Tuesday, March 29, 2011

සොඳුරු මතක සටහන්.4

මට අදවගේ මතකයි අපි ලුසාකා නගරයට යන්න පිටත් උන දවස. 1975 වසරේ අගොස්තු මාසේ දවසක්. හරියටම දිනය අමතකයි. අපි ගුවන් තොටු පලට ගිහින් හැරිල ආවා. මොකද දන්නවද? අපේ ගුවන් ටිකට් පතේ 00.45 AM කියල ලියල තිබුනේ අපිට යන්න තිබෙන දිනය වැරදිලා. පාන්දර තිබුන වෙලාව රෑ කියල වටහාගෙන. අපරාදේ දුකින්ම ගෙදර ඇවිත් ආයේ ඊළග සතියේ ඔන්න යන්න හදාගත්තා.

එදා නම් වෙලාවටත් කලින් ගුවන් තොටුපලට ආවා. ඒ අය අහනවා මොකද උනේ කියල? බැලින්නම් පහුගිය සතියේ කිහිප සැරයක් නම් කියවිලා හැමෝටම අපි තුන් දෙනාව මතකයි. අපි කියන්නේ මමයි, ලොකු නංගියි,පොඩි නංගියි. මට වයස අවුරුදු 12යි, ලොකු නංගිට 11යි, පොඩි නංගිට 08යි. හිතා ගන්නත් බෑ තනියම ගිය බව.
අපි ගියේ බ්‍රිතාන්‍ය ගුවන් යානයක. කොළඹින් සී ෂෙල්ස් කියන පුන්චි දූපත් සමූහයට. එහේ එක දිනක් නවතින්න ඕනේ.

පැය හතරක් වගේ ගමනක්. ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය හරිම හොදයි. අපි ගියේ දෙමාපිය රැකවරනය නැතිව නිසා හැමෝම අපිව බලා ගත්තා. බ්රිතාන් ගුවන් සේවාවට අපිව භාර දුන්නට පස්සෙ ඔවුන් නිදහස්. පොඩිනංගිව බලා ගන්න එක තමයි අමාරුම කාරිය. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට කොහේ හරි ගිහින්. ගුවන්යානයට ගියේ හරිම බයෙන්. මේක කොයි වෙලාවෙ කඩා වැටෙයිද? දන්නෙ නෑ. ඒක ඉතින් මුලින්ම යන කොට කාටත් හිතෙනවා ඇති. සමහර වෙලාවට මතක් උනේම ඉතිපිසෝ ගාථාවම තමයි. හරිම බය දේවල් තමයි හිතටආවෙ. ආසන පටි දමන විදිහවත් දන්නේ නෑ. දන්න ඉංග්රීසි වචන දෙක ඔව්, නෑ කියන්න විතරමයි. හැබැයිකියන දේ තේරුම් ගන්න පුලුවන්. ආසන පටි දමාගන්න උදව් උනේ ලස්සන සුදු ගුවන් සේවිකාවක්. ටිකක්කරුණාවන්තයි. එක්කෙනෙක් දෙන්නෙක් හිටිය ටිකක් නීති. ඉතින් අපිට මෙලොව දෙයක් තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති.

ඔන්න අපිත් ටික වෙලාවකින් උඩ යනවා. රෑ නවයට කොළඹ නගරය හරිම සුන්දරයි ගුවනේ දී. මට නම් දැනුනේ පුදුම බයක්. පපුව ගැහෙනවා, තොල කටත් වේලිලා. ටිකකින් අපිට බීම වර්ග සහ බිස්කට් ගෙනාව. දන්න එකම බීම දොඩම් යුෂ නිසා ඒක ගත්තා. උනාට සීනි මොනවත් නෑ. ඇඹුල්ම ඇඹුල්. මොනව කරන්නද දෙන දේ ගන්න එපායැ. තව පැය භාගයකින් විතර රාත්රි ආහාරය ගෙනාව. එතකොට හරිමඅමුතු සුවඳයි. අපිට ඉතින් සුදු අයගේ කෑම කන්න පුලුවනෑ. අපෝයි මිරිස් කලදක් නෑ. සුදුම සුදු පාට මස් හොදිසමඟ බත්. කටේ තිබ්බම හරිම අමුතුයි. අමාරුවෙන් ඩිගිත්තක් කෑව. පොඩි නංගි නම් හොදට නිදි. කන්න කතාකලාම තමයි යන්තම් නැගිට්ටේ. ඒත් වුරුත් කෑම නම් බඩ පිරෙන්න කෑවේ නෑ. ඊට පස්සෙ ලයිට්ස් නිව්වා. අපිට ටිකක් නිදා ගන්න. උනාට නිදන්නේ කොහොමද? මේ කඩන් වැටුනොත්. ටිකකින් ඔන්න මම පටන්ගත්තා වමනෙ දාන්න. මට කොහොමත් ගමන් යනකොට වමනේ යනවා. අනේ ලොකු නංගිට තමයි වදේ. කීපාරක් වමනේ දැම්මද? දන්නේ නෑ. හරිම තෙහෙට්ටුයි, කාට කියන්නද. නිදිමත හොදටෝම. උනාට නිදියන්න බෑ. බොහොම අමාරුවෙන් ගත කලේ පැය කීපය.

පාන්දර දෙකයි ගානකට සී ෂෙල්ස් බහින්නෙ. අපි එහෙට ලං වෙනකොට හැමෝම අවදියෙන්. ගුවන් යානය පහත් කරන කොට මාහේ අගනුවර යන්තමට කළුවර මැද්දෙන් දැක්ක. ඈතින් ඈතින් එලි යන්තමට පෙනුනෙ මුහුද මැද්දෙන් හරියට පුංචි පුංචි ගම්මාන වගේ. පැහැදිලිව නොදැක්කත් පසුව දූපත් සමූහයේ සුන්දරත්වය රිසිසේ විඳගත්තා. ‍‍ ‍ ‍

රෑ කළුවරේ තමයි මාහේ ගුවන් තොටුපලට ආවෙ. එතනදී තව කෙනෙකුට අපිව භාර උනා. පොඩි ගුවන් තොටුපලක් වැඩිය සෙනඟ නෑ. කතා කරන්නේ ප්රංශ භාෂාව. ඒ, රට ප්රංශයේ යටත් විජිතයක් වෙලා තිබුනනිසා. අපිට නම් මෙලොව දෙයක් තේරුනේ නැහැ. අතින් පයින් තමයි කථාව. කොහොම හරි අවශ් ලිපි සකස්කරල අපිව කාරයකට නග්ග ගත්තා හෝටලයට ගෙනියන්න. අපිත් එක්ක අපේ භාර කාරියයි තව පිරිමිළමයෙකුයි ආව. එයා අපේ භාරකාරියගෙ සොහොයුරෙක් බවයි කිව්වේ. ‍‍ ‍

ගමන පැය එකහමාරයි කිව්ව. අනේ දැන්නම් හොදටම මහන්සියි අපිට. උනාට ඇහැරිලා ඉන්න ඕනෙ. මේ අය අපි ගැහැනු ලමයි තුන්දෙනාව කොහේ ගෙනියයි දන්නෙ නෑනේ. දෙන්න හරි හරියට කතාව. ඉංග්රීසියෙන් මොනවහරි කියනවනම් කමකුත් නෑ යන්තමට හරි අපිට තේරෙනවනේ. ප්රංශ භාෂාව අපිට යන්තමට වත් හිතාගන්න බැහැනේ. දැන් ඉතින් ආව කදු බෑවුම් ඇති පාරකට එකෙ යන්නෙ කැරකි කැරකි. මට නම් අයෙත් බඩ දඟලනවා, යනව යනව ඉවරයක් නෑ. එහෙම ගිහින් මූදේ සද්දෙ ඇහෙන පලාතකට ආව. සුළඟ හරි සනීපයි. දැන්නම් යන්තමට එලිය වැටී ගෙන එන මහ පාන්දර. අපේ රට වගේ කියල යන්තමට හිතුන. හෝටලයට ආව. ලුනුමිශ් උනුසුම් වාතය එළියට බැහැපු ගමන්ම. පඩි දෙකතුනක් නැගල හෝටලයට ඇතුල් උනා. අපිට කාමරයක්ලැබුන ඇඳන් තුනක් එක්ක. හරිම ලස්සනයි කාමරය. පින්තූරයක් ගන්නවත් කැමරාවක් නැහැනෙ. ඉතින්, නම මතක විදිහට කොරල් රීෆ්. ‍ ‍ ‍

ඇති යන්තම් ඇහැපියවන්න පුලුවන් දැන්. ඇග පත සෝදගෙන ඇඳට වැටුන. නැඟිටින කොට දවල් වෙලා. උදේකෑම වෙලාවත් පහු වෙලා. මොනොව කරන්නද? එළියට පහලියට යන්නත් බයයි අතරමං වෙයි කියල. කාමරයටම වෙලා හිටිය ඉතින්. දොළහමාරට විතර අපෙ භාරකාරී ආවා. එක්ක ගියා එළියට. මූහුද අයිනට හරිම පිරිසිදු ලස්සනම ලස්සන මුහුදු තීරයක්. ඈතින් තැනින් තැන දූපත් දෙක තුනක් පේනවා. නිල් කැටේට වතුර. පැහැදිලි පිරිසිදු නිලට දිලෙන මුහුද. කියන්න බැරි තරම් ලස්සනයි. ජීවිතේ තාමත් මට මතක ඒ ලස්සන, ඒ නිසාම තමයි. මේ දේවල් කොච්චර ඒ රටේ අය රකිනවද? කියල හිතුන. පොඩි නංගිගෙන් තමයි පළමුවන පරිසර සුරැකීමේ පාඩම ඉගෙන ගත්තෙ. ඒ ඇය විසි කරපු කොළ කෑල්ල අහුලලා අපේ භාරකාරිය එතන තුබුන කුණු කූඩයට ගිහින් දැම්මේ එයාට එහෙම නොකරන්න අතින් සංඥාවක් කරලයි. පරිසරයට ඔවුන් කොයිතරම් ආදරෙයි ද කියල කිව්වොත් කිසිම තැනක මුහුදු තීරයේ කුණු කසල දමල නෑ. හරිම පිරිසිදු සුදු වැල්ල. හරි ආසයි ඇවිදගෙන යන්න. ගොඩක් වෙලා රැල්ල පාගමින් හිටිය. දැන් නම් හොදටම බඩත් ගිනියි. කෑම වෙලාවනේ. අපිව ඊළගට එක්ක ගියේ ලොකු ආපන ශාලාවකට. එතන සිය ගානකට කන්න කෑම මේස වල ලස්සනට පිළියෙල කරල. ඒ උනාට අමුතු සුවඳයි. අපිට හුරු නෑ. අපි කවදාවත් මේ බුෆේ ක්‍රමයට කෑම තියෙන විදිහ දැකල තිබුනෙ නෑ. මොනවත් අපි දන්න කෑමත් එතන නෑ. එක අතකින් කන්න බයයි මුදල් ගෙවන්න වෙයි කියල. අපි අතේ මුදල් තිබුනට ඒවා සංචාරක චෙක්පත්. ඒ නිසා මාරු කරගන්න දන්නේ නෑ. අපිට දැකල තියෙන ඒවට තිබුනෙ පළතුරු විතරයි. අනේ අපිට වෙච්ච දෙයක්. කොච්චර කෑම පුරවලා තිබුනත් කන්න විදිහක් නෑ. බුෆේ එකක කන පිළිවෙල දන්නෙත් නෑ. එහෙට මෙහෙට ගිහින් පොඩි බනිස් ගෙඩියක් සළාද ටිකක් එහෙම ගත්තා. මස්, මාළු එක එක විදිහට හදල තිබුනට හරිම අමුතුයි අපිට. අන්තිමේ අම්ම ගෙදර හදල දීපු චොක්ලට් පුඩිමකට සමාන පුඩිමක් තිබිල බත් කන පිඟානටම ඒක දාගෙන කෑව. ඔය සිද්දිය නම් තාමත් ඉද හිට මතක් කරල හිනා වෙනව අපි.