Tuesday, September 25, 2018

ආදරණීය මලීෂා 9 වන කොටස.


ඩේවිඩ් ලිවිංස්ටන් මහතා ගේ පිළිරුව. 


අපි සියල්ලෝම බස් රථයකින් යලිත් ගම්මානයක් බලා පිටත් වුනෙමු. අපිට අපේ ජාතික ගෝත්‍රික  නැටුම් බලාගැනීමට හැකි වේවි යැයි මගේ ගුරුතුමිය පවසා සිටි හෙයින් අපි ඉතා සතුටින් සිටියෙමු . ගම්මානයේ මැද මිදුලේ අප යනවිටත් ඔවුන් ඒ සංදර්ශනය සඳහා ලක ලෑස්ති වී සිටියහ . වෙස්මුහුණු හා වර්ණවත් පාටින් ඔවුන්ගේ මුහුණු වර්ණවත් වී තිබුණි . ඉතා වර්ණවත් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටි ඔවුන් අපේ පැමිණීමෙන් සතුටු වූ බව අපි දුටුවෙමු . හූ හඬින් තොල් වලට ගසමින් වූඋ....හූඋ... ශබ්දයන් නිකුත් කරමින් ඔවුන්ගේ නැටුම් ආරම්භ විය. වටේ කැරකෙමින් තාලයට බඳ හා පස්සා පැත්ත  ලෙලවමින් ඔවුන් නැටුම් ඉදිරිපත් කලේ අප සැම කුල්මත් කරමිනි. විශේෂයෙන්ම මලීෂා ඇතුළු ඇගේ පවුලේ අය මේ සංදර්ශනය දෙස අමන්දානන්දයෙන් යුතුව බලා සිටිනු දක්නට ලැබුණි . පැයක කාලයක් අපි නැටුම් බලමින් සතුටු වූ අතරම අපිද නැටුවෙමු. නැටුම් සඳහා ඇයද අප හා ලැජ්ජාවෙන් යුතුව එක් විය. අපි ඇයව වට කර ගෙන නැටුවෙමු . ඒ මිහිරි රාත්‍රිය තවමත් මගේ මතක අතර තැන්පත් ව ඇත්තේ කිසිදා නොමැකෙන ලෙසිනි .







අපි නවාතැන් පලට පැමිනෙන විට රෑ බෝවී තිබුණි . අපේ රාත්‍රී ආහාරය සඳහා බාබක්‍යු ක්‍රමයට මස් හා මාලු පුලුස්සා බනිස් සමග සළාද විය. අපි තනි තනිව අපට අවශ්‍යතාව අනුව මස් මාලු පුලුස්සා ගත්තෙමු. එයද විනෝද ජනක අවස්ථාවක් විය. ගී කියමින් විනෝද වී අප නින්දට ගියේ බොහෝ වේලාවකින් පසුව ය. පසු දා අප ආපසු පිටත් විය යුතු බැවින් උදෑසන ඉක්මනින් ලැස්ති විය යුතු බව දන්වන ලදී.

මන්දාකිණියේ තරු මැකී යන වේලේ මට ඇහැ ඇරුණි. ඉක්මනින් නැගිට මගෙ කලමණා ලැහැස්ති කර තබා මම උදෑසනින් ම නා ගත්තෙමි. ගතට දැනුනේ අපූරු සුවයකි. එකිනෙකා ලැහැස්ති වී මැද මිදුලට රොක්වී සිටියහ.  උදේ අහාරය සූදානම් ය. අපි ඉක්මනින්ම ආහාර ගත්තෙමු . ඉන් පසු අපි අපේ බස් රථය ට නැග ගතිමු . සුන්දර මතක සටහන් රැසක් සමඟින් අපි යලිත් ලුසාකා බලා පිටත් වුනෙමු. මද වැස්සකින් අපිට ආශීර්වාද කරන්නට විය . ගමන් ඇරඹූ කණ්ඩායම සමඟම මලීෂා ගේ දෙමාපියන් ද ඔවුන්ගේ වාහනයෙන් අපිව පසු කරමින් ගමන් ගත්තේය .
අතර මගදිගේ උදෑසනින් පාරවල් අසල වෙළෙඳාමේ යෙදෙන ගැහැනු එකිනෙකා ලක ලැහැස්ති වනු දකින්නට ලැබුණි . ඔවුන් විශාල හතු වර්ග , නැවුම් එළවළු වර්ග හෝ බැදපු මෙරුවෝ හා දඩමස් මෙන්ම හොඳින් වේලගත් දඩමස් ද මේ අය රැගෙන ආවෝය. ඔවුන්ගේ දරුවන් පිටේ එල්ලාගෙන කුඩා ළමයින්  මව අසලින්ම රැදෙමින් තම ජීවිකාව කරගෙන යන දිරිය මාතාවන් මේ අතර විය. විශාල කෙත් යායවල් මෙන්ම රන්වන් පාටින් දිලෙනා බඩඉරිඟු යාය වල් අපි පසු කලෙමු .


වේගයෙන් ඉදිරියට ඇදෙනා බසය දැක අත වනනා කුඩා ළමයින් මග දෙපස දක්නට ලැබුණි . අපි සැමගේ සිත් ප්‍රීතියෙන් පිරී ඇත . හැමෝම  සිනාවෙන් පිරී ගිය  මුහුණු ඇත්තෝවිය. සෙනෙහසින් ආදරෙන් පිරි දින කීපය ගෙවීයන බව දුටු මගේ හිත මහත් දුකින් තැවුණි. නමුත් සියලුම සතුටු අවස්ථාවක්  සමඟම දුකත් පසු පසින් පැමිණෙන බව මේ වනවිට මම දැන සිටියෙමි.












Amarulla

දහවල් අවුරශ්මිය අතරේ අපි ආහාර ගැනීම සඳහා අපි සිම්බා වෙත පැමිණියෙමු . පෙර සේම මහපාරට මායිම්ව සාදා ඇති නවාතැන් පලක ආහාර ගෙන බසය ට නගිත්දී වෙළෙන්දියන් අපව වටකර ගන්නා ලදී .  බැදපු මෙරුවන් හා දඩමස් හා නැවුම් පළතුරු ඒ අතර විය. (marulla ) මරුල්ලා නම් කෑ විට මත්වන කැලෑ පළතුරු ද ඒ අතර විය. ඒවා අප සැවොම හඳුනන බැවින් අපි ඒවා ගැනීමෙන් වැළකුණෙමු. කෙසේ වෙතත් ඈත ගමන් යත්දී අපිට පාර අසල වෙළෙන්දියන් ගෙන් කෑම  සපුරා තහනම් විය. ඒ දිනවල මොබයිල් ෆෝන් භාවිතය නොතිබූ බැවින් මගේ මව අපහසුවෙන් පසුවන බව මම සිතුවෙමි . ඇය මා ගෙදර නැතිව ගෙවන පළමු වතාව විය.

අපි යලිත් ගමන් අරඹා නගර හා ගම්මාන පසුකරමින් ගමන් ගතිමු. විශාල බඩ ඉරිඟු යායවල් මෙන්ම රටකජු හා මයියොක්කා වගාවන් ද අපි පසුකළෙමු. මෙවන් අසිරිමත් වගා බිම් ඔබට දැකිය හැකිවන්නේ අප්‍රිකාවේම පමණක් බව මම ඔබට කියමි. මෙවන් සරුසාර පසක් ලද අපි සැබැවින්ම වාසනාවන්ත වීමු. ගොවි බිම් වල වැඩ කරනා ගැහැණු හා මිනිසුන් හිස හා මුහුණ වැසෙනා සේ තනාගත් විශාල හිස්වැසුම් පළදිති. ගිනිගහන අව්වේ වැඩකිරීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ඒ අතර කුඩා දරුවන් ද පිටෙහි බැඳගෙන වැඩෙහි යෙදෙනා ගැහැණු ද දැකිය හැක. නිල්වන් පාට ගස්මත රන්වන් කරල් දිලෙනා බඩඉරිඟු යායවල් නෙත් පිනවයි. මේ තරම් සම්පත් ඇති තවත් රටක් ලොව ඇත්දැයි මම නොදනිමි .
තැනින් තැන ඇපල් හා පීචස් වගාවන් ද අඹ වගාවන්ද දක්නට ලැබුණි . අලුතින් වැසිවැටී දළුලා එන වගාවන් හා නැවුම් පස් පෙරලා සකස් කරනලද ගොවි බිම් ද අප සිත් මන්මත් කරමින් අපි පසු කලෙමු . මසබූකා නගරයට අපි පැමිණෙන විට හවස් වී තිබිණ . තවත් කිලෝ මීටර් එකසිය තිහක් පමණ අපි යා යුතුයි. මසබූකා වල තේ පානය සඳහා නතර කලෙමු . කෆුඑ සහ චිලන්ගා පසු කරමින් ලුසාකා වලට යා යුතුයි . වෙහෙස මහන්සිය නිසාවෙන් සියල්ලෝම සිටියේ නිඳිගත්තාක් මෙනි. කෆුවේ වලදී අපි කෆුවේ ගංගාව පසු කලෙමු .

ඉතාම ලස්සනට ගලා යන ජල කඳ අප රටට සම්පතකි . මේ දෙපස බොහෝ ගොවිබිම් පිහිටා තිබුණි . චිලන්ගා පසු කරනවිට රාත්‍රී හඳ අහසේ මෝදුවෙමින් තිබුණි . ලුසකා නගරයට අප ලඟාවෙත්දී රාත්‍රී නවයට පමණ වී තිබුණි . මගේ මව හා අනෙක් දරුවන්ගේ දෙමාපියන් ද අප බලාපොරොත්තුවෙන් රැඳී සිටිනු දක්නට ලැබුණි . මලීෂා ගේ මෑණියන් අප අපගේ නිවසට රැගෙන යාමට හැකි බව පැවසීය . එය අපිට මහත් අස්වැසිල්ලක් විය. අප නිවසට ඇරලවා ඔවුන් අපෙන් සමුගත්තේ යලිත් හෙට පාසැලේ දී හමුවන බලාපොරොත්තුවෙනි.

2 comments:

  1. බොහොම ලස්සනයි චාන්දි...බොහොම ලස්සනයි...

    කාර්ය බහුලත්වය මධ්‍යයේ අප වෙනුවෙන් කාලය මිඩංගු කරල මෙහෙම ලියන එකට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! රවි. මේ දිරිගැන්වීම හරිම වටිනවා මට. සමාව ඉල්ලනවා සටහන ප්‍රමාද උනාට.

      Delete