Wednesday, October 9, 2013

සමනල ගීතය





කාලෙකින් ලියන්න ආවෙ වෙනස්ම දෙයක් ගැන. අපි පහුගිය 06 වෙනිදා 'සමනල සංධවනිය' බලන්නට ගියා. කාලෙකින් බැලුව සුන්දර සිනමාපටයක්. අපි පොඩි පුතාගේ උපන් දිනය සමරන්න හිතාගෙන කලින්ම අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් වෙන්කලා. නැතිනම් අපට සෙනග අස්සෙ කරදර වේවි කියලා හිතාගෙන.

"සමනල සංධවනිය" මට පුදුම කම්පනයක් ගෙනාවේ.. එහෙමටයි කියල මගේ අත් දෑකිමක් මේකෙ නොමැති උනත්, අපි අතරෙ ඉන්න කාගෙ හරි අත්දෑකිමක් නේද කියල හිතෙන පුදුමාකාර සංවේගයක්, වගේම ආදරයක් මට  දැනෙන්න පටන් අරන්.

අපි කාගෙත් මේ වාගෙ ''මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........." තියෙන්නට ඇති. සමහර අපි අතරට  යන එන අයට අපි ආදරය කරන්නෙ මේ වාගෙ නේද? අපි හිතන්නෙ නෑ ඒ අය අපේම කරගන්න. නමුත් ආදරය ...........  කරනවනෙ.

හුස්ම ගන්න, පපුව ගැහෙන,සොඳුරු හදවත් තියන,  ආදරේ විඳින අපි කාටත් අපේ නොවන අපේම ආදරයක් තියනවා. මේක සොබා දහමේ සදාතනික සත්‍යයක් නේද කියල මට වෙලාවකට හිතෙනවා. 

ඒ පෙම් සබඳතා වලින් ඇතැම් සිත් වල ආදර සිහිනය දෑසක උතුරන කඳුළු ගඟක් වී මැකී යාවි......  එනමුදු, මේ පුංචි රටේ කොතැනක දී ‍හෝ මතු කවදා හෝ .. ඔවුන් නැවත මුණගැසුනොතින්, අද මෙන් , එදාටත් ඔවුන්ට උරුම වූ සොඳුරු ප්‍රේමයේ සුවඳ යළිදු  ඔවුන්ට  දැනේවි. 

සංධවනියක් යනු ඔබත් මමත් අපි අපිටම ආවේනික ක්‍රමයකට රසවිදිනා විශ්ව භාෂාවේ අපුර්වතම  නිමැවුමකි.   ඔබ සමනල තටු ගැටෙනා හඬ අසා ඇති දැ'යි මම නොදනිමි. අප  කුඩා කළ සමනලුන්ගේ හඬ අසන්නට මම උන් සමග  පසු පස දිවගොස් ඇත්තෙමි. උන් පසු පස හඹායමින් උන් හා කතා කලෙමි.  උන් මා හා කතා කරනාබව විශ්වාස කලෙමි.  අදටත් සමනල රෑනක් දුටු විට මා හද ප්‍රීතියෙන් පිනා යන බව දනිමි. ඒ තරමට සමනලුන්ට මා ආදරේය. අතීතයේ  යම් දිනෙක තටු කැඩෙතැයි බියෙන් උන් ප්‍රවේසමෙන් අල්ලන්ට වෙර දැරූ සැටි අදටත් මතකය.

මට සිතෙන ලෙසට "සමනල සංධවනිය" යනු අදටත් ලොවෙහි පවතින, නමුදු සැගවුන, අප නොඅසන ,නොදකින එමෙන්ම අපට මග හැරුණු අපුරු ආදරයක් විය හැකියි. ඒ ආදරයේ මිහිරියාව ඔබට කෙදිනක හෝ  දැනෙනු ඇත. එය ඔබට කවමදා ක හෝ අත් විඳින්නට සිදුවිය හැක. 

ආදරය කොහෙන් උපදිනවද කියල කාටද?  කියන්න පුලුවන්. මුලින්ම අම්මා තාත්තාගේ ආදරේ. ඊට පස්සෙ සහෝදර සහෝදරියන්ගෙ ආදරේ, නෑදෑ හිතවතුන්ගෙ  ආදරේ , ඊලඟට ගුරුවරුන්ගෙ ආදරේ, තරුණ වියට ආවහම පෙම්වතුන්ගෙ පෙම්වතියන්ගෙ ආදරේ, අසල් වාසින්ගෙ ආදරේ .    ජීවිතේ මැදි වයසට ආවහම දරුවන්ගෙ ආදරේ. ඊටත් පස්සෙ දරු මුණුබුරන්ගෙ ආදරේ. මේ වාගෙ ජීවිතේ විවිධ කාල පර්ච්චේද වලදී අපි විවිධ විදිහට ආදරේට නතුවෙනව. මේ හැම දෙයක්ම හරිම සොඳුරුයි, ආදරණීයයි නේද කියල හිතෙන්නෙ ඒ දිහා සුන්දර ලෙස බලන විටයි.

මේ වාගෙම මල්පෙත්තක් සුළඟට විසිරෙනකොට ඒ දිහා ආදරෙන් බලන්න, මලක සුවඳ විසිරිලා එන සුලක් රැල්ලකට ඉව අල්ලන්න හිතෙනකොට . ගහක කොලයක් සුළගෙ පාවෙනකොට , දොළක වතුර ගලායනකොට ඒ සද්දෙත් එක්ක හිත නවතිනකොට,  සීතල රාත්‍රියක හද එලියෙ තරු කැට ගනින කොට, හිත අද්දර තනිවෙලා ලෝකෙම සුන්දරව දකිනකොට මේ වාගේ දේවල් වලට අපේ හිතේ ඇතිවෙන ආදරේ. ලස්සන සතෙක්, කුරුල්ලෙක් දිහා ආදරෙන් බලනකොට, ඒ සතා කොච්චර දරුණු උනත් අපට අහිංසකව පේනකොට. ඔහොම බැලුවහම කොච්චර දේවල් තියෙනවද කියන්න. මුලු මහත් විශ්වයම ආදරෙන් පිරිච්ච තැනක්. ඒ හැම දේකටම අපි ආදරේ කරනව කියල මම හිතන්නෙ.

**********************************************************************************
ආදරණීය රේවත, 

මේ ඔබ පුදුමයට පත් කරන ලිපියක් බව මා දන්නවා. එය කියවා අවසන් කිරීමට ඔබ තුළ වන නොඉවසිල්ල මේ ලිපිය අවසන් කිරීමටත් මා තුළ තිබෙනවා. මා ඉක්මනින් ඔබට යමක් කියන්නම්. මා ඔබගේ ආදරය පිළිගන්නවා රේවත. මෙච්චර කාලයක් මා ඔබේ ආදරය පිළි නොගත්තේ ඔයාට තිබෙන අකමැත්තක් නිසා නොවෙයි, මම මගේ ජීවිතය ඇතුළෙම ඇවිදිමින් සිටිය කෙනෙක් නිසයි. තමන්ගේම ජීවිතය තුළම ඇවිදිමින් සිටින මිනිසුන්ට ජීවිතයේ අඩුපාඩු හුඟාක් පේනවා. ඔයා බොහොම උසස් පවුලක කෙනෙක්. මම එහෙම නෙවෙයි. හැබැයි මම මෙහෙම ලියන්නේ ඒ පිළිබඳව හීන මානයකින් කියලා හිතන්න එපා.

ජීවිතය කියන්නේ ඔයා හිතනවා වගේ කවියක් නෙවෙයි රේවත, ජීවිතය කියන්නේ පිපාසයක්. සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමකින් හරි සංසිෙඳන්නේ ආදරය කියන දියරය ලැබුණහම විතරයි. ඒකයි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුණත් ඒත් දුවන්නේ. හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා, හඬ හඬා අප ආදරය සොයන්නේ ඒ නිසයි. මා ඔබේ ආදරය පිළි ගන්නවා රේවත. ඔබ තවම මා පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටී නම් මේ මාර්තු 07 වැනිදා සවස 5.00 ට කුමාරි පාක් එකට එන්න. මේ දවස අමතක නෑ නේද? ඒ තමා අපි මුලින්ම මුණ ගැසුණු දවස. මතකද? ඒ තමා අපි මුලින්ම මුන ගැසුණු තැන. මතකද? එන්න රේවත ඔබ එනතුරු මා බලා සිටිනවා.

'No road is to long in love'


ඔබ නාවත් මම එදාට එතැනට එනවා. අපි දිවි ඇති තුරා හැම මාර්තු 07 දවසකම එතැනට එමු. නොවැරෙදීම එමු. දැන් හිතෙයිද දන්නේ නෑ මාර්තු 07 කියන්නේ මාරක 07 කියලා. කොහේ ගිහිල්ලා හිටියත් ඔන්න එදාට කුමාරි පාක් එකට එන්න ඕනෑ. එන්න ඕනෑ. එන්න ඕනෑ හොඳේ.

තෙරුවන් සරණයි

මං ඔයාගේ ආදර 
පුන්‍යා


** ********  මේ ලිපිය තමා කතාව පුරා දිවෙන තේමාව වෙන්නෙ. 



ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා

උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා
මට මගේ නොවන ආදරයක් තිබුණා

******** රඟපෑම් ගැන කියන්නට මම විචාරකයෙක් නම් නෙවෙයිනෙ. ඒ නිසා ඒ ගැන සටහනක් නොතබමි.

ප්‍රේමයේ සොඳුරු බව  , පිවිතුරු බව , ඒ පුනරාගමනය හමුවේ නොසැලී පවතින්නට
මේ සිනමා සිත්තම  සදා  මතක සටහනක් ම වේවා !