Monday, July 28, 2014

පොඩි සාදූ




පිල් දොරකඩට වැඩලා අද පොඩි සාදූ
නෙත් කඳුලින් පිරේ වාවනු බෑ ම'සිත
දෙන්නට යමක් ගේ හරියෙම නෑ තියෙන
දරන්නේ කෙලෙස මගෙ දරු පැටියා පැමිණ

සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද
මේ දුක් ගිනි  ඉහිලිය නොහැකි වි ද
අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද
අප මුදවන්න මේ  සසරේ කවදා ද

අතගා බැලූවෙමි රෑ බත් හැලිය වේලිලාය
උදයට හැදූ කැඳ මුට්ටිය පතුලේ ය
අප්පච්චී නැති උන දා සිට මෙලෙසමය
දන් දුන්නේ පන්සලට නුඹ ඒ හන්දාය

පාත්තරය මෑත් කර මා  දුන්න
කෙසෙල් ගෙඩිය පිළිගෙන තුටින
බත් හා මාලුපිනි ටික ටික ගෙන සොඳින
දෙන්නේ නුඹ  මල්ලිලා දෙන්නට දෙන්න

කඳුළු වැටුන පාත්තරය අතට ගෙන
ආපසු හැරුණි පන්සල වෙත යන්න
ඇයි අම්මට උනේ මේ දුක උහුලන්න
උර දීපන් පුතේ සසරින් ගොඩ එන්න

Thursday, June 26, 2014

ප්‍රේමයේ මාවත



මගෙ හිත ඔබ ලඟ
ඔබෙ හිත මා ලඟ
දෙදෙනා දෙතැනක
පෙම නැවතුන තැන

ඔබ ලඟ මා නැත 
මා ලඟ ඔබ නැත
දෙදෙනට හිමිවූ 
කැදලි දෙකක් ඇත

සෙනෙහස පුද දෙන 
දූ දරුවන් ඇත
පෙම්බර බිරිඳකි
යහපත් සැමියෙකි

රාග හිතක්  නැත 
ද්වේශ හිතක් නැත
මිතුදම පමණක් 
ඉතිරිව ගොස් ඇත

වෙනස් කමක් නැත
හිත් රිදවා නැත
දෙදෙන සැනහෙන 
සෙහෙනෙ විලක් ඇත

සසර බැඳුන බැමි
බිඳලනු නොහැකිව
මතකය පමණක් 
මිහිදන් වනු ඇත

Sunday, June 22, 2014

අත්හැරීම.



සඳ දිය දහරින් නහවා මා හද
හිම කැටයක මුදු සිසිලස රඳවා
සිසිලැල් කරවූ ඔබමයි  නිරතුරු
සැඩ හිරු පහරින් මා දවාලන්නේ

සමනළ තටුවක සුසිනිඳු පහසින්
මා වත සිඹ සනසවමින් 
දැවටී දැවටී නිරතුරුවම ඔබ
සනසා මාගේ මුළු ජීවිතයම

දේදුනු මාවත සසර පුරාවට 
සැරිසරමින් මා අත ගෙන
නහවා නහවා සෙනෙහස් දහරින්
ජීවිතයම පහන් කෙරූ නුඹ

ආදරයේ මුදු පියවිළි මත්තේ 
හිමිහිට හිමිහිට ඇවිද යන්නට 
ඇයිද හිදින්නේ අත නොහැරම නුඹ
යන්නට නම් මේ කාලය ඇවිදින්

Monday, January 27, 2014

තනිකම!




ඈත දුරක නැගෙනහිරෙන් පායන සඳ මේ වගේද
වෙනසක් නැති ඒ සඳවත ඔබට වගෙම මට පෙනේද
කාලයේ වැලිතලාවේ වියැකී යන සඳ එදා වගෙද
වෙනසක් නොමවී තිබුනේ නම්  කෙලෙසද මේ මිහිමත

වෙහෙර දේවි උයන පුරා පිපි මල් ගොමු මිලින වෙලා
මුකුලිත මල් හැලී ගොසින් ගහ කොල සැම පාලු වෙලා
අප දෙදෙනා පියමං කල මාවත නම් අලුත් වෙලා
දුවගෙන මට එන්න හිතයි වසන්තයට අත වනලා

මේ මිහිමත දෙකෙලවරක අප දෙදෙනා තනිවීලා
සුසුම් ලමින් ඉන්නට ඔබට මටද උරුම වෙලා
කාලය ඉගිලෙමින් රූසිරු  වියැකෙන අයුරු බල බලා
රිදුම් දෙන හදවතේ කොනක මං  තනිවෙලා