෙලටාව , ලෝකයේ රටක මධයයේ පිහිටි ලොකුම ඩෙලටාව මැදිකරගෙන පිහිටි මේ රට වර්ග කි.මී.600,370 ක් විශාලයි. බොහොමයක් පතන් බිම් ප්රදේශ හා තෘන බිම් තමයි තියෙන්නේ. බිම් වගා කරනවා අඩුයි , කාන්තාරය නිසා.

අපි මුලින්ම ආවෙ ගැබරෝන් වලට. එහේදි ලංකාවෙ අය කීප දෙනෙක් හමු උනා. ඊට පස්සෙ අපි පිටත් උනා ෆ්රරැන්සිස්ටවුන් කියන නගරයට එන්න. නගරය තියෙන්නෙ සිම්බාබ්වේ දේශ සීමාවෙ නිසා එහේ අපිට රැය ගතකරන්න ලෙහෙසියි කියල හිතුව. අපි එහේට එන කොට හොදටම කළුවර වැටිල. අතර මග අපි අලි රංචු සහ වන සත්තු කීපදෙනෙක්, මොණරු එහෙම දැක්ක. නවත්තලා බලා ඉන්න බෑ පුතා එක්ක මග හිටින්න වෙයි කළුවරේ. මහමඟ නම් හරිම ලස්සන දර්ශන.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න...........