Sunday, October 18, 2015

ආදරනීය මලීෂා 3

මගේ නැගණිය අහිමි වීමෙන් පසුව මගේ දිවිය පාළුවෙන් හා සාංකාවෙන් පිරුණි. දෛනික ජීවිතයේ වැඩ කටයුතු අතර හිරවී සිටි පියාණන්  හා අම්මාත් වෙහෙස ගත්තේ මා ජීවිතය සතුටින් තබන්නට වුවද නිතරම මට මගේ නැගණිය සිහිවී කඳුලු පිරුනු නෙත් ඇතිව සිටින්නට සිදුවිය.

මගේ කුඩා කල මතක මහ ගොඩක් මට නැත. අප ජීවත්වූ පරිසරය සරල ලෙස දිවිගෙවන බොහෝ අප්‍රිකානු නිවෙස් වල තිබෙන පරිසරයයි. බොහෝ දෙනෙක් බඩඉරිගු වගා බිම් වල වැඩකරති. මුළු දවසම වෙහෙසී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චම ගෙන සවස් කල නිවෙස් වලට එති. එසේ නැතහොත් තඹ ආකර වල වැඩ කරති. ඒවායේ වැඩ කිරීම දුශ්කර වුවද ලැබෙන වේතනය වගා බිම් වලට වඩා වැඩි හෙයින් ද ලැබෙන පහසුකම් වැඩි හෙයින් ද බොහෝ දෙනාගේ කැමත්ත තඹ ආකර වල වැඩ කිරීමය. අනෙක් පිරිස් නගර බදව වාසය කරමින් ඒ ආශ්‍රිත සාප්පු හා කාර්යාල වලද නිවෙස් වලද වැඩ කරති.





ගම්බද ව එක ලඟින් තනා තිබෙන රවුම් පොඩි නිවාස බොහෝ විට එකම නෑදෑයන් පිරිසක් වෙසෙන ඉංග්‍රීසියෙන් "රොන්ඩවෙල්ස්" නමින් හඳුන්වන කුඩා නිවාස වේ. මේවායේ එක් කාමරයක් හෝ වැඩිම දෙකක් ඇත. එහි කුඩා පුටු කිහිපයක් සමඟ කුඩා මේසයකට පමණක් ඉඩ ඇත. බොහෝ විට ඉවුම් පිහුම් කරන්නේ නිවසෙන් පිටතය. අමුත්තෙකු නිවසට ආ විට ඔහුට මුලින්ම වාඩිවීමට සැලැස්වීම සිරිතය.  පුටු කබලක් නැතිවූ විට ගඩොල් කැට දෙකක් හෝ ගල් දෙකක් තබා ඒ මත ලෑලි කැබැල්ලක් තබා පිරිසිදු රෙදි කැබැල්ලක් එලා වාඩි වීමට සලස්වනු ලැබේ.  ඉන් පසුව දන නමා ආචාර කර සුවදුක් විමසීම සිදුකරයි.  සෑම කෙනෙක් ගෙන්ම අසන මුල්ම ප්‍රශ්ණය ඔබේ සුවදුක් කෙසේද?” යන්නය. ඒ අනුව පිළිතුරු ලැබේ. මුහුනේ සිනහව සෑම කෙනෙක් තුලම දක්නට ඇත. විලාශය රෞද්ද්‍ර වුවද බොහෝ දෙනෙක් ඉතා අහිංසක සරල මිනිසුන් වෙති. යටහත් පහත් කම සියළු වැඩි හිටියෙකුටම දක්වනු ලැබේ. දන නමා යටහත් පහත්ව ආචාර කිරීම සැමගේම සිරිතයි. කිසිවිටෙක වැඩිහිටියෙකු සමඟ එකට හිට ගෙන කතා කරනු නොලැබේ. ආචාර කිරීම සිදුවන්නේ පලමුව දන නමා ඔහු ඉදිරිපිට වාඩිවී වම් අත වැළමිට ලඟට නවා දකුණතේ වැලමිට ලඟින් අල්වා ගෙන දකුණත වැඩිහිටියාට දිගු කරනු ලැබේ. එ විට වැඩිහිටි අය සිනාමුසුව අතට අත දී ඔහුට ද සුබ පතනු ලැබේ. සෑම දෙනෙක්ම හඳුනනා, නොහඳුනනා  සියලු දෙනාම පිළිගන්නේ එකම ආකාරයකට සිනාමුසු මුහුණෙනි.



අප මේ වනවිට ජීවත් වූයේ එකල ටවුන්ශිප් නමින් හැඳින් වූ කුඩා ගම්මානයකය. බොහෝ විට උදය වරුවේ අප තිදෙනාම නිවසින් පිටවී සවස් වූ විට නිවසට පැමිණෙන්නෙමු.  සවස් යාමයේ සැම නිවෙසකම සුපුරුදු පරිදි කෑම පිලියෙල කිරීම සිදුවන වේලාව එන විට ෂීමා තැම්බෙන සුවඳින් හා රැලිෂ් ඉදෙන සුවඳින් පරිසරයම පිරී යයි. අප අසල් වැසි නිවසක දරුවන් ගේ කෑකෝ ගැසීම් ද හැරුනු විට ඉදහිට බීගත් කෙනෙක් ගේ පම්පෝරි කතාවන් ද පරිසරයේ සාමය බිඳ දමයි.  එකිනෙකට සමීපව පැවති නිවෙස්වල කතා බහ ද විටෙක අපට කරදරකාරී වන්නේ අප තිදෙනා අපගේ ලෝක වල ජීවත්වන බැවිනි.  මගේ පියාණන් වැඩිපුර කතාබහක් නොකලද මගේ මව සමඟ සුහදව දිවිගෙවන සාමකාමී බව අගයන කෙනෙක් විය. අම්මා නම් අහල පහල කිහිප දෙනෙක් සමඟ සුහදව වාසයකල බව කිව යුතුය. කෙනෙක් ගේ අඩුපාඩුවක දී පිහිට වීම හොඳ සිරිතක් බව නිතර කියූ ඈ සෑම විටම උපකාර කිරීමට සැදී පැහැදී සිටියාය. ම'පියා කිසි විටෙකත් තැබෑරුමට යනු මා දැක නැත. නමුත් සාදයකදී හෝ අවමඟුලකදී බීර ස්වල්පයක් කටගානු දැක තිබේ.  


අප සැවොම එක්ව සවස් කාලයන්හි එකතුවන තැනක් ඇත. එය ඇත්තෙන්ම තැබෑරුමකට වඩා ක්ලබ් හවුස් නොහොත් සමාජ විවේකාගාරයයි. ගැහැනු පිරිමි මෙන්ම සමහරු ළමයින් ද කැටුව මෙහි රැස් වෙති. එකිනෙකාගේ ඕපා දුප මෙන්ම දවසේ සිදුවන රසවත් තොරතුරු මෙහිදී එකිනෙකා විසින් කියවති . සැදෑ කාලය වෙහෙසවන මනසට විවේකයක් ලබා දෙන්නේ මේ වේලාවේ බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙහිදී පිරිමින් මෙන්ම ගැහැනු ද වටවී බීර බොති. නොබොන අය කෝලා හෝ සෝඩා හෝ වෙනත් බීමක් බොමින් කල් ගෙවති. මගේ මවත් පියාත් බොහෝ විට කල් ගෙවුවේ මෙවන් බීම වර්ගයක් තොලගාමිනි.





වැඩපල වල් වල සිදුවූ රසවත් තොරතුරු ද අසල් වාසින් ගේ ඕපා දූපයන් ද, තවත් පාරේ වෙසෙන ගැහැනුන්ගේ තොරතුරු ද රසකර කියමින් මහ හඬින් හිනා වෙමින් බීර තොල ගාති. මුහුණේ වලවල් හෑරුණු වයසක සමහරු සුරුට්ටු උරමින් දුම් බෝල අහසේ පා කරති.  මැදි වයසේ ඉන්නා අය හා තරුන කොල්ලන් මිල අධික රට සිගරට් වලලු පාකරති .  ඒවායින් පිටවන ගඳ මුසුවූ  වාතයෙන් වට පිටාව පිරී යයි.  මේ අතර බැදගත් මාළු හෝ බැද ගත් විශාල මෙරුවන්, කුකුළ් මස්, හෝ හරක් මස් හෝ අල පෙති කමින් කාලය ගෙවති. ඉදහිට කෙනෙක්, දෙන්නෙක් අගර දගර පාමින් ඇඟ දැවටෙමින් එතෙමින් එන ගැහැණියක රැගෙන එති. ඈ වටා රොක් වන ඔවුන් උසුළු විසිළු කියමින් ඈව අවුස්සති. මහ හඬින් බැන වැදෙන ඈ සරාගී නෙතින් තමා රැගෙන ආ මිනිසා සමඟ පැද්දෙමින් ආපසු යන්නේ හොද හැටි පදමට වෙරි මතිනි.



ඔවුන් බොන බීර වර්ග කිහිපයකි. වඩාත් ප්‍රචලිත  මෝසි ලගා නම් වර්ගයයි. අනෙක් වර්ගය රයිනෝ බීරය. චිබුකු තවත් වර්ගයකි. එය ගම්බදව පෙරනු ලබන බීර වර්ගයකි. චිනිකා , චිපොලොපොලෝ, කචූෂු,  මුකන්ගො වැනි බීර වර්ග ද හොර රහසේ පෙරනු ලබන බීර වර්ග වේ. මේවා සඳහා ඉල්ලුම වැඩි වන්නේ මේවා ඇත්තෙන්ම ලාබෙට විකුණනු ලබන බැවිනි.  ස්වභාවයෙන්ම පලල් වූ නිතඹක් හැම ගැහැනියකටම ඇත. ඔවුන් කොට ගවුම් ඇඳ ඊට උඩින් දෙකකුල් වැසෙන සේ වර්ණවත් රෙද්දක් අඳිනු ලැබේ. මෙයට චිටෙන්ගිය යැයි කියනු ලැබේ. මගේ අම්මා මා කුඩාකල පිටේ බැඳ ගෙන ගියේ මෙවන් වූ චිටෙන්ගියකිනි.  අපි ළමුන් එක්වී පාපන්දු හෝ වෙනත් ක්‍රීඩාවක නිරත වෙන්නෙමු. වෙනත් වෙනත් භාෂා කතා කලද සැමට පොදු වූ ඉංග්‍රීසි වචන කලවම් වූ භාෂා විලාසය කෙනෙකුට ඉක්මනින්ම වටහා ගත හැක.

අප නිවෙස් හතරස් හැඩති එක්ව පිහිටා ඇති ටකරන් වහල ඇති කුඩා නිවාස වේ. එක් කාමරයක් හෝ දෙකක් බොහෝ විට ඇත. නමුත් සැවොම මෙහි සාමයෙන් වෙසෙති. ජල පහසුකම් හා වැසිකිළි පහසුකම් ද අපට තිබුනි. ඒ සඳහා කවුන්සිලය මගින් සුළු මුදලක් අය කෙරේ. පරිසරය මෙසේ වුවද අපි නිවෙස තුල සතුටින් ගත කළෙමු. මගේ පියාණන් කිසිම විටෙක මාගේ මවට දොස් පරොස් තබනු මා අසා නැත. දෙදෙනාම එකතු වී කතා බස් කරමින් ප්‍රශ්ණ විසදා ගත් බව දන්නෙමි.


හත් වන ශ්‍රේණියේ කඩඉම් ලකුණු ලැබීමෙන් පසුව මට ද ඉහල පාසැලකට යාමේ වාසනාව උදාවිය. මගේ අළුත් පාසැල වන්නේ කම්වාලා ද්විතීයික පාසැලයි. එය කම්වාලා ප්‍රදේශයේ පිහිටි බැවින් ඒ නම ලැබී ඇත. ඉතා කලබල කාරී ප්‍රදේශයක පිහිටිය ද පාසැල ඇතුලත ඉතා නිස්කලංක පරිසරයක් ඇති මෙම පාසැලට මා ඇතුලත් වීමම මගේ භාග්‍යයක් සේ මම අදත් සළකමි. 

මැයි මල් , වැටි මාර ගස් වලින් වටවූ එහි රබරෝසියා තන්බර්ජියා හා මලින් පිරීගිය නේක වර්ණ බෝගන්විලා පාසැල තුල දෙව්ලොවක සිරි මැවීය. අප පාසැලේ නොයෙක් ජාතීන් ගේ දරුවන් ඉතා සමඟියෙන් ඉගෙනුම ලැබීය. වැඩි දෙනෙකු සැම්බියානුවන් වූ අතර ඉන්දියානු,   යුරෝපීයයන් හා ශ්‍රී ලාංකික දරුවන් ද මේ අතර විය. අප භාවිතා කල භාෂාව සැමට පොදු වූ ඉංග්‍රීසි භාෂාවයි. මගේ පලමු මාස දෙක පාසැලට පුරුදු වීම සඳහා ගත වුණි. පන්ති භාර ගුරුවරිය වූයේ ජෙසිකා මුවාලේ මහත්මියයි.  වයසින් අවුරුදු හතලිස් පහක පමණ වූ ඇය ඉතා කරුණාවන්ත නීති ගරුක මහත්මියකි. පාසලට පැමිණි මුල්ම දිනෙයේදීම නීතියට ගරු කිරීමේ මුල්ම පාඩම ඇය මට කියා දුන්නාය. එදින වාහන තදබදයකට හසුවී මා පැමිණෙන විට විනාඩි කිහිපයක් ප්‍රමාද වී තිබුණි. පලමු පාඩම් වාර දෙක සඳහා මට පන්තියේ සිටීමට අවසර නොලැබුණි. ඒ වෙනුවට කට්ට අවුවේ අනෙක් අයගේ උසුලු විසුලු මැද දන ගසා සිටීමට සිදුවිය. මෙයින් මහත් කම්පාවටත් ලැජ්ජාවටත් පත්වූ නමුත් ජීවිතයේ වටිනාම පාඩම මම උගත්තෙමි. ඉන් පසුව ජීවිතයේ කිසිම අවස්ථාවක කිසිම වැඩකට මම පමාද නොවුනෙමි. ඇය ද එය ක්‍රියාවෙන්ම පෙන්වූ උතුම් ගුරුවරියකි. උදෑසන බොහෝ වෙලාවට මා පාසැලට පැමිණෙන විට ඇය විවේකාගාරයේ තම සටහන් වැඩ කටයුතු වල යෙදෙනු දක්නට ලැබුණි.


කාලය මෙසේ ගෙවී යත් දී එක්තරා සුන්දර උදෑසනක සුරලොවින් ආ දෙවඟනක් ලෙස යුවතියක් අප පන්තියට පැමිණියාය. ඉන්දියානු සම්භවයක් ඇත්තියක සේ පෙනීගිය ඇය වාඩි ගත්තේ මා අසලින්මය.  මම මොහොතකට ඇය දෙස බැලුවෙමි. මදක් ලැජ්ජාවෙන් මා හා සිනාසුන ඇය බියපත් දෑසින් මේ නුහුරු පරිසරය හඳුනා ගැනීමට තැත් කරමින් සිටියාය. රන්වන් වූ ඈ වත කමල නිල්වන් දෙනෙත් හා තද කලු පහැති කෙස් නිසා වඩා ඔපවත් විය. මෙතෙක් මා ජීවිතයේ දී දුටු සුන්දරම යුවතිය ඇය විය. පසුව ඇගේ නම මලීෂා බවත් ඈ ශ්‍රී ලාංකික යුවතියක බවත් දැන ගත්තෙමි.  මගේ මිතුරු මිතුරියන් ඇය ඉන්දියානු යැයි සිතා එතරම් කැමැත්තක් නොදැක්වීය. නමුත් සසර ගත පුරුද්දකට දෝ ඇයට මම බෙහෙවින්ම ඇළුම් කලෙමි. පන්තියේ ලමුන් නිතරම ඇයට ඉන්දියන් කෙල්ල යන තේරුම ඇති මුවෙන්ඥෙ යන නමින් විසුලු කරනු ලැබීය. නමුත් ඈ එය ඉවසා සියලු දෙනා සමඟම සුහදව සිටිනු දක්නට ලැබුණි. මගේ සොයුරිය නැති පාළුව නිසාද ඇගේ ආශ්‍රය මම නිතරම පතන්නට පුරුදු වුනෙමි.  වසර ගනනාවක් යන තෙක්ම මගේ හොඳම මිතුරිය වූ යේ ඇයයි. මේ කාලය මගේ ජීවිතයේ රසවත්ම කාලය බව මම ඔබට කියමි. අදටත් ඒ කාලය මා සිහි කරන්නේ මහත් සොම්නසිනි. මගේ පුතුට මේ දේවල් පවසත්දී ද මගේ නෙතට කඳුලක් එක් වෙයි. ඒ අතීතය මා අද විඳගන්නේ සතුට පිරි සොම්නසිනි.



Thursday, October 8, 2015

ආදරනීය මලීෂා 2




           සිය දෙමාපියන් දැකීමට තම දරු දෙදෙනා ද සමඟ යන මුල්ම  අවස්ථාව මෙය විය. ඉතා දිගු ගමනකට සති ගනනාවක් තිස්සේ වෙහෙස වී සියල්ල සූදානම් කල යුතු විය. මගේ පියාට මේ වන විට වයස අවුරුදු හතක් පමණ විය. තැනිතලා කඳු හෙල් මැදින් ගිය මේ සුන්දර ගමන ඉතා විනෝද ජනක ගමනකි. බසයක කෙදිනක වත් ගමන් කර නොතිබූ ජෙසී නැන්දා මග දිගටම වමනය කරමින් යාම නිසා ආච්චි අම්මාට නිතර අතර මග නැවතුම් පළවල් වල දී ඇය පිරිසිදු කිරීම දුෂ්කර කාර්ය‍යක් වී ඇත. ඉතා වෙහෙසට පත්ව සිටි ජෙසී නැන්දා හා ආච්චි අම්මා ගමනාන්තය වන විට තද නින්දේ පසු විය. මේ ගමන සඳහා පසු කල යුතු නගර කිහිපයකි. එනම් කබ්වේ, කපිරිම්පෝශි, ම්කූෂි, සෙරෙන්ජි, ම්පීකා, කසාමා, ම්බාලා ,හා ම්පුලුන්ගු යන නගරයි. මගේ පියා ඇතුළු පිරිස මහමඟ දින දෙකක් ගෙවා තිබේ. කිලෝමීටර් හත්සියයක් පමණ වන තරම්  දුරක්  ගෙවා පැමිණි තම පුතු හා ලේලිය මහත් හරසරින් ලොකු සීයා ඇතුළු සියළුම නෑදෑයින් විසින් පිළිගෙන තිබේ.

මගේ ආච්චි අම්මාව සමහර නෑදෑයින් විසින් දැක තිබුනේම නැත. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයට සෑම කෙනෙක්ම පාහේ ගෞරවය හා ආදරය දක්වන්නට විය. උතුරු ප්‍රදේශයේ ඇති මෙම කුඩා නගරය හැම අතින්ම දුෂ්කරවූත්, ස්වයං පෝෂිත වූත් නගරයක් වේ. සීයා එසේ කියනුයේ නිල්වන් දිය දහරින් පිරි ටැන්ගනිකා විලත්, ඒ අවට ප්‍රදේශයේ ජලය ආශ්‍රිතව ඇති සරුසාර කෙත්වතුත් නිසාය. සුන්දර වනපෙත් වල ගැවසෙමින් එහි ගතකල කාලය තම ජීවිතයේ කිසි දිනෙක අමතක නොවනු ඇතිබව මගේ පියා නිතර කියූ බව මට මතකය.



දිනෙක ජෙසී නැන්දා හා මගේ පියාණන් ලඳු කැලෑවක ඇවිදිමින් සිටිනා කල හයිනාවෙකු විසින් ඔවුන් දෙදෙනාව පන්නා ගෙන පැමිණ ඇත. වාසනාවකට ලොකු සීයා හා තව ඥාතියෙකු ලඟම සිටි බැවින් ඔවුන් දෙදෙනාව බේරා ගැනීමට හැකිවී ඇත. මගේ සීයාට එකම සහෝදරයෙක් හා සහෝදරියන් තිදෙනෙක් සිටි බැවින් සැම දෙනාගේම ආදරය පියාණන්ට හා නැන්දනියට ලැබී ඇත. විල් තෙර හිද සීයාත් ඔහුගේ සහෝදරයාත් ලොකු සීයාත් අනෙකුත් නෑදෑයන් සමඟ අත් පියානෝව වයමින් විනෝද වී තිබේ. ආච්චි අම්මා සැමටම රසවත් කෑම සදමින් සංග්‍රහ කරමින් සතුටින් කාලය ගත කර තිබේ.  මෙහිදී ප්‍රධාන වශයෙන් ෂීමා නම් වූ බඩ ඉරිඟු පිටි වලින් සාදාගන්නා ලද තලප සමඟ රැලිශ් නම් වූ කොල වර්ගයක් හා මස් වර්ගයක් එකතුව ආහාර වේල සම්පූර්ණ වී ඇත. සමහර දිනෙක වල් ඌරු මස් ද, තවත් විටෙක ඇන්ටිලොප් මුව මස් ද තව විටෙක ගෝණ මස් ද පිසින ලදී. අතරින් පතර බුක බුකා නම් වූ ඉතා රසවත් මාළු සමඟ රැලිශ් එක් විය. රැලිශ් සඳහා බොහෝ විට අතුගෝවා, වට්ටක්කා දළු, බණ්ඩක්කා සහ නොයෙකුත් හතුවර්ග පිසිණු ලැබේ. සැදැවන් බොහෝ විට ගෙවුනේ මිහිරි සංගීතය රස විඳිමිණි.  ඒ සියල්ල සමඟ ඉතාම සුන්දර විල් තෙරක ගෙවුන කාලය කෙතරම් සුන්දර දැයි ඔබට සිතා ගත හැකිය.





සමහර දිනෙක ඔවුන් විලේ පිහිනමින් සතුටුවී ඇත. නමුත් මෙහි දී සීයා බොහෝ ප්‍රවේශම් වී ඇත. ඒ මන්ද යත් සීයාට සිදුවූ අනතුර හේතුවෙන් තම දරු දෙදෙනාගේ ආරක්ෂාව ඔහු විසින්ම සලසා දී තිබේ. මෙම විල පිලිබඳව යමක් ඔබට කියමි.  මෙය පිහිටා ඇත්තේ සැම්බියාවේ උතුරු කෙලවරෙහිය.  ලෝකයේ ඇති දෙවන විශාලතම මිරිදිය විල මෙය වේ.  බුරුන්ඩි, කොංගෝව, ටැන්සානියාව හා සැම්බියාව මායිම් කරගෙන මහා සාගරයක් තරම් විශාල වූ මෙම විල ටැන්ගනිකා විල නමින් හැඳින් වේ. ඔබ එක් පැත්තකින් බැලූ විට විලෙහි අනෙක් පැත්ත ඔබේ පියවි ඇසට නොපෙනේ. මෙය බොහෝ විට හඳුන් වන්නේ ග්‍රේට් රීෆ්ට් සානුව හරහා වැටුනු මහා සාගරය යනුවෙනි. විශාල මත්ස්‍ය සම්පතක් ඇති බැවින් මෙම විල දුප්පත් අප්‍රිකානුවන්ට මහඟු සම්පතකි. මගේ පියා ඇතුළු පිරිස ආපසු ලුසාකාවට පැමිණ ඇත්තේ සති තුනකට පසුවය.

මගේ පියාණන්ගේ ජීවිතයේ පළමු වසර කිහිපය ගෙවී ඇත්තේ ඉතා සැහැල්ලුවෙන් හා විනෝදයෙනි. ඔහුගේ පළමු පාසැල වී ඇත්තේ කබුලොන්ගා මොන්ටිසෝරි පාසැලයි. එහි සැම්බියානු දරුවන් සමග ඉන්දියානු හා යුරෝපීය දරුවන්ද එක්ව එකට ඉගෙනුම ලැබීය. මෙහිදී ඔහුට යහලු යෙහෙලියන් කිහිප දෙනෙක්ම සිට ඇත. මුලෙන්ගා,ජෙසිකා,නියංජානි,ගොඩ්වින්,රවීනා,ප්‍රියංකා,එඩිත්, ජූඩ් හා එඩ්ගා යන නම් ඔහුට මතකය. පළමු ගුරුතුමිය එන්ගන්ගා මහත්මියයි. ඇය ඉතාම කරුණාවන්ත කාන්තාවකි. පළමු ගුරුවරිය වූ ඇය ඔහුගේ ජීවිතයට සදා ආලෝකයක් ගෙන දුන් බව ඔහුගේ මතයයි.

පාසැලේ වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට ඇයගෙන් නොමද සහයක් ලැබී තිබේ. සීයාගේ ඇසේ ප්‍රශ්ණය නිසාවෙන් ඔහුට කිසි දිනෙක අකුරු ඉගෙනීමට හැකියාවක් ලැබී නැත. ආච්චි අම්මා එන්ගන්ගා මහත්මියගේ උදව්වෙන් මගේ පියාට දක්ෂ ලෙස කියවීමටත් ලියන්නටත් හුරු කරවා ඇත. පළමු වසරේ දීම කුඩා වන පේලි කියවීමටත් කුඩා කතන්දර පොත් කියවීමටත් ඔහුට හැකියාව ලැබී තිබේ. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දස්කම් දැක්වීමට ඔහු සමත් විය. පළමු වසර කිහිපයේ දීම ඔහු ඉතා ඉහල ලකුණු ලබමින් පන්තියේ සෑම විටම පළමුවෙනියා හෝ දෙවනියා වීමට සමත් වී ඇත. උපන් දක්ෂතාවක් රැගෙන ආ ම'පියාණන්ට කවුරුත් එකසේ ආදරය දක්වා තිබේ.

ඔහුට වයස එකොලහක් වන විට ජෙසී නැන්දා අට හැවිරිදි දැරියකි. ඇය ගැනත් මෙහි සඳහන්  නොකල හොත් එය අඩුවක් වනු ඇත.  ජෙසී නැන්දා හුරුබුහුටි දඟකාර දැරියක් වූ බව ඔබට මතකය. වයස අවුරුදු හය වනවිට ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව දැන ගන්නට ලැබී තිබේ. ඉතා දිළිදු පවුලක් වූ සීයාට හෝ ආච්චි අම්මාට ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දැනුමක් හෝ මුදලක් නොතිබූ බැවින් රෝගය උත්සන්නවූ විට රෝහල් ගත කිරීම හැර ඔවුන්ට කල හැකි අන් දෙයක් නොවුණි.  වරින් වර අසනීප වන ජෙසී නැන්දාට ප්‍රතිකාර කිරීමට අමාරුවෙන් ඉතිරි කරගන්නා ලද මුදල් වියදම් කරන්නට ඔවුන්ට සිදුවී ඇත. නිතර නිතර අසනීප වන බැවින් මගේ ආච්චි අම්මා මගේ පියා රැකබලා ගැනීමට මෙලීනා පුංචි අම්මාව කැඳවා ගෙන තිබේ. මේ කාලය තුල ආච්චි අම්මා ද රෝහලේ වැඩි කාලයක් ගත කරන නිසා පුංචි අම්මා නිවසේ සියළු වැඩ කටයුතු ද සමගින් ම'පියාව ද ආදරයෙන් රැක බලාගෙන තිබේ. මේ අතර තුර පටෙල් මහතා හා විජේසේකර නම්වූ ශ්‍රී ලාංකික යුවල ද ඔවුන්ට උපකාර නොකලේ නම් ඔවුන් ඉතා දුක්ඛිත අඩියකට වැටෙනු නියතය.

 දිනෙන් දින දුර්වල වූ ජෙසී නැන්දා වයසේ තරමට වැඩී නොමැති දැරියකි. අවසන් මාස කිහිපයේ දී ඇයගේ දෑත් වල  කටු ගැසීම නිසා කලු පැහැති පැල්ලම් මතුවී බැලීමට පවා නොහැකි වී ඇත. සීයාගේ නෙත් නිතර තෙත් වී තිබූ බවත් , නිතරම සීයා දුකෙන් වාසය කල බවත් ම' පියාණන් පවසා තිබේ.

එක් දිනක හදිසියේම වාගේ සීයා කලබලයෙන් නිවසට විත් පුංචි අම්මාට යමක් පවසා මගේ පියාණන්ව රෝහල වෙත කැඳවා ගෙන ගොස් තිබේ. ඔවුන් එහි යනවිට ජෙසී නැන්දාට සේලයින් වතුර දෙමින් වෛද්‍යවරු ඇය බේරා ගැනීමට ඉමහත් වෙහෙසක් ගනිමින් සිටියේය. පියාණන් දුටු විගස ඇගේ දුක්බර මුහුණට මද සිනහවක් ආ බව සියල්ලන්ම දුටුවේය. ඇය අතින් අල්ලා බොහෝ දුකින් "ඔබට දෙවි පිහිටයි අයියා" යන්න පවසා තිබේ. පැයක් පමණ රෝහලේ සිටියදීම ඇය මෙලොවෙන් සමුගෙන තිබේ. මගේ පියාගේ එවකට ජීවිතයේ දුක්බරම මොහොත මෙය වී ඇත.


දින කිහිපයක් යන තෙක් ඔහු කිසිවෙක් සමඟ කතා කොට නැත. මළගම දින කිහිපයේ සියල්ලෝම පාහේ සීයාට උදව් පදව් කර තිබේ.  සාමාන්‍යයෙන් රටේ චාරිත්‍රය අනුව අවමංගල්‍ය චාරිත්‍ර දින කිහිපයක් පුරා පැවැත්වේ. පවුලේ ලඟම ඥාතී පිරිමි උදවිය කමින් බොමින් කතා කරමින් ගෙයින් පිටත කල් යවති. ගැහැණු උදවිය ගෙතුලට වී වැලපෙමින් ශෝක වෙති. අවසානයේ දී ක්‍රිස්තියානු චාරිත්‍ර වලට දේව මෙහෙය පවත්වා දේහයේ අවසන් කටයුතු සිදුකරනු ලැබේ. පිරිමි පාර්ශ්ශවයේ ගුන කතනයක් ද විරහ ගීත ගැයීමක් ද සිදු කෙරේ. තව ද උදව් පදව් කල සැමට ස්තූතිය පුද කිරීම ද කෙරෙනු ලබයි. දින කීපයක් දෙන තබාගනු ලබන්නේ ඈත ප්‍රදේශයන් හි වෙසෙනා ඥාතීන් ට දේහයට ගෞරව කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහාය. මෙතැන් පටන් මගේ පියාණන් ගේ ජීවිතය පාලුවෙන් හා අදුරින් පිරුනි. ඉතාම වේදනාකාරී ලෙස ජෙසී නැන්දාගේ හැරයාම  ඔහුට දරාගත නොහැකි තරම් වූ දුකක් වී ඇත. ඔහු ඉතාම ඇලුම් කල ඔහු ගේ එකම සොයුරිය ගේ වියෝව නිතරම හද දවන වේදනාවක් වූ බව කියැවේ. කාලය ඉගිලෙන්නේ අප නොසිතන වේගයෙනි. 

මින් පසුව මේ කතාව ඔබ අසන්නේ ඔහුගේම වචන වලිනි. අපි දැන් එය අසමු.




Saturday, October 3, 2015

ආදරනීය මලීෂා. 1







මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත්, සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි

ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත. ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි. මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්‍රිකානු රටට යායුතු වේ.

මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය.

දිනක් මගේ සීයා මෙම විල්තෙරෙහි ගීයක් ගයමින් සිට ඇත. ඔහු අත තිබී ඇත්තේ  අත් පියානෝව හා කුඩා බෙරයක් පමණි. මේ ඉන්දියානු ජාතිකයා ඔහු වෙතට පැමිණ තව ගීයක් ගයන ලෙස කාරුණිකව ඉල්ලා ඇත. එම කාරුණික ඉල්ලීම උදෙසා මනරම් ගීයක් ගයමින් පටෙල් මහතා සතුටු කරන්නට සීයාට හැකිවී ඇත. ඉතාමත් සතුටට පත්වූ පටෙල් මහතා ලුසාකා නගරයේ තිබෙන ඔහුගේ විශාල සාප්පු සංකීරනයේ වැඩට සහය වීමට සීයාට ආරාධනා කර තිබේ. එම ආරාධනාව මහත් ආදරයෙන් පිළිගත් සීයා ඊට සති කිහිපයකට පසුව නගරයට පැමිණ තිබේ.

ලුසාකාව සැම්බියාවේ අගනුවරයි. මෙම නගරය ඉතා දැකුම්කළු කුඩා නගරයකි. මෙහි වැඩි හරියක් වෙසෙන්නේ අප්‍රිකානු ජාතිකයන්ය. යුරෝපීයයන් හා ඉන්දියානුවන් ද සෑහෙන ප්‍රමාණයක් ද මෙහි ජීවත් වෙති.

මේ කාලයේ ඔවුන් ඉතා සුහදව සාමකාමීව ජීවත් වී ඇත. නගරයට පැමිනි මගේ සීයාව ඉතාම ආදරයෙන් පිළිගත් පටේල් මහතා එම විශාල සාප්පුවේම පැත්තක නවාතන් පිලියෙල කොට සීයගෙන් සිදුවිය යුතු කාර්යයන් විස්තර කොට නවාතැන් දී ඇත.  ඇසක් අන්ධ ඔහුට දැකිවූ කරුණාව හේතුවෙන් සීයා මියැදෙන මොහොත දක්වාම පටේල් මහතාට යටහත් පහත්ව සේවය කර ඇත.

දවසේ මුල් භාගය පිරිසිදු කිරීම වලටත් භාණ්ඩ නිසියාකාරව තැබීමටත් වෙන්විය. සවස් වරුවේ යන එන අයගේ ගමන් මළු වලට භාණ්ඩ දැමීමත්, අපිරිසිදුවන සාප්පුව නිතර ඇමදීමත් සීයාගේ දෛනික දින චරියාව වී ඇත. සන්ධ්‍යාවේ අත් පියානෝව වයමින් ගීත ගයමින් පාරේ යන එන්නන් සතුටු කිරීම සීයාගේ සිරිත වී ඇත. මග යන එන්නන් මොහොතක් නතරවී සීයාගේ මියුරු සංගීතයට සවන් දීම ඒ දිනවල දැකිය හැකිව තිබුණි. මෙම සංගීත සැඳෑවෝ අවුරුදු ගනනාවක්ම එලෙසම පැවතී ඇත.




 දිනක් මේ සංගීත සැඳෑව නිමා වෙමින් පවතිත්දී කුඩා යුවතියක් සීයා හමුවට පැමිණ නගරයේ යම් කිසි ස්ථනයකට යාහැකි පහසුම ක්‍රමය විමසා ඇත. ඒ අවස්ථාවේ දී වැඩි තැකීමක් නොකලද, පසු කාලයකදී මගේ ආච්චි  අම්මා වන්නේ මේ යුවතියයි. ඔහු ස්වේච්ඡාවෙන්ම ඇයව එම ස්ථානයට ගෙන ගොස් ඇරලවා තිබේ. සීයාට ස්තූතිය දැක්වූ මේ සුන්දර යුවතිය එම නිවස තුලට ගොස් තිබේ. ටික වේලාවකින් සීයා ද තම නවාතැනට පැමිණ ඇත.

සති කිහිපයකට පසුව මගේ ආච්චි අම්මා වූ ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ සීයා සේවය කල සාප්පු සංකීරනයට පැමින තිබේ. ලුසාකා අගනුවර පිහිටි මෙම සාප්පු සංකීර්නය හැඳින්වූයේ ලිම්බාඩා නමිනි. එහි ඉතා වටිනා රෙදිපිළි ද, සුවඳ විළවුන් වර්ග ද, නොයෙකුත් තෑගි භාන්ඩ හා ගෘහ  උපකරණ රාශියක් ද විකිණීමට තබා තිබේ. ඇය දුටු විගසම ඈ හඳුනා ගෙන සීයා සමඟ කතා බහ කර තිබේ. ඇය මෙම නගරයට පැමිණ ඇත්තේ තඹ ආකර පිහිටා ඇති ප්‍රදේශයෙනි. ඇය ගේ නම මාර්තා නම් විය. මගේ සීයා ලුවාලේ ගෝත්‍රිකයෙකි. ආච්චි අම්මා බෙම්බා නම් වූ ගෝත්‍රයට අයත් ය. ඔවුනොවුන් මෙසේ හඳුනා ගැනීමෙන් පසුව දෙදෙනාම ටික කාලයක් ආශ්‍රය කර ඇත. ආච්චි අම්මා සේවය කල ශ්‍රී ලාංකික පවුල ඉතා කරුණාවන්ත පවුලක් විය.

දෙදෙනා ගේ ආශ්‍රයෙන් දෙවසරක් පිරුන පසුව පටෙල් මහතා විසින් සීයාට විවාහ වීමට අවසර දී තිබේ. මගේ ආච්චි අම්මා සීයාට බෙහෙවින් ආදරය කර ඇත. එය පළමු දැකීමෙන්ම ඇතිවූ ආදරයකි. එක ඇසක් ඇති සීයා සමඟ විවාහයට මුළින්ම ආච්චි අම්මාගේ පවුලේ උදවිය අවසර දී නොමැත. ඔවුන් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සීයාගේ ආබාධිත තත්වය හා සීයා පවුලෙන් වෙන්වී නගරයේ ජීවත් වීම නිසාවෙනි.  සැම්බියාවේ සංස්කෘතියට අනුව ලොබෝලා නම් වූ දෑවැද්දක් පිරිමියා විසින් ගැහැනියට දෙනු ලැබේ. මෙය බොහෝවිට හරකෙකු හෝ එළුපට්ටියක් හෝ කුකුළ් කොටුවක් වේ. මෙය මෙසේ දෙනු ලබන්නේ ගැහැනියගේ සේවය එම පවුලට අහිමි වීම නිමිත්තෙනි. සීයා සඳහා මෙම දෑවැද්ද සපයා දී ඇත්තේ ද පටෙල් මහතා විසිනි.

මුළින්ම ආච්චි අම්මා ඇයගේ ගමට ගොස් තම දෙමාපිය ආශිර්වාදය ලබා ගෙන ඇත. අකමැත්තෙන් වුවද ඇයගේ පියා මේ විවාහය සඳහා ආශිර්වාදය ලබා දී ඇත. විවාහට දින නියම කර ඇත්තේ ද ලොකු සීයා විසිනි. මෙහිදී කුස්සියේ උත්සවය හෙවත් කිචන් පාටි නම් උත්සවයක් පවත්වනු ලැබ ඇත.  මෙම උත්සවය එම රටේ ගැහැනුන් සඳහාම විශේෂිත වූ උත්සවයකි. පිරිමින් කිසිවිටකත් මේ සඳහා සහභාගී නොවේ.

මෙම අවස්ථාව ඔවුන් යොදා ගන්නේ විවාහ වන කාන්තාවට ගෙදර දොර වැඩ කටයුතු පුහුණු කිරීමටත්, තම ස්වාමිපුරුෂයා හා හැසිරිය යුතු අන්දම හා චාරිත්‍ර මනාළියට පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහාය. වැඩිහිටි කාන්තාවන් මනාලියට අවවාද අනුශාසනා කර විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළුම දෑ මෙහිදී ඉගැන්වේ.

ඉන්පසුව විවාහයට පෙර දින ඇයව සීයාගේ ගම්පලාත වන කසාබා බේ වෙත රැගෙන ගොස් ඇත. එදින ඇයට ආහාර පිලියෙල කිරීම තහනම් විය. පසු දිනට අවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක් නොයෙක් වර්ග වලින් සාදන ලදී. බීම සඳහා ගමේ පිරිමින් විසින් ශාකයකින් ලබාගන්නා මත්වන චිබූකු නම්වූ සැර බීමක්ද, බීර විශාල ප්‍රමාණයක් ද ගෙනෙන ලදී. මුළු ගමම විවාහයකදී නටමින් ගයමින් විනෝද වේ. මේ සඳහා බෙර මහ හඬින් වයමින්, ගෝත්‍රයට ආවේනික ගීත ගයමින් සතුටු වෙති. 

සතුට, විනෝදය ගම පුරා පැතිර ගිය මේ උත් සවය මේ දුප්පත් ගම් වාසීන්ට ඉමහත් ප්‍රීතියක් ලබා දුන් බව කිව යුතුමය. පුරා දින තුනක් පැවති මෙම උත්සවයෙන් අනතුරුව ආච්චි අම්මාට ආහාර පිසීමේ දිනය උදාවිය. ඈට අවශ්‍යය වළන් හා ගින්දර ඇයගේ නැදි මයිළනුවන් විසින් හඳුන්වා දෙන ලදී. ඒ මොහොතේ පටන් ඇයට මුළුතැන්ගෙය තුලට පැමිණීමට අවසර ලැබිණ. මේ මොහොත ඔවුන් දෙදෙනාටම ඉතාම සුන්දර අවස්ථාවක් විය.

සති දෙකක් ගමේ සුන්දරත්වය විඳි ඔවුන් පටේල් මහතා විසින් සීයාට ලබා දුන් කුඩා නිවසක පදිංචියට යළිත් ලුසාකා නගරයට පැමිණ තිබේ.  මංගල උත්සවය සඳහා විය පැහැදම් දෙදෙනාගේම හාම් පුතුන් විසින් දරනු ලැබීය. එයින් දින කීපයකට පසුව දෙදෙනාම සේවයට වාර්තා කලහ. 



දෙදෙනාගේම සමඟිය නිසා විවාහ දිවිය ඉතාම සාර්ථක විවාහ දිවියක් විය. දෙදෙනාම එක ලෙස මහන්සියෙන් වැඩ කරමින් මගේ පියාගේත් ජෙසී නැන්දාගේත් කුඩාකල ජීවිත සතුටින් ගත කිරීමට අවශ්‍යය පසු බිම සකසා ඇත.


මගේ පියා ඉපදී ඇත්තේ ඔවුන්ගේ විවාහයෙන් වසර දෙකහමාරකට පසුවය. මගේ පියාණන් නමින් චිලේෂි බන්ඩා නම් වේ. ඔහුට මාස දෙක පිරුන දා පටන් ඔහුවත් පිටේ බැඳගෙන ආච්චි අම්මා රැකියාව සඳහා ගොස් තිබේ. ඉතා කරුණාවන්තවූ ඇගේ ස්වාමිදියණිය ඇයට රිසි පරිදි රැකියාව කරගෙන යාමට අවසර දී ඇත. මගේ පියාගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය ගෙවුනේ මවගේ පහස ලබමින් ඇගේ උර මත රැඳි රෙදි උරය මතය. වැඩ කරන අතරතුර ඈ ගැයූ මිහිරි ගීත පසු කාලයකදී මට ද අසන්නට ලැබුනි. සන්ධ්‍යාවේ සීයා වැඩ නිමාවී ආච්චි අම්මාත් සමඟ සිය නිවසට පැමිණීම  ඔහුගේ සිරිත විය.


මෙලෙස ඔවුන්ගේ ජීවිත ඉතා දුකසේ නමුත් සාමයෙන් සතුටින් ගෙවී ගොස් ඇත.  මගේ පියා කුඩාකල ඉතා හොඳ දරුවෙකු වූ බව ආච්චි අම්මා නිතර පැවසූ බව කියනු ලැබේ. තෙවසරකට පසුව පවුලේ එකම ගැහැණු දරුවා වූ ජෙසී නැන්දා ඉපදී තිබේ.  ජෙසී නැන්දා කුඩා කල ඉතා දඟකාරියක වූ බව මගේ පියා මට පැවසූ බව මතකයේ ඇත. ඔවුන් කුඩා කල ඉතා සමගියෙන් හා කෙළිදෙලෙන් විසූ බව කියැවේ. ඔවුන් ගේ වාසය අගනුවර වූ ලුසාකාව වුවුද ඔවුන් ගේ සීයාගේ උපන් ගම වූ කසාබා බේ ප්‍රදේශය ගැන විසිතුරු නිතරම සීයා විසින් පවසන්නට යෙදුනු බව සුන්දර මතකයක්ව මගේ පියාගේ ලමා කාලයේ මතක ගබඩාවේ තිබී ඇත. තම පුතුට වයස අවුරුදු හතක් වූ කල තම උපන්ගමට යාමට කාලය යැයි සීයා විසින් තීරණය කෙරිණ. එම දිගු ගමනට සියල්ලන්ම ලක ලැහැස්ති වූයේ දින ගනනාවක සිටය. එම දිය උදාවන තෙක් සීයා සහ ආච්චි අම්මා නොඉවසිල්ලෙන් පසු වූ බව පවසා ඇත. තම දෙමාපියන් කලකට පසුව දැකීමේ ප්‍රීතියෙන් සීයා පසු වූ බව කියැවේ. 

https://chandigesithuviliuyana.wordpress.com/2015/10/16/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%93%E0%B6%BA-%E0%B6%B8%E0%B6%BD%E0%B7%93%E0%B7%82%E0%B7%8F-1/