සඳ දිය සිත්තම.





සඳ දිය දහරින් නැහැවී ගිය සඳ

මාගේ හදවත පළමු වතාවට

සසර පුරා ඔබ සෙව්වේ මාවද

කියා දෙන්න මට සබඳ දයාබර


සිත්තම් මැව්වා මා හද උයනේ

සිසිලස පිදුවා සීතල අරණේ

කෝමල වදනින් සිත්විල තෙමුනේ

ආදරයක සුව හද තුල මැවුනේ


කාලය ගෙවුනේ අපටත් නොදැනිම

වෙන්වයන්න අප අපටත් අහිමිව

නොසිතූ ලෙස සරදම් කල දෛවය

තාමත් මග බලමින් ඇති දෙතැනක


කියා දෙන්න අපහට සසර කෙටිම මග

සමිඳුනි එතෙරට යන්න පාර සදන්නට

බැදීම අතහැර පතා නිවන් සුව

කිමිදී ලබනට දහම් අමා රස


Comments

  1. බැඳීම් කියන දේවල් ඇත්තටම නැති කරගන්න පුළුවන්නම්.....

    මගේ හිතට බොහෝම දැනුන පද ටිකක් චාන්දි අක්කා...

    ReplyDelete
  2. හිත නිවෙන වචන ටික චාන්දි අක්කේ.අන්තිමට ඉතින් නිවන තමා එකම සැපය."ප්‍රිය විප්පයෝගේ දුක්කෝ".ඕක තේරුම් ගත්තම හිත නිදහස්,බඩ බැදගෙන හිටියත් බැදීමක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.

    ReplyDelete
  3. ඇත්තටම මේ ඇතිවෙන බැඳීම් හින්දා අපි කොච්චර අසරණ වෙනවද

    ReplyDelete
  4. "හිත කීරී ගැහෙන තරමට
    මට කියාගන්න
    බැරි සුසුමන් හිත දවයි"
    මමත් මේ හිත හිතා හිටි දෙයක්. ඒත් අපේ හිතෙන්ම ඔය හැම දෙයකටම කාලය එක්ක අපිට විසඳුම් ගෙනත් දෙනවා.
    මැණික්

    ReplyDelete
  5. සිත නිවන හඳ බැදි පැදි පෙලක්.. :)

    ReplyDelete
  6. ගල් පස් ජයගෙන, බුබුලක්වී මතුවෙලා, පුංචි දියපහරක් වෙලා පෙරට ඇදී දෙපස ගස් වැල්වලට සෙතක් සලසලා මෝය කටින් කරදිය මුහුදට පිවිසෙද්දී අර වතුර බුබුලට මොනවා හිතෙනවා ඇද්ද... අනන්තව හිතේ මතුවෙන යටවෙන රබර් බෝලයක්.

    මේ පදපෙල කියවපු ගමන් ආයේත් මතකයට ආවේ ඒ අදහස. අවසර අරන් සමුගන්න ලේසි නැතිව ඇති, ඒත් සමුදීම ඊටත් වඩා දුෂ්කර ඇති - පෘථජ්ජන වෙච්චි අපිට අනේක බැඳීම් නිසා.

    කවදත් වගේ හිතට දැනුන පදපේලක් අක්කේ.

    ReplyDelete
  7. @ දිල්
    බොහොම ස්තූතියි දිල් නංගි. අනේක විධ ප්‍රශ්න මැද්දෙ අපිට මේ ජීවිතයේදි හමුවුන සොඳුරු චරිත කොහොම ඈත් කරන්නද? කියල හිතුන වෙලාවක ලියවුන කවියක්.

    ReplyDelete
  8. @ කස්සා
    ඇත්ත කස්සා මල්ලි,
    ඔයාට නම් මේ දේ අත්දැකීම් ඇති, වෙන රටකට යන්න උනාම බැඳීම අතහරින්නම වෙනව නේ. ස්තූතියි කමෙන්ටුවට.

    ReplyDelete
  9. @ ayesha;
    නංගියේ ස්තූතියි! අදහසට. මමත් මේ බැඳීම් නිසා අසරන වෙච්ච වෙලාවක ලියවුන පද පෙළක්.

    ReplyDelete
  10. @ මැණික්
    ස්තූතියි! මැණික් නංගි,
    ඇත්ත කාලය තමයි අපිට තියෙන එකම විසඳුම. කාලයට හැම දෙයම බාර දීල ඉන්නව. ඒත් සමහර මතක අමතක කරන්න හරිම දුෂ්කරයි.

    ReplyDelete
  11. @ නන්දු
    ස්තූතියි! නන්දු දුවේ, ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ මේ ටිකේ ආවෙ නෑ. ඉඩ ලැබුන විටක එනවා. අවිවේකි බව නිසාම ගොඩක් සටහන් කියෙව්වාට වදනක් ලියන්න බැරි උනා. සමාවෙන්න හොඳේ.

    ReplyDelete
  12. @ ගල්මල් - coral;
    ස්තූතියි! ඩීන් මල්ලි,
    ඔයාගෙ අදහසම මටත් නිතර හිතෙන දෙයක්. සමහර වෙලාවට ගලන දොළපාරක සිසිලස විඳින වෙලාවක අපි ලබන සතුට ඒ දොළටත් දැනෙනවා නම් කියල. සසර බැඳීම් ඒ වගේමයි කියල හිතෙනවා. වෙලාවකට අපිට හමුවෙන සොඳුරු චරිත වලට අපි ආදරය කරනව, වෙන්වෙනව බැඳීම අතහරිනව, තව තව බැඳෙනව හරිම පුදුමයි. මේව අත්හරින්න එකම මඟ මේව අත්හරින එක . ඒක හරිම දුෂ්කර කාර්ය‍යක්.

    ReplyDelete
  13. සුබසක්‌ තව වෙද බුදු බණ පද මිස
    රසයක් තව වෙද සදහම් රස මිස
    දිනුමක් තව වෙද සසර දිනුම මිස
    සුවයක් තව වෙද නිවන් සුව ම මිස

    මේ ලස්සන කවි ටික දැක්කම මටත් හිතුනා කවියක් කියන්න :)

    ReplyDelete
  14. @ සයුරි
    බොහෙ‍ාම ස්තූතියි නංගි. ලස්සන කවියක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!