Sunday, December 11, 2016

ආදරනීය මලීෂා 5

***අවිවේකි බව උඩ මේ සටහන් බොහෝ පමා වූ වගයි. එයට සමාව අයදිමි.


මා තුල බෞද්ධ දර්ශණය ඉගෙනීමට ආශාව ඇති වූයේ මේ අවදියේ යැයි මම සිතමි. අප්‍රිකාණුවන් බොහෝ විට රළු ගති පැවතුම් ඇතියවුන් වූ බව මම ඔබට කීවෙමි. අවිහින්සාව අප හට ඒ තරම් හුරු පුරුදු දෙයක් නොවූ බව කිව යුතුය. සතුන් සෑම විටම අප ආහාරය සදහාම වූ බවත් උන් උපදින්නේ අප සදහාම බවත් ඇරෙන්නට අප හදවත්   උන් කෙරේ අනුකම්පාවක් තිබිය යුතු බවක් අපි නොදැන සිටියෙමු. මුලින්ම ප්‍රාණගාතය පවක් බව මා අසා ගත්තේ ඇයගෙනි. මෙය මා පැවසූ විට අප යහළුවන් ද පුදුමයෙන් මගෙන් කරුණු විමසන්නට විය.

අප කලෙක සිට පුරුදුවූ සිතුම් පැතුම් වලින් මිදෙන්නට කිසිදා අපට හැකිවේ දැයි මම අනුමාන නොකලෙමි.  නමුත් පොත්පත් සොයා යන්නටත්, මනසින් ඒවා විවේචනය කරන්නටත් නිතර නිතර විවාද කිරීමටත් මම පුරුදු වුනෙමි. කෙමෙන් කෙමෙන් අප වැඩිහිටියන් බවට පත්වෙත්දී ධර්මාවබෝධය නිසැකයෙන්ම  මා තුල ගොඩනැගෙමින් තිබුණි. මගේ හදවතද බොහෝ විට කරුණාවෙන් පිරී තිබුණි. මනස බොහෝ විට සන්සුන් වගේම නිරවුල් ව තබා ගැනීමට මට හැකි වුණි.

පාසැල් පුස්තකාලය පීරා මම පොත් පත් සෙවීමි. සමහර පොත් මට මලීශා ගෙන් ලැබුණි. ඒවා කියවන්න කියවන්න ධර්ම රසය මා මනසට ලැබුණු බව කිව යුතුය.    අප මව් බිම බොහෝ කාලයක් අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබූ බැවින් අප රටේ වැසියෝ බොහෝ දෙනෙක් කිතුණු බැතිමතුන් වෙති. කර්මය හෝ කර්ම ඵලයක් කෙරේ කිසිදු විස්වාසය හෝ පිළිගැනීමක් ඔවුන් තුල නොවෙති. දෙයක් සිදුවෙන්නේ හුදෙක් දෙවියන්ගේ කැමැත්ත මතම පමණි යන්න තදින්ම විශ්වාස කරනු ලබයි. මගේ පියාගේ නැගණිය මියගියේ දෙවියන්ගේ හුදෙක්ම දෙවියන්ගේ කැමැත්තටම යැයි මගේ පියා විශ්වාස කල බව මට මතකය.
අප ජාතිය පැවතෙන්නේ කො එසාන් නම් දකුණු අප්‍රිකාණු සම්බවයක් ඇති බන්ටු ගෝත්‍රිකයන් ගෙනි. දහතුන් වන ශතවර්ෂයේදී ගෝත්‍රික සූලු ගෝත්‍රික බලපෑම් හා කොන්ගෝ නදිය දිගේ පැමිනි යුරෝපීය පෘතුග්‍රීසි ආක්‍රමන හේතුවෙන් ද දහ අට වන ශත වර්ෂයෙදී හිරු නොබසින අධිරාජ්‍ය වන  එංගලන්තයේ බලපැම්ද  හේතුවෙන් අප රට බොහෝ හැල හැප්පීම් වලට ලක්වූ බව පෙනේ. දකුණු රොඩේශියාව නමින් පූර්වයේ හැදින්වූවද 1964 ඔක්තෝම්බර් 24 දින නිදහස ලැබීමෙන් අනතුරුව එය සැම්බියාව නම් විය.
නිදහස ලබා ගැනීමෙන් පසුව එහි මුල්ම ජනාධිපති වූයේ කෙනත් කවුන්ඩා මහතාය. ඔහුගේ කාලය සැම්බියාවේ මල්බරම සමය ලෙස මම සිතමි. ආදර්ශ පාඨය වූයේ එක සැම්බියාවක් එක ජාතියක් යනුයි. විවිධ ජාතින් හා විවිධ ගෝත්‍රිකයන් ජීවත් වුවද ඔවුන් සමගියෙන් හා සතුටින් වෙසීම අප හට මහත් අස්වැසීමක් විය.


නිතරම අත රැදි සුදු ලේන්සුව ඔහු ගේ අන්‍යතාවයක් පෙන්වූ බව මම සිතමි.

මේ කලය තුල අප රට වැසියන් ඔහුට ඉමහත් ගෞරව කල බව කිව යුතුය. විදේශිකයන් අප රට සංවර්ධනයට පැමිණියේ මේ කාලය තුලදීය. බොහෝ රට වලින් ආ විදේශීය ජාතිකයින් අප රටෙහි ජීවත් වුයේ බොහොම සාමකාමීවය.  ඉඩි අමීන් වැනි පාලකයෙක් මැද අප ජනාධිපති තුමා දේවත්වයෙන් පුදන්නට අප රටේ වැසියන් පුරුදු වූයේ මේ නිසාවෙනි. අප පාසැලේ දී අප ජානාධිපති තුමා හට අප නිතරම ගරුකල යුතු බව අප ගුරුතුමිය විසින් කියා දී තිබුණි. මේ අනුව අපි සැවොම ඔහුට නිතරම ගරු කලෙමු.
 
අපි අපේ කතාවට දැන් පිවිසෙමු. දිනක් මා සවස් කාලයේ මලීෂාගේ නිවසට ගියවිටෙක ඇයගේ මව විසින් සති අන්තයේ පවත්වන පිරිත්  දේශනාවකට සහභාගීවන ලෙස මට ආරාධනා කලාය. මදක් පැකිලීමෙන් යුතුව වුවද මම එම ආරාධනාව පිලිගත්තෙමි. ව්‍යාකූල මගේ සිතුවිලි වලට සහනයක් වූයේ මගේ යෙහෙළිය විසින් පිරිත් යනු කුමක් දැයි මට විස්තර කිරීමෙන් පසුවය. එය අප විසින් පල්ලියේ කියනා ස්තෝත්‍ර ගායනා වලට සමාන නමුත් ගීත ශෛල්‍යක් නොමැති පාළියෙන්  ලියැවුන  මන්ත්‍ර වැනි දෙයක් බවත් ඒවා ගායනා කිරීමෙන් සෙතක් වෙන බවත් ඇය පැවසුවාය. එවායින් අපහට ආරක්ශාව සැලසෙන බවත් ඇය පැවසුවාය.ඒවා බුදුහිමියන් විසින් සෙත පිණිස වැවසූ වදන් බවත් ඇයගෙන් දැන ගත්තෙමි.
එම ඉරු දින සවස මම පිරිසිදු ඇදුමක් ඇගලාගෙන එහි යාමට පිටත් වෙන්නට සැරසෙත්දී මගේ මව  " පුතා ඔයා සුදු පාට ටී  ෂර්ට් එකක් ඇන්දා නම්  හොඳයි. එයාල අදින්නෙ සුදට හුරු ඇඳුම්. ඔය කළු පාට පල්ලියට ඇන්දට එයාල අදින්නෙ  නෑ පුතේ"
මම හනිකට ඩෙනිම උඩින් සුදු පැහැ ටී ෂර්ට් එකක් ඇඟ ලා ගතිමි. ඉක්මනින්ම එහි යායුතු වූ බැවින් පයින් යනු වෙනුවට බසයක නැග ගත්තෙමි.මා එහි යනවිට මද අඳුර වැටෙන්නට ඔන්න මෙන්න විය. ලා රත් පැහැ අහස වර්ණවත් රටා මවමින් සොදුරු දසුන් මවාලීය.

නිවසට අසලට ලං  වෙත්දී සුවඳ දුම් හැම අතම ගලා  යමින් තිබුණි. මගේ සිත තුල ඒ සුවඳින් මත්වූ ප්‍රමෝදයක් ඇතිවම දොර සීනුව නාද කලෙමි.  මලීෂාගේ පියාණන් පැමිණ මහත් සොම්නසින් මා පිළිගත්තේය.  නිවස තුල සියලු ගෘහ භාණ්ඩ ඉවත් කොට මානා පැදුරු දමා සකස් කොට තිබුණි.


සාලයේ වූ කුඩා ටීපෝවක් මත බුදුරුවක් හා මල් වට්ටියක් හා පැන් බදුනක් සමග සුවද හමනා හදුන්කූරු භාජනයක් තිබුණි. මා ටික වේලාවක් එහි රැදී සිටිමින් එහි පවතිනා ශාන්ත බව විදිමින් පසු වූයෙමි.
පසුව ඇගේ පියා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියෙමි. ඔහු වැඩිය මා හා කතා බහ කර නොතිබුනත් මා හා ඉතා සුහදව විස්තර කී බව ඔබට කියමි. මද වේලාවකින් මගේ යෙහෙළිය මා අසල විය.
  "චිෂී ඔයා එහෙනම් ආව. මම හිතුවෙ නෑ ඔයා ඒවි කියල.  අම්ම කීව ඔයාට මෙහෙම  ඉන්න අමාරුවෙයි කියල.".

මම සිනාසුනෙමි. නුහුරු හැඟීමකින් මගේ සිත පෙලන්නට විය. මේ අතර ඔවුන්ගේ යහළු ශ්‍රී ලාංකික පවුල් වල අය එකා දෙන්නා  මේ නිවසට එක් වන්නට විය.  මේ අතර බංගලාදේශ යුවලක් ද  විය.  ඔහු නමින් සාරොව් ගාන්ධි නම් විය. මා සමග කතා කරමින් කියා සිටියේ මේ  පිරිත් යනුවෙන් හැඳින්වෙන්නේ ආරක්ෂාව ගෙන දෙන ධර්ම කොට්ඨාශයක් බවත් . මුලින්ම පිරිත් දේශනා ආරම්භ වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසු කාලයේ බවත් . ලෙඩ රෝග වැළඳුනු අවස්ථා වලදීත්, නොයෙක් කරදර උපද්‍රව පැමිණි අවස්ථා වලදීත් පිරිත් දේශනාවෙන් ගුණ සලසා දෙන ලද   බවත්  ය.

රහතන් වහන්සේලා ගිලන් වූ අවස්ථා වලදීත් බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කල බවත් ය එමෙන්ම බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථා වලදී රහතන් වහන්සේලා පිරිත් දේශනා කල බවත් ය . එම නිසා ඈත අතීතයේ සිටම බෞද්ධ ජනතාව පිරිත් දේශනාව ඉතා අගය කොට සැලකීමට හුරුවී සිටි  බවත් ය. අනෙකුත් සිංහල අය මා හා වැඩි කතාවක් නොකලද සුහද ලෙස සිනාසුණි. පිරිත් දේශණය  ආරම්බයේ දී මම කොණකින් වාඩි ගතිමි. ස්වාමීන්වහන්සේලා නොමැති බැවින් පිරිත් කියන ලද්දේ ගිහියන් විසිණි.

පිරිත් දේශණය සදහා පැයකට ආසන්න කාලයක් ගතවිය. ඊට පසුව විනාඩි විස්සක් පමණ කෙටි භාවනාවක් විය. ඒ සඳහා එය මුළින්ම පැමිණි අය හා කුඩා ළමුන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විස්තරයක් සිදු කෙරිනි. එය මට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවිය. හුස්ම ඉහල හා පහල ගැනීමේදී ඒ සදහා අවධානය යොමුකල යුතු විධිය පැහැදිළි විය. මෙය පලමු වතාවට කෙරුවද මට මගේ සිත එකඟ කරගෙන භාවනාව සිදු කිරීමට මට පුළුවන්විය. භාවනාව අවසානයේ දෙවියන් හා මිය ගිය අය වෙනුවෙන් පිං අනුමෝදම් කිරීම සිදුවූ බව මලීෂා විසින් පැහැදිලි කෙරින. අවසානයේ එකිනෙකා හිමි හිමින් නැගිට මානා පැදුරු හකුලා පැත්තකින් තැබුවේය.පිරිත් පැන් හා නූල් සැමදේනාටම ලැබුණි.


ඊට ස්වල්ප වේලාවකින් සැමට සැන්විච් හා කේක් කෑල්ලක් සමඟ අයිස්කෝපි වීදුරුවක් ලැබුණි. මම ද අන් අය සමඟම ඒ රාත්‍රියේ පහන් සිතින් යුතුව මගට බැස්සෙමි. ඒ දිනයේ පටන් භාවනාව දිගටම කිරීමට මම පුරුදු වුනෙමි. එය මගේ මතක ශක්තිය වර්ධනය සදහාද ඉවහල් වූ බව මම සිතමි. 
මෙම සිද්ධිය නිසා මගේ ජීවිතයේ මහත් පෙරළියක් සිදුවූ බව මම ඔබට කියමි. බුදුදහම කුමක්ද? ඒ දර්ශනය කුමක්ද? එය අප ජීවිත තුලට ඇතුළු කර ගත හැක්කේ කෙළසද? මම නිරතුරුවම සිතන්නට වීමි. එය ඉගෙනීමට මහත් අශාවක් ඇතිවිය. නිරතුරුවම පොත් පත් පරිහරනය කරමින් ඒ දර්ශනය තුල මගේ මනස සකස් කිරීමට මම වෙහෙසුනෙමි. මගේ ජීවිතය සත්ව හින්සනයෙන් තොරව ගෙවන්නටත්, කයින් හා වචනයෙන් වන වැරදිවලින් මිදෙමින් ගෙවන්නටත් මම පුරුදු වුනෙමි.

මලීෂා මගේ දිවියට මහත් ආලෝකයක් වූවා මෙන්ම ඈ මගේ මුළු දිවියම ආලොකමත් පහන් ටැඹක්ම බව මට වැටහින. මගේ මේ පරිවර්තනය මගේ යහළුවන් හා මගේ පවුලේ අයට මහත් ප්‍රශ්ණයක් වූ බව මම දනිමි.  මගෙ මව හා පියා මේ විපර්යාසය මහත් උපෙක්ශාවෙන් විදගත් බව මම දනිමි. කිසිවිටෙක මට බලපෑම් කිරීමක් හෝ ප්‍රශ්ණ කිරීමක් හෝ  සිදු  නොවුණි. එබැවින් මම මහත් නිදහසකින් හා පිබිදුන මනසකකින්  යුතුව කල් ගෙවීමි. 

3 comments:

Ravi said...

මලීෂාගෙ කතාව ආයම ලියන එක ගැන බොහොම සන්තෝසයි...:)

Chandi said...

ස්තූතියි ! රව්.

කස්ස said...
This comment has been removed by the author.

Post a Comment