ආදරනීය මලීෂා 3

මගේ නැගණිය අහිමි වීමෙන් පසුව මගේ දිවිය පාළුවෙන් හා සාංකාවෙන් පිරුණි. දෛනික ජීවිතයේ වැඩ කටයුතු අතර හිරවී සිටි පියාණන් හා අම්මාත් වෙහෙස ගත්තේ මා ජීවිතය සතුටින් තබන්නට වුවද නිතරම මට මගේ නැගණිය සිහිවී කඳුලු පිරුනු නෙත් ඇතිව සිටින්නට සිදුවිය. මගේ කුඩා කල මතක මහ ගොඩක් මට නැත. අප ජීවත්වූ පරිසරය සරල ලෙස දිවිගෙවන බොහෝ අප්‍රිකානු නිවෙස් වල තිබෙන පරිසරයයි. බොහෝ දෙනෙක් බඩඉරිගු වගා බිම් වල වැඩකරති. මුළු දවසම වෙහෙසී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චම ගෙන සවස් කල නිවෙස් වලට එති. එසේ නැතහොත් තඹ ආකර වල වැඩ කරති. ඒවායේ වැඩ කිරීම දුශ්කර වුවද ලැබෙන වේතනය වගා බිම් වලට වඩා වැඩි හෙයින් ද ලැබෙන පහසුකම් වැඩි හෙයින් ද බොහෝ දෙනාගේ කැමත්ත තඹ ආකර වල වැඩ කිරීමය. අනෙක් පිරිස් නගර බදව වාසය කරමින් ඒ ආශ්‍රිත සාප්පු හා කාර්යාල වලද නිවෙස් වලද වැඩ කරති. ගම්බද ව එක ලඟින් තනා තිබෙන රවුම් පොඩි නිවාස බොහෝ විට එකම නෑදෑයන් පිරිසක් වෙසෙන ඉංග්‍රීසියෙන් "රොන්ඩවෙල්ස්" නමින් හඳුන්වන කුඩා නිවාස වේ. මේවායේ එක් කාමරයක් හෝ වැඩිම දෙකක් ඇත. එහි කුඩා පුටු කිහිපයක් සමඟ කුඩා මේසයකට පමණක් ඉඩ ඇත. බොහෝ විට ඉවුම් පිහුම් කර...