Monday, July 28, 2014

පොඩි සාදූ




පිල් දොරකඩට වැඩලා අද පොඩි සාදූ
නෙත් කඳුලින් පිරේ වාවනු බෑ ම'සිත
දෙන්නට යමක් ගේ හරියෙම නෑ තියෙන
දරන්නේ කෙලෙස මගෙ දරු පැටියා පැමිණ

සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද
මේ දුක් ගිනි  ඉහිලිය නොහැකි වි ද
අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද
අප මුදවන්න මේ  සසරේ කවදා ද

අතගා බැලූවෙමි රෑ බත් හැලිය වේලිලාය
උදයට හැදූ කැඳ මුට්ටිය පතුලේ ය
අප්පච්චී නැති උන දා සිට මෙලෙසමය
දන් දුන්නේ පන්සලට නුඹ ඒ හන්දාය

පාත්තරය මෑත් කර මා  දුන්න
කෙසෙල් ගෙඩිය පිළිගෙන තුටින
බත් හා මාලුපිනි ටික ටික ගෙන සොඳින
දෙන්නේ නුඹ  මල්ලිලා දෙන්නට දෙන්න

කඳුළු වැටුන පාත්තරය අතට ගෙන
ආපසු හැරුණි පන්සල වෙත යන්න
ඇයි අම්මට උනේ මේ දුක උහුලන්න
උර දීපන් පුතේ සසරින් ගොඩ එන්න