Sunday, October 2, 2011

සෙනෙහසක මහිම. 3 කොටස

තාත්තට පුතාල දෙන්නගෙ ලෝකෙ හැරෙන්නට වෙනදෙයක් නෑ. මල්සි, ටිකක් අයියට වඩා සැරපාටයි, පාටත් ටිකක් තල එළලුයි. ඒ උනාට එයාට මාස ගනනක් යනකොට එයාත් අපේ කලබලකාරී ජීවනරටාවට පුරුදු උනා. මාත් එක්ක එයත් ග්‍රවුන්ඩ් එකට යනවා. මල්සිව තල්ලුකරන් යන්නෙ ලොකූ. උදේම දෙන්නටම කෑම , ඇඳුම් සියල්ලම අරගෙන තමයි, යන්නෙ. මට වාහන එළවන්න බෑ. ඉගෙනගත්තත්, පාරට හරිම බයයි. ඒ නිසා මට බැරිඋනා ඒක කරන්න හරියට. ඒක ලොකු අඩුවක් කියල හිතෙන වෙලාවලුත් තියෙනවා.

ඉතින් දරුවො දෙන්නාම බලාගන්න මට සහයට දකුණු අප්‍රිකානු ගැහැනුකෙනෙක් ලැබුනා වාසනාවට. ඈ පුදුම ආදරයක් මේ දරුවන්ට දැක්වූවා. පුතාලගෙ වැඩ අතර ඈ සමහර වෙලාවට සියළුම වැඩ ගෙදර කලා. මම නිතරම එයාට උයන පිහන ඒවාට උදව්කලත් ඈ ඒවා තමාගෙම ගෙදර කරන ලෙසම කලා. මටත් පුදුම ලෙස ලෙංගතුව තමයි වැඩ කලේ. කවදාවත් මහත්තයාට දණ නොගහ කතාකලේ නෑ. ඒ එහේ අය තම ගරුත්වය තම ස්වාමියාට පෙන්වන විදිහ.

අපි මේ කාලය තුල හැම තැනම සංචාරයත් කලා. ලස්සන තැන් බලන්න ගියා. හැම පහසුකමක්ම තාත්තාගෙ වැඩකරන තැනින් අපිට ලැබුනා. අයිති කෙනා ඉටැලියන්. එයා මාසගනන් එයාගෙ රටට වෙලා ඉන්නවා වැඩපල මගෙ මහත්තයාට භාර දීලා. හොදින් ඉතාම අවංකව හැමදේම සිදුවන බව ඔහු දන්නවා. ඒ සඳහා අපිට සියලු පහසුකම් ඔහු දුන්නා. වාහනයට තෙල් ටික පවා දුන්නා. ඒක අපිට ලොකු පහසුවක් උනා. නැතිනම් අපිට එහෙ මෙහේ ක්‍රිකට් වලට සහ රට බලන්න යන්න දෙපාරක් හිතන්න වෙනවා. වැඩ වෙලාවට උපරිම ලෙස කාලය ඒ සඳහා වැය කලත් නිවාඬු වෙලාවට අපි විනෝද වෙන්නත් කාලය යොදාගත්තා.

මෙහෙම කාලය ගෙවිල යත්දි, මල්සියත් ටිකෙන් ටික ලොකු වෙනවා. හැම මොහොතෙම අතේ මැද ඇඟිලි දෙක උරමින් තමයි ඉන්නෙ. පොඩිකාලෙම පුරුදු උනා. ඒක උරන්න ගත්තාම මට කරදර කලේ නම් නෑ . ඒක උර උර ඔහේ ඉන්නවා. සමහරවිට අපේ අවිවේකී බව එයාට බලපාන්න ඇති. අම්මී කියලා හුරතල් විදිහට මම ලගින් යනකොට කියනවා. දත් එන්න කාලයක් ගියා. ඒ නිසා අවුරුදදක් පනිනකල්ම බීවේ කෑවේ බෙලෙන්ඩර් කරලා. දෙන්නාගෙන්ම කරදරයක් නෑ. අපි ඒ අවුරුදෙ ලංකාවට ඇවිත් යන්න හිතුව නිවාඩුවකට. මහත්තයගෙ ලොකු අක්ක ඒ වෙනකොට ලංකාවට ඇවිත්. එයාත් එක්ක ඉන්න පුලුවන්නෙ. අපි එනකොට පොඩි අක්කලා ඩුබායි. එයාවත් බලාගෙන එන්න යොදා ගත්ත. අපි එහේ දින කීපයක් හිටියා. එහේ හරිම රස්නෙයි. දවල්ට එලියට බහින්න හිතන්නවත් බැහැ. සුනිල් අයියයි , අක්කයි අපිව හැම තැනම පෙන්වන්න ගෙනිච්චෙ රෑට. හරිම වෙනස් අපි හිටිය රටවල් වලට වඩා. ගොඩක් දියුනුයි. අපි ලංකාවට ආවා. ඉතින් අපි ලංකාවෙ ලස්සන තැන් බලන්න ගියා. මගෙ ඇඟට ටිකක් අපහසුවක් දැනෙනවා. අපි අක්කට කිව්වා. අක්කා වෛද්‍යවරියක් නිසා අක්කා මාව එක්ක ගියා වෛද්‍ය තුමෙකුට පෙන්වන්න. ඒ පාර මට කිව්ව තවත් බබෙක් වගේ කියල ටෙස්ට් වගයක් කරන්න. එතකොට මම දැන ගත්තෙ මට තව දරුවෙක් ලැබෙන්න කියල. මම ඒ පාර කලබල උනා හරියට. පොඩි පුතා ලැබෙත්දි අප්‍රිකාවෙ හැම තැනම ඒඩ්ස් පැතිරිලා. කිසිම රජයේ රෝහල් වලට යන්න බැහැ. පුදුම විදිහට කට්ටිය බලා ඉන්දි මැරනවා කියල දැනගත්තා.

මම කිව්වා මට බබා එහෙනම් හම්බවෙන්න බැහැම කියල. මට බබා එපා, මම නම් හදන්නෑ එයාව කියල. ඒඩ්ස් ගැන අපි දැනගත්තම කාලෙ, වැඩිය දැනුමක් නෑ ඒ ගැන. අක්කා මාව එක්ක ගියා අයෙත් වෙන ඩොක්ටර් කෙනෙක් ලඟට, වෛද්‍ය සරත් අමරසේකර වෛද්‍යතුමා බොහොම කරුණාවෙන් මට පැහැදිලි කලා ඒඩ්ස් එහෙම බෝවෙන්නෙ නෑ, පරිස්සම් වෙලා හිටියොත් මට බබා එහේ හම්බවෙන්න පුලුවන් කියල. මම අද අනේකවාරයක් පිං දෙනවා එතුමාටයි අක්කටයි. ඒ දෙන්නා නැත්නම් අද මගෙ චූටි පුතා ඉදීව්ද කියල දන්නෙ නෑ. එහෙම උනා නම් මමත් ලොකු පාපයකට හවුල්වෙලා නේද? කියල හිතෙන වාර අනන්තයි. කොහොම හරි හැම මොහොතෙම පරිස්සම් උනා, ගහන කටු හැමදෙයක්ම හොඳ කල්පනාවෙන්ම තමයි හිටියෙ. පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි. ලේ නොදෙන විදිහට පරෙස්සම් උනා. හොදට ආහාර වලින්ම පෝශණය ගත්තා. බබාලටත් ලොකු ලෙඩක් නොහැදෙන්න හැම වෙලාවෙම වග බලාගත්තා.

අපි ලංකාවෙන් ආවෙ අයෙත් ඉක්මනට එන්න හිතා ගෙන. ඒ නිසා ඉක්මනින් යන්න සූදානම් වෙන්න සිදු උනා. මම නම් වැඩිය කැමති උනේ නැහැ. මගෙ අම්ම, තාත්තා එහේ හිටිය නිසා මට හරි අපහසු වෙයි කියල හිතුන. අනෙක පුතාල එහේ සැපට හැදුන, මෙහේ ඇවිත් දුක් විඳින්න වෙයි කියන හැඟීම නිසා වෙන්න ඇති. හැබැයි, මහත්තයාට ඕනෙම උනා එයාගෙ පාසැලටම ලොකූව යවන්න. ඒක එයාගෙ ලොකු හීනයක්.

ඉතින් චූටිපුතාත් ඒ ආරෝග්‍යශාලාවෙම ඉපදුනා. සුදුම සුදුයි. කෙල්ලක් වගේ. මහත්තායා නම් හරිම ආසාවෙන් හිටියෙ කෙල්ලෙකුට. මට ලියපු කාඩ් එකක් කබිහොල් එකේ තිබිල මම දැක්කෙ කලෙකට පස්සෙ. දුවෙක් බලාගෙනම ඉඳල. දුක හිතුන ඒක දැක්කහම. තුන් දෙනාම ගත්තෙ දොස්තර පටෙල්. උදව් කලේ දොස්තර මිල් රෝයි සහ දොස්තර ගුණරත්න.

Linkhttp://en.news.maktoob.com/20090001128112/Ten_places_to_see_before_you_die/Article.htm
මෙහි අපේ සීගිරිය හා සැම්බියාවේ වික්ටෝරියා දිය ඇල්ල යන දෙකම තියෙනවා.

4 comments:

ගල්මල්-Coral said...

අක්කණ්ඩි, සෙනෙහසින් පිරුණ මේ ලිපි පෙල හා ඔබ එය දිගහරින විදිය හරිම සුන්දරයි. ඒ අතීතයත් අද අත්විඳින පරිසරයේ සුවඳ පාලමක්වී ඔබ එතෙර මෙතෙර ගමන් කරවනවා ඇති අනන්තව, නිහතමානී ආඩම්බරයකින්.

Bindi said...

ඔබේ මේ ලස්සන දිග හැරුමට මන් හරිම ආසයි අක්කේ . ඒඩ්ස් වලට බය වුන එක සාධාරණයි . දැන් කොහොමද තත්වේ එහෙ .

Chandi said...

@ ගල්මල්-Coral :
බොහොම ස්තූතියි ඩීන් මල්ලී. ඔයාගෙ අදහස් හරියටම හරි. අද මම අත්තම්මෙක් වෙලා. චූටි මුණුබුරා දකින කොට ලොකු පුතා පොඩිකාලෙ මතක් වෙනවා. දුවට මම ඒ විස්තර කියනවා. දුවත් ඒවා ආසාවෙන් අහන් ඉන්නවා. කවදාහරි දුවත් එයාගෙ පුතාට ඒවා කියාවි. සසර ගමන එහෙම තමයි. පැමිණි මාවත ඉතාම සුන්දරයි, නිහතමානීව සතුටු වෙනවා. ඒකට ලොකුම හේතුව හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබීම කියල හිතෙනවා. මල්ලී ඔයාලගෙ ජීවිතත් සියළු දෙවි පිහිටෙන් සාර්ථක වේවා! කියල පතනවා.

Chandi said...

බිංදි නංගි,
තාම ඒ වගේ. කොපමන දැනුවත් කිරීම් තිබුනත් සංස්කෘතික ගති ලක්ෂණ නිසාත්, බහු විවාහ ක්‍රමය නිසාත් මේ තත්ව පාලනය කරගන්න අමාරුයි. අපේ අම්මලාගෙ හොඳම යහළුවන් කීප දෙනෙක්ම ලඟදී නැතිවූ බව දැනගත්තා. තව කීපදෙනෙක් ගේ ආරංචි නෑ. මගෙ පුතාල බලාගත්ත චිලේෂි ගැනත් කිසිම ආරංචියක් නෑ. මට මතක් වෙන කොට හරිම දුකයි. මේ මතකය දිගහැරෙත්දි සතුට වගේම දුකත් ගැබ්වෙලා තියෙනවා. ස්තූතියි නංගි, අවිවේකිව හිදිමින් මේවා කියවන්න ආවට. ජයම වේවා! කියල පතනවා.

Post a Comment