ආදරණීය මලීෂා - 7 කොටස.

           හිමිදිරිය වසන්ත සුළඟේ හමා යන සීතලෙන් ගත නිවයි. උදෑසන කුරුලු නාදයත් , මොණරුන්ගේ කෑ ගැසීමත් සමඟ මම අවදිවීමි. කිසිවෙක් අවදිවූ බවක් නොදැනුණි. මම හිමිහිට එලියට ආවෙමි. මද සීතලක් සමඟ මුසුවූ මිහිරි මල් සුවඳකින් මගේ හදවත පිරී ගියේය. විශාල ගස් කිහිපයක් සහිත ආවරණයක් යටට මා පැමිණියේ හිමිදිරිය සුන්දරත්වය විඳගනු පිණිසය.


විශාල බට පඳුුරක්  ඒමේ අත වැනෙමින් ක්‍රීක් ක්‍රීක් ශබ්දයක් නිකුත් කරයි. තණපත් මත කුඩා මකුළු දැල් වන් වියන් වේ.  ඒ මත පිනි වියන් සෑදී ඒවා ලාහිරු එළියේ දියමන්ති සේ දිලේ. ඒ මත පය තබන විට දැනෙන සිසිලසට මම කවදත් ප්‍රිය කරමි. සමන් මල් මෙන්ම කුඩා ගඳපාන මලින් ද මේ  ගස් වටා එතීගිය තන්බර්ජියා වැල් පුරාවට පිරුණු දම් පැහැ මල්ද පරිසරය වර්ණනවත් කරයි.
හිමිදිරි පාන්දර යන්තම් එළිය වැටී එයි.  ලා හිරුරැස් වැටී බිමමත නේක රටා මවයි.   කුරුලු ගීත දස අතම ඇසේ. ඉඳහිට ලේනෙකුගේ හඬත්, බකමූනෙකුගේ හඬත් එකිනෙක පරයා ඇසේ. මා අසලින් ගමන් ගත් ලේන් පැටියෙකු බිය වී ගසක් මතට නැග්ගේ කලබලයෙනි. වැසි වැටී තිබු පරිසරය නැවුම් බවක් උසුලයි .
මලීෂා ගේ මව ඈතින් එනු පෙනෙයි.
"චිලේශි, උදෙන්ම නැගිටලා නේද? සුබ උදෑසනක් පුතා "
"සුබ උදෑසනක් , මෑම්"
" කෝ, තාමත් කට්ටිය නිදි වගේ නේද ? අපි අවුව තද වෙන්න කලින් ගියොත් හොඳයි පුතා , නැත්නම් සත්තු බලන්න අමාරුයි ."
"ඔව්  මෑම් , මං එයාලට කතා කරන්නම්"



මම මගේ යහලුවන් ඇහැරවීමට ගියෙමි. ඒ අතර තේ සූදානම් විය. අප බොහෝ දෙනෙක් තේ පානය නොකලෙමු. මා ඉදහිට තේ බීමට පුරුදු වූයේ මගේ මව නිසාය. ඈට නිතරම තේකොල පාර්සලයක් ලැබෙයි. ඈ සේවය කල ශ්‍රී ලාංකික පවුලෙන් ඈ තේ පානයට හුරු වී ඇත. අනෙක් අය සීතල කිරි හෝ කොකා කෝලා පානය කරයි . අපි උදෑසන ආහාර පාර්සල් කර ගත්තෙමු. වනෝද්‍යානය තුලට හැකි ඉක්මනින්ම යාම අපේ අරමුණ විය. කුඩා කණ්ඩායම් ජීප් රථ වල නැගී යායුතුයැයි ගුරුතුමිය ගෙන් උපදෙස් ලැබුණි .


අපි සැවොම ජීප් රථ වලට අනුයුක්ත කරනු ලැබුවේ ගුරුතුමිය විසිනි. මා හා මලීෂා ඇගේ දෙමාපියන් සමඟ එක් ජීප් රථයක් තුළ ගමන් ගතිමු . බ්‍රෙන්ඩා හා සැමීවෙ හා න්කෝමෝ ද අප සමඟ එක්ව ගමන් ගතිමු . කෙමෙන් කෙමෙන් වන බූටෑව තුලට ඇදෙද්දී අතරින් අතර කුරු ලු රංචු එක් පාරට පියඹා යනු දුටුවෙමු.

"ආ...... ඒ වල් පාත්තයින් රංචුවක්."  බ්‍රෙන්ඩා කීවාය.
ඉත්තෑවන් කීප දෙනෙක් උන්ගේ කූරු උලුප්පා අඩි පාරෙන් ඈත් විය. ඇන්ටිලොප් නම් මුවන් රංචු පිටින් ඈත සිටිනු පෙනේ. ඒ අතර කුළු මීමුන් තැන තැන දක්නට ලැබුණි. ඔවුන් විශාල ශරීර ඇති ඉතා පෘෂ්ඨිමත් අයවේ. සැමීවේ උන්ට බය බව කීවේ රහසිනි.




අප වනය තුලට ඇතුලු වූ පසු ජීප් රථය ගමන් ගත්තේ පැද්දි පැද්දීය. රළු පාරවල් වල ගැටිති මතින් වැනි වැනී ඉදිරියෙන් යන රථ පෙළ ද අප සේම එහාට මෙහාට වැනෙමින් ගමන් කරනු දැකිය හැකිය . එක පාරටම "ආන්න අලි රංචුවක් " මලීෂා කෑගෑවාය. සියලුම දෙනා ගං ඉවුරේ වතුර බොන අලි රංචුව  දෙස දෑස් දල්වා බලා සිටියෝය . ගං ඉවුර ලගින්ම සිටිනා හිපෝ යුවළ කි. මදක් ඈතින් ඉම්පාලාවන් රංචුවකි. ඒ මේ අත දුවනා වල් බල්ලන් හා හයිනාවන් දෙනෙකි. අපි ගං ඉවුර අසලට ම ගියෙමු.
"ළමයි කිසිකෙනෙක් බහින්නෙ එහෙම නෑ" ගුරුතුමිය අවවාද කරයි.





වඳුරු රංචුවක් ගස් මත එහෙට මෙහෙට පනිමින් කොල අතු කඩා දමමින් දිවයති. මෙහි නැවතී ගං දිය සිසිලස විඳගනිමින් අපි පැය බාගයක් පමණ ගත කලෙමු. ඒ අතර අපේ උදෑසන ආහාරය අපි ලබා ගතිමු .


ඒ දිගටම ආපසු අපි ගමන් කරත්දී පෙලිකන් හා ෆ්ලැමිංගෝ පක්ෂීන් රංචුවක්
දැකීම නෙත් පිනවන දසුනක් විය.  විශාල බොබාබ් ගස් මැදින් ඉදහිට ජිරාෆයන් දෙතුන් දෙනෙක් හිස ඔසවා බලනු දුටුවෙමු .
තණබිම් හරහා ගමන් ගන්නා අප රථ පෙළ දූවිලි රොදකින් මොහොතකින් වැසීයයි. දිවා අවුරශ්මිය අප ගත දවාලයි.

 පිපාසයෙන් අප හෙම්බත් වුවත් සත්ව ලෝකයේ විවිධත්වය දකිම්න් මේ යන ගමන අපිට විශාල අත්දැකීමක් විය. විඩාබර ගතියක් මදින් මද අපිට දැනෙන්නට විය.
ඈතින් සීබ්‍රාවන් රංචුවක් දිස් විය. මොන තරම් සුන්දර දසුනක් ද මේ. විවිධ හැඩතල ඔස්සේ අපි ගමන් ගතිමු. මලීෂා ගේ මව ඇය රැගෙන ආ කේක් අපිට බෙදා දුන්නේය . ඒවා ඉතා රසවත් විය. ඇගේ පියා බොහෝ නිහඬ චරිතයක් විය. ඉදහිට ඔහු වචනයක් දොඩයි. විහිලුවක් කොට යන්තමින් සිනා වෙයි.
විටෙක මා හා දොඩමළු වෙයි.
මේ ගමන මගේ ජීවිතයේ අමතක නොවන චාරිකාවක් ම විය .
මඬ කඩිති මතින් ගං තීරයේ ගමන් ගනිද්දී කිඹුලන් හා විවිධ පක්ෂීන් අපි දුටුවෙමු . උකුස්සකු මත්සයෙකු වේගයෙන් ඩැහැගැන්ම මා දුටු අපූරුම දර්ශනය ක් විය.
මේ සොඳුරු දසුන් කවදාවත් ම අපිට අමතක වේද?
අපි තව තවත් ඈතට ගමන් ගත්තෙමු. දැන් අපිට අවශ්‍ය වූයේ සිංහයන් දැකීමට යි. සීබ්‍රාවන් හා  ඉම්පාලාවන් ඉන්නා ඉසව්වේ ඔවුන් ගැවසෙන බව අපේ මඟ පෙන්වන්නා කීවේ අප එම දෙසට යා යුතුය යන්න හඟවමිනි.


Comments

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .