Sunday, June 19, 2011

බිඳුණු බිළින්දා පොත ගැන.

පහුගිය සති අන්තයේ කෑගල්ලෙ නැන්දලාගෙ ගෙදර ගියා. එහෙදී බාසුරු මල්ලිගෙ පොත් රාක්කයෙ තිබිලා බිඳුණු බිළින්දා නම් පොත හමූවුනා. ( “Damaged” Written by CATHY GLASS ) පිට කවරයේ කතාව කියෙව්වම මට පොත ඉල්ලා ගෙන කියවන්නට හිතුනා. පොතේ ලේඛිකාව කැතී ග්ලාස් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් . පරිවර්ථනය දිලීප ජයකොඩි මහතාගෙ. මෙය මගේ හද සසල කලේ මමත් කැපකරු මවක් ලෙස කාලයක් දරුවන් තිදෙනෙකුටත් , අප පවුලට සම්බන්ධ අපගේ සේවක සේවිකාවන්ගේ දරුවන්ට අදටත් අසීමිතව දයාවෙන් පිහිට වෙන නිසාද, කියල කියන්නට දන්නේ නැහැ. කොහොම උනත් මෙය මගේ හදවත අතිශයින්ම කම්පා කල කතාවක් බව කියන්නම ඕනෙ.

පොතේ පසුපිටේ ලියා තිබුනේ, ඔබ විස්වාස කරන්න. අකමැති වුවත් විස්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යනතුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහැරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පාකරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ. මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.

අනේ මේ අසරණියට මේසා දුක් වේදනා දුන් පාපතරයන්ට සාපම වේවා කියමින්ම තමයි පොත කියවන්නට ගත්තේ. අපේ රටේත් මෙවන් දේ නැතිවා නෙමෙයි. නමුත් බටහිර සමාජවල මෙවන් තත්ව බහුලව සිදුවන බව අපි අසා තිබෙනවා නේ.

වචනයේ පරිසමාප්තියෙන්ම ඇයට මවකවූ කැතීට හදපිරි හර්ද්යාංගම ස්තූතිය මුලින්ම පිරිනමන්නට ඕනේ. අම්මා යන වචනයේ නියම අරුත ලොවටම කියාදෙමින් ඇයගේ පවුලේ දරුවන් සැමගේ සියලු දුක් කම්කටොළු උහුලමින් තමන් භාරයට ගත් ජෝඩිට තම ලමා කාලයේ සුන්දරත්වය නැවත ලබාදෙමින් කටයුතු කල ඇය ගැන ඇතිවුනේ අසීමිත පැහැදීමක්. මලක් වගේ පිපෙන්නට සිටි ජෝඩිගේ මුලු ලමා කාලයම විනාශ කරදැමූ පාපිශ්ඨයන්ට දියයුතු දඬුවම කුමක්දැයි මට සිතාගත නොහැකියි.

ජෝඩිගේ ලමා කාලය නොසලකා හැරීම් හා ජුගුප්සාජනක සිදුවීම් මාලාවකින් සමන්විත වූවකි. ඇයට තම කාලය ශ්රමය කැප කරමින්, නිසැකයෙන්ම ඇයට අවශ් ආදරය රැකවරණය ලබාදෙමින් ඉවසීමෙන් ඇයට ලෝකය පෙන්වූ ඇගේ කැපකරු මව වන කැතී ග්ලාස් නම් වූ මේ කැපකරු මව ඇගේ පෙර ආත්මයක මව වී සිටින්නට ඇතැයි මට සිතේ.

අප මේ සංසාරයේ කොපමන දරුවන් වදා ඇත්ද? මේ හැම දෙනෙක්ම තම දරුවෙකු ලෙස ලෝකයා දකින්නේ නම් මෙවන් අපරාද කිසිදා ලොවේ සිදුනොවනු ඇත.

අප කාලයක් ජීවත්වූ අප්රිකාවේ අපි දරුවන්ට බොහෝසේ ආදරය කලෙමු. අනුකම්පා කලෙමු. ලංකාවට පැමිණි පසු අප ව්යාපාරය හොද තත්වයකට විගසින්ම දරුවන් තිදෙනෙකුට කැපකරු මාපියන් වීමු. එක් දරුවෙකු මහියංගනයේ රිදී මාලියැද්ද නම් ගමේ. ඔහු හැදුනේ වැඩුනේ මාමා එනෙකුගේ සෙවනෙහිය. ඇනෙක් පුතා මාතලේ ප්රදේශයේය. ඔවුන් දෙදෙනාම අද ඉලංදාරි වයසේ යහපත් දරුවන් වීම ඉමහත් සතුටකි.

අනෙක් දැරිවිය අපට ලැබෙන්නේ රත්නපුර, පැල්මඩුල්ල- ඉද්ද්මල්ගොඩිණි. ඇය හොදින් උසස් පෙළ දක්වා ඉගෙන විවාහවී අද එක්දරු මවකි. ඔවුන් හැම දෙනාම යහපත් ජීවිත ගෙවති. තවත් රංග, හා උක්කු නම්වූ දරු දෙදෙනාටද යහපත් ලොවක් තනා දීමට හැකිවීම ගැනද, මට ඇත්තේ කිව නොහැකි සතුටකි. බබී අද එක් දරු මවකි. මේ හැම දෙනෙක්ම අපට අදද ආදරය දක්වති, ගරුකරති. දරුවන් මල්වැනිය. ඔවුන් පිබිදෙන්නේ දෙමාපියන්ගේ ආදරයේ හිරු කිරණින් බව අමතක කල නොහේ.

මට කැතීට මෙන් දරුවන් බලා ගැනීමේ ප්රශ්ණයක් නොවිණි. මන්ද සියලුම දරුවෝ හැදුනේ වැඩුනේ ඔවුන්ගේම මාපිය සෙවනේ බැවිනි. අප කලේ වියහියදම් දැරීමත්, අවවාද අනුසාසනා ලබාදීමත්ය.

කැතී, මෙම දැරිවිය ගේ මානසික තත්වයටද ප්රතිකාර කිරීමට උත්සහගත් හැටි පුදුම සහගතය. විටෙක ඇගේම දරුවන්ගේ දෝෂාරෝපනයන්ට ඇය ලක්වෙයි. ගැහැට සියල්ල විඳදරා ගෙන ඇය පිහිට වන්නේ කාලයක් ගැහැට, අතවරයන්ට මුහුණදී හෙම්බත්ව සිටි ජෝඩිටයි. මෙවන් මවක ලැබීමට ජෝඩි බොහෝ පින් රැස් කර තිබෙන්නට ඇත.

දිලීප ජයකොඩි නම්වූ පරිවර්ථක මහතා ගැන වදනක් නොලීවොත් එය මහත් අඩුවකි. ඔහුගේ පොත එක හුස්මට කියවාගෙන යත හැකි සරල සුගම භාෂාවකින් ලියන ලද නිසාම පොතේ ආකර්ෂණය පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වී තිබේ. මා මෙන්ම අනෙක් මව්වරුන්ද මේ කෘතිය පිළිබඳව ඔහුට තුති පුදනු නියතය.

ඔබටද හැකිවිටෙක මෙම පොත කියවන්න. එය ඔබට අපූරු අත්දැකීමක් වනු ඇත. ජෝඩි ගැන විස්තර ලියන්නට අපමණ දේ මට තිබුනත් සියල්ල සඳහන් කල නොහැක. ජෝඩිගේ මතු දිවිය වාසනාවන්ත වනු දැකීම මගේද පරම පැතුමයි.

12 comments:

මැණික් said...

සංසාරේ අපි ඉතින් කීදෙනෙකුට මව වෙන්න ඇද්ද. අපි කීදෙනෙකුගෙ දරුවන් වෙන්න ඇද්ද. එහෙම බැලුවාම අපි හැම කෙනෙක්ම නෑදෑයෝ. බලන්නම් පොත හොයාගෙන කියවන්න.
මැණික්

ගල්මල්-Coral said...

පොත ගැන වටිනා දැනුවත් කිරීමක් අක්කේ, ඒ වගේම පොස්ට් එකේ හැම කරුණක්ම ගොඩාක් දැණුනා. ඔබ සඳහන් කර ඇති සද්ක්‍රියාවට ක්‍රම කිහිපයකින් දායක වී ද වෙමින් ද ඉන්න නිසා ඒ කාර්යයේ ගැඹුර හා සහනයත් දැණුනි.

මේ පොස්ට් එක ඊයේම කියෙව්වත් සටහනක් කරන්න වෙලාවක් නොවිය

හරී - පිණිපළස said...

අක්කා කරන යහපත් ක්‍රියා තවත් හොඳින් කරගෙන්න යන්න ලැබේවා කියලා පතනවා. මම මේ පොත ගැන දැන ගත්තෙ ඊයෙ පෙරේදා, මුහුණු පොතෙන්. අක්කා ලියපු දිගු ලිපියෙන් විස්තර හොඳටම දැන ගත්තා. ස්තූතියි. අනේ ඒත් මට පොත කියවන්නත් එපා උනා වගේ දැනුණා. කොහොමටත් තව සෑහෙන කාලෙකට අලුත් පොතක් මගෙ අතට එන එකක් නෑ...

Chandi said...

@මැණික්,
පුලුවන්නම් පොත හොයාගෙන කියවන්න නංගී. ඒක හරිම සංවේදී පොතක්. සසර බැදීම් හරිම පුදුමයි කියල මට හිතෙන වාර නම් අනන්තයි.

Chandi said...

බොහොම ස්තූතියි ඩීන් මල්ලි, හැමදාම ඇවිත් මාව දිරිමත් කරනවාට. ඒ වගේම ආයෙත් ස්තූතියි මේ අඩවිය මට හදාදුන්නාට. මම මේ සටහන් ලිවීමෙන් ලබන සතුට මෙතෙකැයි කියා කියන්නට බැහැ. මේ සංවේදී කථාව මට මහත් කම්පනයක් ගෙනාවා. මම දරු තිදෙනෙකුට අම්මා උනාට හැම දරුවෙකුටම උනුවෙන හිතක් මට තියෙනවා මල්ලී. ඒකට ජාති, ආගම් බේද බලපෑවේ නැහැ. මම සැම්බියාවෙ ඉන්නකොටත් ගොඩක් ළමයින්ට උදව් කලා. අදටත් ඒ දේ කරනවා. මගෙ අම්මාගෙන් තාත්තාගෙන්, මගේ මහත්තයාගෙ අම්මා තාත්තාගෙන් මා ලද දායාදය එයයි කියල මට හිතෙනවා. මට හැකි පමණ කාට හෝ පිහිටක් වෙන්නට පුලුවන් නම් ඒක තමයි මා ලබන උපරිම සතුට.

Chandi said...

@ හරී - පිණිපළස, ස්තූතියි! පැතුමට නංගියේ. ඇයි , ළඟදී පොතක් නො ඒවී කියන්නේ? කොහොම හරි මේ පොත නම් කියවන්න කියල ආදරෙන් ඉල්ලනවා. ගොඩාක් දේ අපිට ඉගෙන ගන්න තියෙනවා. දරුවෙකුට යම් අතවරයක් උනාම පහු කාලෙක දී ඒ දේ ඒ දරුවාගෙ ජීවිතයට බලපාන්නේ කොහොමද? දරුවන් අපිට දෙයක් හඟවන්නේ කොහොමද? කොයි ආකාරයෙන්ද? අපි ඒ දේ තේරුම් ගත යුත්තේ, ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගොඩක් මේ පොතෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන් මානසික ගැටළු වලට අපි කොහොමද? උදව් කරන්නේ, දරුවාගෙ විශ්වාසය රකින්නේ කොහොමද, කියල අපි දැන ගත යුතුමයි.මෙය පරිවර්ථනය කරපු දිලීප ජයකොඩි මහත්තයාට පින් දෙමින් මම නම් පොත කියෙව්වේ නංගි. ඒ මොකද අපේ රටේ මේ විදිහට පලමු පොතට හානියක් නොවන ලෙස කරන පරිවර්ථනයන් ඉතා විරල නිසා.

Bindi said...

මට දුක පොත ගන්න දෙසැම්බර් වෙනකම් ඉන්න වෙන එකට .ඔයාගේ ශයිලියට මම ආසයි වෙහෙසක් නැහැ. අත්දැකීම් පිරුණු කරුණාවන්ත අම්ම කෙනෙක් ඔයාගේ හැම අකුරකින්ම මට පේනවා. මටත් පෙන්නම බැරි සහ හදවත කඩන් වැටෙන දෙයක් තමයි දරුවන්ට දුක් දීම. දිලිපගේ ''දිරි දැරියත් ''[Bread Winner ] කියවන්න ඇතිනේද.

බොහොම ස්තුතියි නෙලුම් විලට ඇවිත් ඔයාව අඳුන්වල දුන්නට. පරණ ලිපි ටිකත් හිමින් කියවන්නම්.

Chandi said...

@ බින්දි,
ස්තූතියි! බින්දි. මට දිලීප ගෙ බ්ලොග් එක ගැන ලින්ක් එක එවනවද? ඩීන් මල්ලි තමයි , මට මේ දේ කරන්න ගොඩාක් උදව් කලේ. එයාට මම හැමදාම ස්තූතිවන්ත වෙනව. මටත් ලොකු සතුටක් ඔයාව හදුනා ගන්න ලැබීම ගැන.

said...

මාත් මේ දවස් වල මේපොත කියවනා. හරිම කණගාටුදායක කතාවක්. මේ වගේ සිදුවීම් ගැන අහනන් ලැබෙනවා අඩු නිසා විශ්වාස කරන්නත් අමාරුයි

Chandi said...

@ම,
ඒක නම් ඇත්ත. අපේ රටේ මේ වගේ දේවල් ගොඩක් අඩුයි. සාදරෙන් පිළිගන්නවා මල්ලි ඔයාව. ස්තූතියි මේ පැත්තෙ ආවට.

ජීවිතේ මල් said...

මේ පොත කියවල වෙච්චි සසල වීම නම් කියන්නට වචන නැහැ.
මේ බ්ලොග් එක අද තමා මුන ගෑසුනේ.
අපූරු සටහන් පෙලක්.
ජය

Chandi said...

@ ජීවිතේ මල්;
මුලින්ම ආදරෙන් පිලිගන්නවා නංගි ඔයාව. දිගටම රැදේවි කියල හිතනවා අපිත් එක්ක. මම ඔයාගෙ සටහන් කියවනවා. මේ ටිකේ ටිකක් අවිවේකියි. ඒ උනාට කොහොමහරි ඒව බලන්න එනවා. ස්තූතියි ඇගයීමට. පුලුවන් වෙලාවක සිත නිවන පියුම් විල ටත් ගොඩවෙන්න කෝ. තෙරුවන් සරණයි.

Post a Comment