Thursday, October 8, 2015

ආදරනීය මලීෂා 2




           සිය දෙමාපියන් දැකීමට තම දරු දෙදෙනා ද සමඟ යන මුල්ම  අවස්ථාව මෙය විය. ඉතා දිගු ගමනකට සති ගනනාවක් තිස්සේ වෙහෙස වී සියල්ල සූදානම් කල යුතු විය. මගේ පියාට මේ වන විට වයස අවුරුදු හතක් පමණ විය. තැනිතලා කඳු හෙල් මැදින් ගිය මේ සුන්දර ගමන ඉතා විනෝද ජනක ගමනකි. බසයක කෙදිනක වත් ගමන් කර නොතිබූ ජෙසී නැන්දා මග දිගටම වමනය කරමින් යාම නිසා ආච්චි අම්මාට නිතර අතර මග නැවතුම් පළවල් වල දී ඇය පිරිසිදු කිරීම දුෂ්කර කාර්ය‍යක් වී ඇත. ඉතා වෙහෙසට පත්ව සිටි ජෙසී නැන්දා හා ආච්චි අම්මා ගමනාන්තය වන විට තද නින්දේ පසු විය. මේ ගමන සඳහා පසු කල යුතු නගර කිහිපයකි. එනම් කබ්වේ, කපිරිම්පෝශි, ම්කූෂි, සෙරෙන්ජි, ම්පීකා, කසාමා, ම්බාලා ,හා ම්පුලුන්ගු යන නගරයි. මගේ පියා ඇතුළු පිරිස මහමඟ දින දෙකක් ගෙවා තිබේ. කිලෝමීටර් හත්සියයක් පමණ වන තරම්  දුරක්  ගෙවා පැමිණි තම පුතු හා ලේලිය මහත් හරසරින් ලොකු සීයා ඇතුළු සියළුම නෑදෑයින් විසින් පිළිගෙන තිබේ.

මගේ ආච්චි අම්මාව සමහර නෑදෑයින් විසින් දැක තිබුනේම නැත. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයට සෑම කෙනෙක්ම පාහේ ගෞරවය හා ආදරය දක්වන්නට විය. උතුරු ප්‍රදේශයේ ඇති මෙම කුඩා නගරය හැම අතින්ම දුෂ්කරවූත්, ස්වයං පෝෂිත වූත් නගරයක් වේ. සීයා එසේ කියනුයේ නිල්වන් දිය දහරින් පිරි ටැන්ගනිකා විලත්, ඒ අවට ප්‍රදේශයේ ජලය ආශ්‍රිතව ඇති සරුසාර කෙත්වතුත් නිසාය. සුන්දර වනපෙත් වල ගැවසෙමින් එහි ගතකල කාලය තම ජීවිතයේ කිසි දිනෙක අමතක නොවනු ඇතිබව මගේ පියා නිතර කියූ බව මට මතකය.



දිනෙක ජෙසී නැන්දා හා මගේ පියාණන් ලඳු කැලෑවක ඇවිදිමින් සිටිනා කල හයිනාවෙකු විසින් ඔවුන් දෙදෙනාව පන්නා ගෙන පැමිණ ඇත. වාසනාවකට ලොකු සීයා හා තව ඥාතියෙකු ලඟම සිටි බැවින් ඔවුන් දෙදෙනාව බේරා ගැනීමට හැකිවී ඇත. මගේ සීයාට එකම සහෝදරයෙක් හා සහෝදරියන් තිදෙනෙක් සිටි බැවින් සැම දෙනාගේම ආදරය පියාණන්ට හා නැන්දනියට ලැබී ඇත. විල් තෙර හිද සීයාත් ඔහුගේ සහෝදරයාත් ලොකු සීයාත් අනෙකුත් නෑදෑයන් සමඟ අත් පියානෝව වයමින් විනෝද වී තිබේ. ආච්චි අම්මා සැමටම රසවත් කෑම සදමින් සංග්‍රහ කරමින් සතුටින් කාලය ගත කර තිබේ.  මෙහිදී ප්‍රධාන වශයෙන් ෂීමා නම් වූ බඩ ඉරිඟු පිටි වලින් සාදාගන්නා ලද තලප සමඟ රැලිශ් නම් වූ කොල වර්ගයක් හා මස් වර්ගයක් එකතුව ආහාර වේල සම්පූර්ණ වී ඇත. සමහර දිනෙක වල් ඌරු මස් ද, තවත් විටෙක ඇන්ටිලොප් මුව මස් ද තව විටෙක ගෝණ මස් ද පිසින ලදී. අතරින් පතර බුක බුකා නම් වූ ඉතා රසවත් මාළු සමඟ රැලිශ් එක් විය. රැලිශ් සඳහා බොහෝ විට අතුගෝවා, වට්ටක්කා දළු, බණ්ඩක්කා සහ නොයෙකුත් හතුවර්ග පිසිණු ලැබේ. සැදැවන් බොහෝ විට ගෙවුනේ මිහිරි සංගීතය රස විඳිමිණි.  ඒ සියල්ල සමඟ ඉතාම සුන්දර විල් තෙරක ගෙවුන කාලය කෙතරම් සුන්දර දැයි ඔබට සිතා ගත හැකිය.





සමහර දිනෙක ඔවුන් විලේ පිහිනමින් සතුටුවී ඇත. නමුත් මෙහි දී සීයා බොහෝ ප්‍රවේශම් වී ඇත. ඒ මන්ද යත් සීයාට සිදුවූ අනතුර හේතුවෙන් තම දරු දෙදෙනාගේ ආරක්ෂාව ඔහු විසින්ම සලසා දී තිබේ. මෙම විල පිලිබඳව යමක් ඔබට කියමි.  මෙය පිහිටා ඇත්තේ සැම්බියාවේ උතුරු කෙලවරෙහිය.  ලෝකයේ ඇති දෙවන විශාලතම මිරිදිය විල මෙය වේ.  බුරුන්ඩි, කොංගෝව, ටැන්සානියාව හා සැම්බියාව මායිම් කරගෙන මහා සාගරයක් තරම් විශාල වූ මෙම විල ටැන්ගනිකා විල නමින් හැඳින් වේ. ඔබ එක් පැත්තකින් බැලූ විට විලෙහි අනෙක් පැත්ත ඔබේ පියවි ඇසට නොපෙනේ. මෙය බොහෝ විට හඳුන් වන්නේ ග්‍රේට් රීෆ්ට් සානුව හරහා වැටුනු මහා සාගරය යනුවෙනි. විශාල මත්ස්‍ය සම්පතක් ඇති බැවින් මෙම විල දුප්පත් අප්‍රිකානුවන්ට මහඟු සම්පතකි. මගේ පියා ඇතුළු පිරිස ආපසු ලුසාකාවට පැමිණ ඇත්තේ සති තුනකට පසුවය.

මගේ පියාණන්ගේ ජීවිතයේ පළමු වසර කිහිපය ගෙවී ඇත්තේ ඉතා සැහැල්ලුවෙන් හා විනෝදයෙනි. ඔහුගේ පළමු පාසැල වී ඇත්තේ කබුලොන්ගා මොන්ටිසෝරි පාසැලයි. එහි සැම්බියානු දරුවන් සමග ඉන්දියානු හා යුරෝපීය දරුවන්ද එක්ව එකට ඉගෙනුම ලැබීය. මෙහිදී ඔහුට යහලු යෙහෙලියන් කිහිප දෙනෙක්ම සිට ඇත. මුලෙන්ගා,ජෙසිකා,නියංජානි,ගොඩ්වින්,රවීනා,ප්‍රියංකා,එඩිත්, ජූඩ් හා එඩ්ගා යන නම් ඔහුට මතකය. පළමු ගුරුතුමිය එන්ගන්ගා මහත්මියයි. ඇය ඉතාම කරුණාවන්ත කාන්තාවකි. පළමු ගුරුවරිය වූ ඇය ඔහුගේ ජීවිතයට සදා ආලෝකයක් ගෙන දුන් බව ඔහුගේ මතයයි.

පාසැලේ වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට ඇයගෙන් නොමද සහයක් ලැබී තිබේ. සීයාගේ ඇසේ ප්‍රශ්ණය නිසාවෙන් ඔහුට කිසි දිනෙක අකුරු ඉගෙනීමට හැකියාවක් ලැබී නැත. ආච්චි අම්මා එන්ගන්ගා මහත්මියගේ උදව්වෙන් මගේ පියාට දක්ෂ ලෙස කියවීමටත් ලියන්නටත් හුරු කරවා ඇත. පළමු වසරේ දීම කුඩා වන පේලි කියවීමටත් කුඩා කතන්දර පොත් කියවීමටත් ඔහුට හැකියාව ලැබී තිබේ. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දස්කම් දැක්වීමට ඔහු සමත් විය. පළමු වසර කිහිපයේ දීම ඔහු ඉතා ඉහල ලකුණු ලබමින් පන්තියේ සෑම විටම පළමුවෙනියා හෝ දෙවනියා වීමට සමත් වී ඇත. උපන් දක්ෂතාවක් රැගෙන ආ ම'පියාණන්ට කවුරුත් එකසේ ආදරය දක්වා තිබේ.

ඔහුට වයස එකොලහක් වන විට ජෙසී නැන්දා අට හැවිරිදි දැරියකි. ඇය ගැනත් මෙහි සඳහන්  නොකල හොත් එය අඩුවක් වනු ඇත.  ජෙසී නැන්දා හුරුබුහුටි දඟකාර දැරියක් වූ බව ඔබට මතකය. වයස අවුරුදු හය වනවිට ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව දැන ගන්නට ලැබී තිබේ. ඉතා දිළිදු පවුලක් වූ සීයාට හෝ ආච්චි අම්මාට ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දැනුමක් හෝ මුදලක් නොතිබූ බැවින් රෝගය උත්සන්නවූ විට රෝහල් ගත කිරීම හැර ඔවුන්ට කල හැකි අන් දෙයක් නොවුණි.  වරින් වර අසනීප වන ජෙසී නැන්දාට ප්‍රතිකාර කිරීමට අමාරුවෙන් ඉතිරි කරගන්නා ලද මුදල් වියදම් කරන්නට ඔවුන්ට සිදුවී ඇත. නිතර නිතර අසනීප වන බැවින් මගේ ආච්චි අම්මා මගේ පියා රැකබලා ගැනීමට මෙලීනා පුංචි අම්මාව කැඳවා ගෙන තිබේ. මේ කාලය තුල ආච්චි අම්මා ද රෝහලේ වැඩි කාලයක් ගත කරන නිසා පුංචි අම්මා නිවසේ සියළු වැඩ කටයුතු ද සමගින් ම'පියාව ද ආදරයෙන් රැක බලාගෙන තිබේ. මේ අතර තුර පටෙල් මහතා හා විජේසේකර නම්වූ ශ්‍රී ලාංකික යුවල ද ඔවුන්ට උපකාර නොකලේ නම් ඔවුන් ඉතා දුක්ඛිත අඩියකට වැටෙනු නියතය.

 දිනෙන් දින දුර්වල වූ ජෙසී නැන්දා වයසේ තරමට වැඩී නොමැති දැරියකි. අවසන් මාස කිහිපයේ දී ඇයගේ දෑත් වල  කටු ගැසීම නිසා කලු පැහැති පැල්ලම් මතුවී බැලීමට පවා නොහැකි වී ඇත. සීයාගේ නෙත් නිතර තෙත් වී තිබූ බවත් , නිතරම සීයා දුකෙන් වාසය කල බවත් ම' පියාණන් පවසා තිබේ.

එක් දිනක හදිසියේම වාගේ සීයා කලබලයෙන් නිවසට විත් පුංචි අම්මාට යමක් පවසා මගේ පියාණන්ව රෝහල වෙත කැඳවා ගෙන ගොස් තිබේ. ඔවුන් එහි යනවිට ජෙසී නැන්දාට සේලයින් වතුර දෙමින් වෛද්‍යවරු ඇය බේරා ගැනීමට ඉමහත් වෙහෙසක් ගනිමින් සිටියේය. පියාණන් දුටු විගස ඇගේ දුක්බර මුහුණට මද සිනහවක් ආ බව සියල්ලන්ම දුටුවේය. ඇය අතින් අල්ලා බොහෝ දුකින් "ඔබට දෙවි පිහිටයි අයියා" යන්න පවසා තිබේ. පැයක් පමණ රෝහලේ සිටියදීම ඇය මෙලොවෙන් සමුගෙන තිබේ. මගේ පියාගේ එවකට ජීවිතයේ දුක්බරම මොහොත මෙය වී ඇත.


දින කිහිපයක් යන තෙක් ඔහු කිසිවෙක් සමඟ කතා කොට නැත. මළගම දින කිහිපයේ සියල්ලෝම පාහේ සීයාට උදව් පදව් කර තිබේ.  සාමාන්‍යයෙන් රටේ චාරිත්‍රය අනුව අවමංගල්‍ය චාරිත්‍ර දින කිහිපයක් පුරා පැවැත්වේ. පවුලේ ලඟම ඥාතී පිරිමි උදවිය කමින් බොමින් කතා කරමින් ගෙයින් පිටත කල් යවති. ගැහැණු උදවිය ගෙතුලට වී වැලපෙමින් ශෝක වෙති. අවසානයේ දී ක්‍රිස්තියානු චාරිත්‍ර වලට දේව මෙහෙය පවත්වා දේහයේ අවසන් කටයුතු සිදුකරනු ලැබේ. පිරිමි පාර්ශ්ශවයේ ගුන කතනයක් ද විරහ ගීත ගැයීමක් ද සිදු කෙරේ. තව ද උදව් පදව් කල සැමට ස්තූතිය පුද කිරීම ද කෙරෙනු ලබයි. දින කීපයක් දෙන තබාගනු ලබන්නේ ඈත ප්‍රදේශයන් හි වෙසෙනා ඥාතීන් ට දේහයට ගෞරව කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහාය. මෙතැන් පටන් මගේ පියාණන් ගේ ජීවිතය පාලුවෙන් හා අදුරින් පිරුනි. ඉතාම වේදනාකාරී ලෙස ජෙසී නැන්දාගේ හැරයාම  ඔහුට දරාගත නොහැකි තරම් වූ දුකක් වී ඇත. ඔහු ඉතාම ඇලුම් කල ඔහු ගේ එකම සොයුරිය ගේ වියෝව නිතරම හද දවන වේදනාවක් වූ බව කියැවේ. කාලය ඉගිලෙන්නේ අප නොසිතන වේගයෙනි. 

මින් පසුව මේ කතාව ඔබ අසන්නේ ඔහුගේම වචන වලිනි. අපි දැන් එය අසමු.




10 comments:

දේශක යා said...

විරහ ගි්ත ගායනා කරනවා කියන්නෙ මොකක්ද?

Chandi said...

ආ ඒ ගීත වලට හරියටම කියන නම නම් දන් නෑ දේශා. ඒ අයගේ ගෝත්‍රික ගීත වගයක් කෙනෙක් මිය ගියාම කියනවා. ඒවා දිනෙක ඇසූ විට කීවේ මිය ගිය ආත්මය අත්හැරීම උදෙසා කියන ගීත කියලයි. මා හිතන්නෙ ඒවා කිතු දහමත් සමඟ මිශ්‍ර උන ගායනා විලාසයක්. කොහොමත් ඒවා කියන්නෙ හඬ නගා විලාප කියන්නා සේ. [The mourning that takes place is much different from ordinary crying. The loud, grief-stricken crying by the men is called kukhuza among the Tumbuka in Eastern Zambia. This is a deep and loud crying which is accompanied by the sound “may,baba-beeee! mayi,baba-beeee!” The crying by the women is called chitengelo, and sounds like a loud “Ye-e—e-e-e-egh! Ye-e—e-e-e-egh! Ye-e—e-e-e-egh!” This is a very distinctive and unique mourning cry that is very rhythmic and high pitched, The most soulful crying is also known as kudinginyika, and can often be heard miles around in rural villages. When anyone hears the chitengelo in the village they know for sure that someone close to them has died. Originating from the town of Samfya in Zambia’s Luapula province, kalindula is only one of the many types of music performed across the area. However, its melodic structures, complex cadences and close relation to Zambian folklore make it a multi-faceted genre, with kalindula songs often played at funerals, celebrations and recorded by popular artists. ]

Trans Sylvania said...

අප්‍රිකාව ආශ්‍රිත සාහිත්‍යය නිර්මාණ සිංහල බසින් ඉතා අඩුයි එම නිසා මේ කතාව පොතක් ලෙස මුද්‍රණය වෙනවා නම් සුදුසුයි. අප්‍රිකාව ආශ්‍රිත අත්දැකීම් ඔබ ලැබුවාද ? අප්‍රිකාව ආශ්‍රිත අත්දැකීම් මට ලැබුනේ නැතත් අප්‍රිකා ජාතිකයන් අාශ්‍රය කිරීමෙන් ලත් දැණුම නිසා අප්‍රිකාව ආශ්‍රිත නිර්මාණ කොටසක් මම කළා මගේ එක් පොතක​. පහත ඇත්තේ ඉන් එක් සුළු කොටසක්

ඒකාකාරී ජීවිතය මම දැක්කා අප්‍රිකාවේදී. අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට් අර්ධ නාගරික ජීවිතය. මිනිසුන් යනවා රන් හාරන්න ගඟ නිම්න වලට හිමිදිරි උදයේ. උදළු තල සිය ගනනක් පොලව මත වදිනවා, පස් හාරනවා, හාරපු පස් කුඩා වලට දානවා, ගං තෙරට ගෙනෙහින් වේවැල් පස් කුඩ වතුරින් මිශ්‍ර කරන ගමන් පස් කැට සෝදා යවනවා. මෙහෙම දිගින් දිගටම කරලා අන්තිමට පස් හේදිලා ගියාම කුඩයේ පතුලේ ඇහැට පෙනෙන නොපෙනෙන රන් කැට සොච්මක් තියනවා. ඒ වෙන කොට හිරු බැස ගිහිල්ල අඳුර උදාවේගෙන එනවා. හැමෝටම රන් කැට ලැබිල නැහැ, බොහෝ දෙනෙක් අපහු නවාතැන්පොළට යන්නේ හිස් අතින්. රන් ලැබුණු වාසනාවන්තයෝ ඉක්මනට ඇඟපත හෝදගෙන , ඇඳුමක් ඇඳගෙන ගරාවැටුණු පොඩි ටවුමට යනවා.

ටවුමේ ලෑලි කඩයක් තියනවා මේ මිනිසුන් ගෙන රන් කෑලි කුණු කොල්ලයට. මුළු දවසක ශ්‍රමයට ගෙවනවා. Cedi පහක් , දහයක් විතර. මුදල් නෝට්ටු අතේ ගුලිකරගන්නා මේ මිනිස්සු යනවා ළඟ තියන බාර් එකට. එකත් කිළුටු ගුහාවක්. කැඩීගිය වේවැල් පුටු අබලන් මේස තියන ගෝෂාකාරී තැනක්. ලාබ රම් , පාම් වයින් , උක්ගස් වලින් පෙරන Akpeteshie පානය. මේ වගේ ලාභ බිමක් ඇනවුම් කරනවා. කුඩාවට කපල තම්බපු එළුමස් එක්ක බෝංචි පිගනකුත් ලැබෙනවා. ඒක කන ගමන් මධ්‍යසරයත් ගන්නවා. බාර් එකේ පරණ කැසට් රේඩියෝවකින් අයිජිබේ එඩේම් ගේ වේග රිද්ම ගීයක් ඇහෙනවා. මිනිසුන්ගේ කතා බහ , ගෝසාව, බාර් එකේ වැඩ කරන කිළුටු ගවුම් ඇඳගත් නාවර පෙරාගෙන සිටින වෙටර්වරියන් දෙදෙනා පිගන් අතින් ගෙන අමුත්තන්ට සංග්‍රහ කරනවා.

බාර් එකේ කවුන්ටරේ සිටින මදි වියේ මිනිසා සුරුට්ටුවක් උරණ ගමන් රම් කෝප්ප වලට වත් කරනවා. ඔහුගේ ශක්තිමත් කාලවර්ණ අත් , සුදු පැහැති දත් , විශාල රතු පැහැ තොල් ,අමිත්රශීලි දෙනෙත් සුරුට්ටු දුමාරය අතරින් දැක ගන්න පුළුවන්. බාගෙට මත් වූ අමුත්තන් දැන් උස හඬින් වාද කර ගන්නවා. තම තමන්ගේ පම්පෝරි කියවනවා..........

Chandi said...

ඔව්, වෛද්‍ය තුමනි, මා කුඩා කල පටන් මගේ පියා සැම්බියාවේ අවුරුදු විසි දෙකක් පමණ වාසය කලා. වෘත්තියෙන් සර්වේයර් කෙනෙකු ලෙස. මා විවාහ වූයෙත් එහෙදී. මගේ ස්වාමියාගේ පවුලත් අප පවුලත් එහේ හිටියේ . මගේ ස්වාමියාගේ ලොකු අක්කා මහාචාර්යය කුසුම් ද අබෲ . අක්කා නිසා තමා මට මගේ සැමියා මුන ගැසුනේ. අක්කා මා හිටිය නහරයේ වැඩකල නිසා. මගේ දරුවන් තිදෙනාගේම උපන් රට එයයි. ඇත්තෙන්ම කීවොත් මගේ දෙවන මව් රට එයයි. නිතර නිතර ආව ගිය නිසා යලි යලිත් එහි යාමේ ආසාවෙන් පෙළෙනවා. ඒකත් මේ පොතට මුල් වෙන්න ඇති යයි සිතනවා. මා වරින් වර මගේ ජීවිතයේ සිද්ධි මෙහි පලකරල තියෙනවා. ඔබේ අදහස් ගැන ගෞරවනීය ස්තූතිය. ඔබේ පොතේ කොටස කියවද්දී හිතට හරිම සමීප බවක් දැනුනා. මේ ආකරයමයි අපි හිටිය රටේත් ගම්බද අය. එයාල කරන්නෙ ගොවිතැන් හා තඹ ආකර වල වැඩට යාම. රාත්‍රියට මෙලෙසම බාර් වල කයිවාරු ගසමින් කාලෙ ගෙවනවා. බොහොම සරල ජීවිත. විච්චූර්න ඇත්තෙන්ම නෑ. මට මැවිල පෙනුනා ඒ අයව ඔබේ කතාව කියවත්දි. ඒ තරම් ඔබ ඇත්දැක ඇති සැටි!. ඉස්සරහට මේ වාගේ සිද්ධි පොතේ තියෙනවා. මට කතාව ඉවර කරගන්න මේ වටිනා අදහස් හරිම ශක්තියක් වේවි. ඔබට බොහෝ පින්.

කුරුටු ගෑ ගී පවුර said...

අර රූප ටිකනම් පට්ට...................

Chandi said...

@ කුරුටු ගෑ ගී පවුර.
බොහොම ස්තූතියි! කුරුටු.

බණ්ඩා said...

ලස්සනයි, අනිත් කොටස ඉක්මනට ලියනවා නේද?

Chandi said...

@ බණ්ඩා ,
ඔව්, එහෙම තමා හිතා ඉන්නෙ. සාදරෙන් පිලිගන්නවා. ස්තූතියි! අදහසට.

Ravi said...

සැම්බියාව ගැන මගේ මුල්ම මතකය හැත්තෑව දශකයේ මැද භාගයෙ විතර. මගෙ මාමගෙ බොහොම කිට්ටු මිතුරෙක් ( ඔහු අපෙත් පවුලේ හිතවතෙක් ) සැම්බියාවෙ වසර කීපයක් සේවය කලා මහේස්ත්‍රාත් තනතුරක. මම ඒ කාලෙ මුද්දර එකතු කලා. ඒ බව දන්න නිසා ඔහු මාමට ලියුම් එවනකොට මට සැම්බියාවෙ මුද්දර කවරෙ ඇතුලෙ දාල එවනව. ඒ හින්ද ඒ කාලෙ මගෙ මුද්දර එකතුවෙ විදේශීය මුද්දර වැඩිම තිබ්බෙ සැම්බියාවෙ. ඊට පස්සෙ 76 නොබැඳි සමුළුවට ආපු සැම්බියාවෙ ජනාධිපති කෙනත් කවුන්ඩා මතකයි.

මලීෂාගෙ කතාව ඉතාම අපූරුයි චාන්දි.....ඊලඟ කොටස එනකල් බොහොම ආසාවෙන් බලා ඉන්නෙ...:)

Chandi said...

@ රවි; බොහොම ස්තූතියි ! රවි. අපි එහේ හිටියෙත් හැත්තෑවෙ මුල් භාගයේ පටන්.
නම කිව්වොත් දන්නවත් ඇති රවි. මාව දන්නෙ නැති උනත් මගෙ තාත්තාව නම් නොදන්නා කෙනෙක් නෑ. ලංකාවෙන් යන බොහෝ අයට මුල්ම කෑම වේලත් නවාතැනත් ලැබුනෙ අපේ නිවසෙන්. හැමෝම කිව්වෙ තාත්තට සිරි නිස්සංක කියලා. ඒ මාමව හමු උනොත් අහල බලන්න.

Post a Comment