Tuesday, November 3, 2015

ආදරනීය මලීෂා 4




අපි නිතර පාසැලේ වැඩ කටයුතු වලදී එක්ව සිටින්නටත්, එක්ව වඩ කරන්නටත් පුරුදු වුනෙමු. මගේ ගණිත දැනුම ඇයට දෙන්නටත් ඇගේ භාෂා දැනුම හා විද්‍යා දැනුම මට ලබා දෙන්නටත් නිතර ප්‍රශ්න හා උත්තර සාකච්ඡා කරන්නටත් අපි පුරුදු වුනෙමු. මුවාලේ මහත්මිය ඉතා කරුණාවෙන් අප හට අවශ්ය‍ය දැනුම ලබා දෙන ලදී. පාසැලේ බාහිර ක්‍රියාකාරකම් සඳහා මම පා පන්දු ක්‍රීඩාවත්, ඇය දැල් පන්දු ක්‍රීඩාවත් තෝරා ගැනුණි. සවස් වරුවේ පුහුණුවීම් සඳහා අප දෙදෙනාම එක්ව ක්‍රීඩා පිටිය වෙත ගියෙමු. පාසැලේ අනෙකුත් අප පන්තියේ යහලුවන් ද අප සමඟ මේ සඳහා සහභාගි විය. අපි නොයෙක්වර පාසැල් චාරිකා සඳහා එක්වීමු.

 දිනෙක අපි සත්තු වත්ත බැලීමට ගියෙමු. අප රටේ විශාල සත්තු වත්තක් නැත. සතුන් නිදල්ලේ ගතකරණු දැකීම තරම් සතුටක් අපට නැත. විශාල වූ වපසරියක සතුන් සඳහා වෙන්වූ අභය භූමි අප රටේ බහුලව දක්නට ලැබේ. බොහෝ යුරෝපීය සංචාරකයන් අප රටට ඇළුම් කරන්නේ මේ අභය භූමි  තුල දක්නට ඇති නිදල්ලේ වෙසෙන විශාල සත්ව ගහනයන් නිසාමය. අට වසරේදී පන්ති චාරිකාව සඳහා අප විසින් තෝරා ගැනුනේ 'මුඩවන්ගා ගාඩ්න්ස්' නම් වූ සත්තු වත්තයි. අද එය දරුවන් සඳහාම වෙන්වූ අධ්‍යාපනික ආයතනයක් බවට පත්වී තිබීම සැබැවින්ම සතුටු විය හැකි කරුණකි. මෙම චාරිකාවේ දී ඇයටත් මටත් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට ලැබුණි. ඇය ඉතා කරුණාවෙන් පිරි හදවතක් ඇති තැනැත්තියක බව මම හඳුනා ගතිමි.

 ශ්‍රී ලංකාවේ සත්තු වත්ත සැම්බියාවේ සත්තු වත්තට වඩා කුඩා වුවුවද ඉතා විශාල සතුන් ප්‍රමාණයක් හා උරග සංඛයාවක් එහි වෙසෙන බවත් පිරිසිදු කමින් එය මෙයට වඩා උසස් තත්වයක ඇති බවත් ඇගෙන් මම දැන ගත්තෙමි.

අපි දෙදෙනා හා අපගේ යහලු යෙහෙලියන් එක්ව අපි අපේ රටවල වෙනස්කම් හා සමානකම් ගැන කතා කලෙමු. අපි නොයෙකුත් සොඳුරු දේ කතා කලෙමු.  ගෝරිල්ලන් ගේ කූඩුව අසල දී ඇගේ අත් ලේන්සුව ඌට දිගු කලාය. එය සැනෙකින්  අතට ගත් ගෝරිල්ලා එය දෙපැතට වනමින් විසුළු මුණක් ඇතිව එහාටත් මෙහාටත් පනින්නට වුණි. අප පන්තියේ සිසුන් මෙන්ම ගුරුවරුන්ටද මෙය මහත් විනෝද ජනක අවස්ථාවක් වුණි. අපි උගේ සෙල්ලම් බලා සතුටු වුනෙමු. හිමකිරම සැමටම  පාසැලෙන් ලැබුණි. ඇය ගෙනා බටර් කේක් ද පන්තියේ අනෙක් අය රැගෙන ආ අල බැදුම් , ටොෆී වර්ග හා මා විසින් රැගෙන ගිය බිස්කට් ද අප බෙදාහදා ගත්තේ සතුටිනි.

"මලීෂා , ඔයාගෙ කෙක් එක හරිම රසයි. හරිම මෘදුයි"  මම කීවෙමි.

".. ඒ අපේ කෙක් හදන ක්‍රමයෙ වෙනස චිෂී" ඇය කීවේය. "නැත්නම් කේක් වර්ග ලෝකෙ කොහෙත් එකයි" ඇය කීවේය.

"ඔයාලගෙ රටේ සමහර කෑම වර්ග අපේ රටේ අයට එච්චර රසට හදන්න බෑ, ඒ ඔයාලට ඒ කෑම හදල පුරුදු නිසා . ඒ වාගෙ සමහර කෑම වර්ග අපිටම ආවේනිකයි. කේක් නම් අපි ඉගෙන ගෙන තියෙන්නෙ සුද්දන්ගෙ වෙන්නැති. " ඇය කීවේය.

"අපේ රටේ කොහොමත් කේක් හයියයි". ජේසී කීවේය.

"හ්ම් " මුලෙන්ගා කීවේ සිනාවක් මුවඟට නගා ගනිමිනි.

" දැන් අපි කොහෙද  යන්නෙමිසිස් මුවාලෙ? බ්‍රෙන්ඩා ඇසීය.

" අපි දැන් රෙප්ටයිල් පාක් යමු නේද?" අපේ ගුරුතුමිය ඇයට පිළිතුරු දුන්නේය.





අපි සියල්ලෝම උරඟ උයනට ගියෙමු. නොයෙකුත් ආවේනික උරඟයින් අපි දුටුවෙමු.  බ්ලැක් මාම්බා නම් වූ විශාල විශසහිත උරඟයින් ද, පෆ් ඇඩර් නම් විශ සහිත නයි වර්ගය ද, නොයෙකුත් කෝබ්‍රාවන් ද , වයිපර් නමින් හැඳිවෙන නයි විශේෂය ද අපි දැක්කෙමු.






 ඊලඟට එලිමහනේ වෙසෙන සීබ්‍රාවන් ද ,ජිරාෆ් ද , පැස්බරුන් ද උන්ගේ විශාල බිත්තර ද දුටුවෙමු. අපගේ දහවල් ආහාරය ඉතා සරල පාන් සැන්ඩ්විච් කිහිපයක් විය. ඉන්පසු තව දුරටත්  බැබූන්, චිම්පන්සින්, සිංහයන් හා අලි ඇතුන් ද අපි දුටුවෙමු. හයිනාවන් හා කුඩූ හා ඇන්ටිලොප් මුවන් ද ගෝණුන් හා හිපොපොටේමස් ද බැලුවෙමු. කුරුලු උයනේ දී රාජාලියන් උකුස්සන් වර්ග මෙන්ම ගිරාවර්ගද කොකුන් වර්ග ද ෆ්ලෙමින්ගෝස්  නම් වූ අසිරිමත් කුරුල්ලන් ද දුටුවෙමු. සවස්වන විට අපි සැවොම උද්භිද උද්‍යානයේ සිරි නැරඹුවෙමු. නොයෙක් තුරුලතාවන් ද විශාල බොබාබ් ගස් ද සැම්බියාවට ආවේනික වූ පැලෑටි ද අපි හඳුනා ගත්තෙමු.  මේ අතරතුර මලීෂා විසින් සිය අත්දකීම් ද ශ්‍රී ලංකාවේ නොයෙකුත් විස්තරද අපට කියා දුන්නාය. සොඳුරු මතකයන් රැසක් සමඟ සවස 5.00 ට පමණ අපි යලිත් පාසලට පැමිණියෙමු.  









මේ කාලය වන විට මම අවුරුදු දහහතරක ළමයෙකු වීමි. ඇය මට වඩා මාස ගනණකින් බාල වයසේ පසුවුණි. සෑම දිනකම උදෑසන ඇය සුරඟනක සේ  පාසැලට පැමිණෙනු දක්නට ලැබුණි. ඇගේ කොණ්ඩය කරල් දෙකට ගොතා දෙපැත්තට දමා තිබුණි. සුදු පැහැති බ්ලව්සයත්, අළු පැහැති කොට සායත් සමඟ අළු පැහැති ටයි පටියත් ඇගේ නිල ඇඳුම වුණි. මට අළු පැහැති දිගු කලිසමත් සුදු පැහැති අත්දිග කමිසයත් අළු පැහැති ටයි පටියත් නිල ඇඳුම සේ අඳින්නට සිදුවුණි. අප පාසැලේ නීති රීති අනුව අපට කිසිවෙටෙක මේ නිල ඇඳුමෙන් තොරව පාසැලෙන් පිට හෝ පාසැල්  කාලයේ දී හෝ තනිව කතා කිරීමට අවස්ථාවක් නොලැබුණි.

මේ කාලයේදී සතියේ දින වල මා ඇය පාසැලට පැමිණෙන තෙක් මග බලා සිටියෙමි. ඈ නොපැමිණි දියනයන්හි මගේ සිත දහස් වර හඬා වැටුණි. නමුත් මා එසේ ඇය ගැන බලා සිටි බව දැන සිටියේ මා පමණි.  එක් වතාවෙක ඈ සති කිහිපයක්ම පාසැලට නොපැමිණියේය. සොයා බැලීමේදී ඇයට දරුණු උණ රෝගයක් වැළදී ඇති බව දැනගන්නට ලැබිණි. මම මහත් කණගාටුවෙන් පසුවූ බව මගේ ගුරුතුමිය කෙසේ හෝ හඳුනාගෙන තිබිණ. ඈ මහත්වූ කරුණාවෙන් මා ලඟට කැඳවා ඇගේ ඇත්ත තත්වය පහදා මා ඇය කෙරෙහි සිතක් රඳවා ඇත්නම් එය අත්හැරගන්නා ලෙසත්ඇගේ දෙමාපියන් කිසිවිටෙකත් මේ සම්බන්ධයට කැමති නොවනු ඇතැයි ද පහදා දුණි. ම'සිත සිය දහස් වර හඬා වැටුණි. මලීෂා යලි හමුවන තුරු ඇඟිළි ගනිමින් මම පසුවුනෙමි. සැමදාකම හවස් යාමයේ මම අප පල්ලියට ගොස් ඈ වෙනුවන් යාඥා කලෙමි. දිනක් අප පන්ති රැස්වීමේදී ද අප ගුරුතුමිය ඈ වෙනුවෙන් අප සියළු දෙනාටම යඥා කරන ලෙස ඉල්ලා සිටියේය. අපි සැවොම ඈ වෙනුවෙන් යාඥා කලෙමු. දෙවියන් ගෙන් අපි ඉල්ලා සිටියේ ඇයට ඉක්මන් සුවය ලබා දෙන ලෙසයි.

කිහිප විටක්ම මම ඈගේ නිවෙස ඉදිරියෙන් ගමන් ගත්  නමුත් මට ඈ මුන නොගැසුණි. තවත් සති කිහිපයකට පසුව ඇය සුවපත්ව පාසැලට පැමිණියේය. මේ සති කිහිපයට ඈ වැහැරී සුදුමලිව ගොස් සිටිබව පෙනුණි. මා දුටුවිට ඇගේ නෙතට කඳුළු පිරෙනු දුටුවෙමි.

"චිෂී, සුබ උදෑසනක්! ඔබට" මා කිසිවක් කීමට පෙරම ඇය පැවසුවේය.

"සුබ උදෑසනක් මලීෂා, කොහොමද ? ඔයාට, දැන් සනීපද? "

"අනේ ඔව් චිෂී, දැන් නම් මට හොදටම සනීපයි. ඔයාට කොහොමද? චිෂී?"

"වරදක් නෑ මලීෂා, මම නම් හොඳින් ඉන්නවා. ඔයාගේ මග හැරුනු නෝට්ස් ටික ලියාගන්න මම උදව් කරන්නම්. මේ ටිකේ ඔයාට වැඩ ගොඩක් පාඩු උනා නේ ද"

" ඒක නම් ලොකු උදව්වක් චිෂී.  ඔයාට ගොඩාක් ස්තූතියි!"

" ආ.... ඒක ඉතාම සුළු උදව්වක් නෙ මලීෂා."

පාසල් වේලාවෙන් පසුව අපි දෙදෙනාම එකතුව පහුගිය දිනයක් හි මගහැරුණු පාඩම් ලියා ගතිමු. ඒවා සාකච්ඡා කලෙමු. කාල සීමාවෙන් පසුව වුවද අප ගුරුතුමිය අප වෙනුවෙන් වෙහෙසී පහුගිය පාඩම් නැවත අපට කියාදීම නිසා මගේ ද දැනුම වර්ධනය වීම සිදුවිය.

මේ හේතුවෙන් ඇයටද කිසිදු අපහසුවකින් තොරව ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට හැකිවී තිබිණ. ගතින් දුබලව සිටි ඈ රැකබලා ගැනීමට ඇගේ දෙමාපියන් මහත් උත්සාහයක් ගත් බව පෙනිණ. නිතරම පාසැල් වේලාවෙන් පසුව ඇගේ මව අප සමඟ රැදී සිටිමින් ඇයට වේලාවට ආහාර හා බෙහෙත් ලබා දීම ඈ අතින් සිදුවුණි. අප පාසැල හමාරවී ආපසු යත්දී ඇය මා අපගේ නිවෙස අසලින් බස්සවා යාම නිසා ඇය ඉතා කරුණාවන්ත කාන්තාවක් බව මට පසක් විය.


ඇගේ මව මා සමඟ කල කතාබහේදී මගේ මව ඈ හඳුනන බවත් මගේ මවගේ ස්වාමිදුව ඈ ගේ හොඳම මිතුරිය බවත් ඈ දැන ගත්තේය. මේ ගමන් වාරයන් හිදී ඈ මට ස්තූතිය පුද කිරීමටත් සුබ පැතීමටත් අමතක නොකළේය. මේ හඳුනා ගැනීම නිසා ඈ ඉතා ඕනෑකමින් මා හා ඇසුරුකිරීම අප දෙදෙනාගේ පාසැල් වැඩ පහසුවෙන් කරගෙන යාමට රුකුලක් විය.  අප වර්ශ අවසාන විභාගයට මුහුණ දුන්නේ මේ අතර වාරයේ දීය. අප දෙදෙනාම ඉතා උසස් ලෙස සමත් වී තිබුණි. මෙය අප දෙදෙනාගේම දෙමාපියනට මෙන්ම අපගේ ගුරුතුමියට ද මහත් සතුටක් ගෙන දුන් බව පෙනිණ. අවසන් දිනයේ දී ගුරුතුමිය අප පසසමින් දේශනාවක් කරන්නට ද අමතක නොකලාය. 

මලීෂාගේ මව මා හට සලකනු ලැබූයේ ඇගේම පුතෙකුට සලකන අයුරෙනි. බොහෝ විට අන් ජාතීන්, අප්‍රිකානුවන් වූ අපහට සලකන්නේ ඉතා පහත් අයුරෙනි. අප ජාතිය වහලුන් සේ සෑම විටම වැඩකල යුතු බවත් ඔවුන්ට වඩා අප ජාතිය පහත් බවත් ඔවුන් සිතති. මේ අනුව බලත්දී ඇය ඉතා හොඳ ගතිගුණෙන් යුතු කාන්තාවක් බව අපි තේරුම් ගත්තෙමු.  මගේ මව අත සමහර දිනෙක පණිවිඩයක් එවීමටත්, සමහර විටෙක රස කැවිල්ලක් දෙකක් එවීමටත් ඇය අමතක නොකලාය.  මගේ මව වැඩ කල ශ්‍රී ලාංකික විජේසේකර යුවල සමඟ තිබූ කිට්ටු සම්භන්ධය නිසාවෙන් ඇය මගේ මව සමඟ ද යෙයෙලියක සේ ආශ්‍රය කලේය.  මේවාගේ කිට්ටු සබදතා බොහෝ විට සිදු නොවන්නකි. සේවකයා ඉතා පහත්මට්ටමකම ලා තබා ගැනීම සිරිතකි. ඔවුන් සමඟ එක්ව ආහාර ගැනීම වත් කිට්ටු සබදතා පැවැත්වීම වත් සිදුවන්නේ කලාතුරකිනි. මව ගෙන් නිතර නිතර සිදුවන කතා බහේදී ලංකාව ගැන බොහෝ විස්තරද එම වැසියන්ගේ ජීවන රටා ද මම දැනගත්තෙමි. විජේසේකර යුවල හා මලීෂා ගේ දෙමාපියන් වන ගුණරත්න යුවල ආශ්‍රය කිරීම නිසා අපි සැවොම ලංකාවට ප්‍රිය කලෙමු. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් බවත්, එහි වැඩි දෙනෙකු බෞද්ධයන් බවත් ඒ රටේ චාරිත්‍ර වාරිත්‍ර අප රටේ චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා බෙහෙවින් වෙනස් බවත් මම දැනගතිමි. 
(පින්තූර ලබා ගත්තේ අන්තර්ජාලයෙනි.)