Sunday, October 18, 2015

ආදරනීය මලීෂා 3

මගේ නැගණිය අහිමි වීමෙන් පසුව මගේ දිවිය පාළුවෙන් හා සාංකාවෙන් පිරුණි. දෛනික ජීවිතයේ වැඩ කටයුතු අතර හිරවී සිටි පියාණන්  හා අම්මාත් වෙහෙස ගත්තේ මා ජීවිතය සතුටින් තබන්නට වුවද නිතරම මට මගේ නැගණිය සිහිවී කඳුලු පිරුනු නෙත් ඇතිව සිටින්නට සිදුවිය.

මගේ කුඩා කල මතක මහ ගොඩක් මට නැත. අප ජීවත්වූ පරිසරය සරල ලෙස දිවිගෙවන බොහෝ අප්‍රිකානු නිවෙස් වල තිබෙන පරිසරයයි. බොහෝ දෙනෙක් බඩඉරිගු වගා බිම් වල වැඩකරති. මුළු දවසම වෙහෙසී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චම ගෙන සවස් කල නිවෙස් වලට එති. එසේ නැතහොත් තඹ ආකර වල වැඩ කරති. ඒවායේ වැඩ කිරීම දුශ්කර වුවද ලැබෙන වේතනය වගා බිම් වලට වඩා වැඩි හෙයින් ද ලැබෙන පහසුකම් වැඩි හෙයින් ද බොහෝ දෙනාගේ කැමත්ත තඹ ආකර වල වැඩ කිරීමය. අනෙක් පිරිස් නගර බදව වාසය කරමින් ඒ ආශ්‍රිත සාප්පු හා කාර්යාල වලද නිවෙස් වලද වැඩ කරති.





ගම්බද ව එක ලඟින් තනා තිබෙන රවුම් පොඩි නිවාස බොහෝ විට එකම නෑදෑයන් පිරිසක් වෙසෙන ඉංග්‍රීසියෙන් "රොන්ඩවෙල්ස්" නමින් හඳුන්වන කුඩා නිවාස වේ. මේවායේ එක් කාමරයක් හෝ වැඩිම දෙකක් ඇත. එහි කුඩා පුටු කිහිපයක් සමඟ කුඩා මේසයකට පමණක් ඉඩ ඇත. බොහෝ විට ඉවුම් පිහුම් කරන්නේ නිවසෙන් පිටතය. අමුත්තෙකු නිවසට ආ විට ඔහුට මුලින්ම වාඩිවීමට සැලැස්වීම සිරිතය.  පුටු කබලක් නැතිවූ විට ගඩොල් කැට දෙකක් හෝ ගල් දෙකක් තබා ඒ මත ලෑලි කැබැල්ලක් තබා පිරිසිදු රෙදි කැබැල්ලක් එලා වාඩි වීමට සලස්වනු ලැබේ.  ඉන් පසුව දන නමා ආචාර කර සුවදුක් විමසීම සිදුකරයි.  සෑම කෙනෙක් ගෙන්ම අසන මුල්ම ප්‍රශ්ණය ඔබේ සුවදුක් කෙසේද?” යන්නය. ඒ අනුව පිළිතුරු ලැබේ. මුහුනේ සිනහව සෑම කෙනෙක් තුලම දක්නට ඇත. විලාශය රෞද්ද්‍ර වුවද බොහෝ දෙනෙක් ඉතා අහිංසක සරල මිනිසුන් වෙති. යටහත් පහත් කම සියළු වැඩි හිටියෙකුටම දක්වනු ලැබේ. දන නමා යටහත් පහත්ව ආචාර කිරීම සැමගේම සිරිතයි. කිසිවිටෙක වැඩිහිටියෙකු සමඟ එකට හිට ගෙන කතා කරනු නොලැබේ. ආචාර කිරීම සිදුවන්නේ පලමුව දන නමා ඔහු ඉදිරිපිට වාඩිවී වම් අත වැළමිට ලඟට නවා දකුණතේ වැලමිට ලඟින් අල්වා ගෙන දකුණත වැඩිහිටියාට දිගු කරනු ලැබේ. එ විට වැඩිහිටි අය සිනාමුසුව අතට අත දී ඔහුට ද සුබ පතනු ලැබේ. සෑම දෙනෙක්ම හඳුනනා, නොහඳුනනා  සියලු දෙනාම පිළිගන්නේ එකම ආකාරයකට සිනාමුසු මුහුණෙනි.



අප මේ වනවිට ජීවත් වූයේ එකල ටවුන්ශිප් නමින් හැඳින් වූ කුඩා ගම්මානයකය. බොහෝ විට උදය වරුවේ අප තිදෙනාම නිවසින් පිටවී සවස් වූ විට නිවසට පැමිණෙන්නෙමු.  සවස් යාමයේ සැම නිවෙසකම සුපුරුදු පරිදි කෑම පිලියෙල කිරීම සිදුවන වේලාව එන විට ෂීමා තැම්බෙන සුවඳින් හා රැලිෂ් ඉදෙන සුවඳින් පරිසරයම පිරී යයි. අප අසල් වැසි නිවසක දරුවන් ගේ කෑකෝ ගැසීම් ද හැරුනු විට ඉදහිට බීගත් කෙනෙක් ගේ පම්පෝරි කතාවන් ද පරිසරයේ සාමය බිඳ දමයි.  එකිනෙකට සමීපව පැවති නිවෙස්වල කතා බහ ද විටෙක අපට කරදරකාරී වන්නේ අප තිදෙනා අපගේ ලෝක වල ජීවත්වන බැවිනි.  මගේ පියාණන් වැඩිපුර කතාබහක් නොකලද මගේ මව සමඟ සුහදව දිවිගෙවන සාමකාමී බව අගයන කෙනෙක් විය. අම්මා නම් අහල පහල කිහිප දෙනෙක් සමඟ සුහදව වාසයකල බව කිව යුතුය. කෙනෙක් ගේ අඩුපාඩුවක දී පිහිට වීම හොඳ සිරිතක් බව නිතර කියූ ඈ සෑම විටම උපකාර කිරීමට සැදී පැහැදී සිටියාය. ම'පියා කිසි විටෙකත් තැබෑරුමට යනු මා දැක නැත. නමුත් සාදයකදී හෝ අවමඟුලකදී බීර ස්වල්පයක් කටගානු දැක තිබේ.  


අප සැවොම එක්ව සවස් කාලයන්හි එකතුවන තැනක් ඇත. එය ඇත්තෙන්ම තැබෑරුමකට වඩා ක්ලබ් හවුස් නොහොත් සමාජ විවේකාගාරයයි. ගැහැනු පිරිමි මෙන්ම සමහරු ළමයින් ද කැටුව මෙහි රැස් වෙති. එකිනෙකාගේ ඕපා දුප මෙන්ම දවසේ සිදුවන රසවත් තොරතුරු මෙහිදී එකිනෙකා විසින් කියවති . සැදෑ කාලය වෙහෙසවන මනසට විවේකයක් ලබා දෙන්නේ මේ වේලාවේ බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙහිදී පිරිමින් මෙන්ම ගැහැනු ද වටවී බීර බොති. නොබොන අය කෝලා හෝ සෝඩා හෝ වෙනත් බීමක් බොමින් කල් ගෙවති. මගේ මවත් පියාත් බොහෝ විට කල් ගෙවුවේ මෙවන් බීම වර්ගයක් තොලගාමිනි.





වැඩපල වල් වල සිදුවූ රසවත් තොරතුරු ද අසල් වාසින් ගේ ඕපා දූපයන් ද, තවත් පාරේ වෙසෙන ගැහැනුන්ගේ තොරතුරු ද රසකර කියමින් මහ හඬින් හිනා වෙමින් බීර තොල ගාති. මුහුණේ වලවල් හෑරුණු වයසක සමහරු සුරුට්ටු උරමින් දුම් බෝල අහසේ පා කරති.  මැදි වයසේ ඉන්නා අය හා තරුන කොල්ලන් මිල අධික රට සිගරට් වලලු පාකරති .  ඒවායින් පිටවන ගඳ මුසුවූ  වාතයෙන් වට පිටාව පිරී යයි.  මේ අතර බැදගත් මාළු හෝ බැද ගත් විශාල මෙරුවන්, කුකුළ් මස්, හෝ හරක් මස් හෝ අල පෙති කමින් කාලය ගෙවති. ඉදහිට කෙනෙක්, දෙන්නෙක් අගර දගර පාමින් ඇඟ දැවටෙමින් එතෙමින් එන ගැහැණියක රැගෙන එති. ඈ වටා රොක් වන ඔවුන් උසුළු විසිළු කියමින් ඈව අවුස්සති. මහ හඬින් බැන වැදෙන ඈ සරාගී නෙතින් තමා රැගෙන ආ මිනිසා සමඟ පැද්දෙමින් ආපසු යන්නේ හොද හැටි පදමට වෙරි මතිනි.



ඔවුන් බොන බීර වර්ග කිහිපයකි. වඩාත් ප්‍රචලිත  මෝසි ලගා නම් වර්ගයයි. අනෙක් වර්ගය රයිනෝ බීරය. චිබුකු තවත් වර්ගයකි. එය ගම්බදව පෙරනු ලබන බීර වර්ගයකි. චිනිකා , චිපොලොපොලෝ, කචූෂු,  මුකන්ගො වැනි බීර වර්ග ද හොර රහසේ පෙරනු ලබන බීර වර්ග වේ. මේවා සඳහා ඉල්ලුම වැඩි වන්නේ මේවා ඇත්තෙන්ම ලාබෙට විකුණනු ලබන බැවිනි.  ස්වභාවයෙන්ම පලල් වූ නිතඹක් හැම ගැහැනියකටම ඇත. ඔවුන් කොට ගවුම් ඇඳ ඊට උඩින් දෙකකුල් වැසෙන සේ වර්ණවත් රෙද්දක් අඳිනු ලැබේ. මෙයට චිටෙන්ගිය යැයි කියනු ලැබේ. මගේ අම්මා මා කුඩාකල පිටේ බැඳ ගෙන ගියේ මෙවන් වූ චිටෙන්ගියකිනි.  අපි ළමුන් එක්වී පාපන්දු හෝ වෙනත් ක්‍රීඩාවක නිරත වෙන්නෙමු. වෙනත් වෙනත් භාෂා කතා කලද සැමට පොදු වූ ඉංග්‍රීසි වචන කලවම් වූ භාෂා විලාසය කෙනෙකුට ඉක්මනින්ම වටහා ගත හැක.

අප නිවෙස් හතරස් හැඩති එක්ව පිහිටා ඇති ටකරන් වහල ඇති කුඩා නිවාස වේ. එක් කාමරයක් හෝ දෙකක් බොහෝ විට ඇත. නමුත් සැවොම මෙහි සාමයෙන් වෙසෙති. ජල පහසුකම් හා වැසිකිළි පහසුකම් ද අපට තිබුනි. ඒ සඳහා කවුන්සිලය මගින් සුළු මුදලක් අය කෙරේ. පරිසරය මෙසේ වුවද අපි නිවෙස තුල සතුටින් ගත කළෙමු. මගේ පියාණන් කිසිම විටෙක මාගේ මවට දොස් පරොස් තබනු මා අසා නැත. දෙදෙනාම එකතු වී කතා බස් කරමින් ප්‍රශ්ණ විසදා ගත් බව දන්නෙමි.


හත් වන ශ්‍රේණියේ කඩඉම් ලකුණු ලැබීමෙන් පසුව මට ද ඉහල පාසැලකට යාමේ වාසනාව උදාවිය. මගේ අළුත් පාසැල වන්නේ කම්වාලා ද්විතීයික පාසැලයි. එය කම්වාලා ප්‍රදේශයේ පිහිටි බැවින් ඒ නම ලැබී ඇත. ඉතා කලබල කාරී ප්‍රදේශයක පිහිටිය ද පාසැල ඇතුලත ඉතා නිස්කලංක පරිසරයක් ඇති මෙම පාසැලට මා ඇතුලත් වීමම මගේ භාග්‍යයක් සේ මම අදත් සළකමි. 

මැයි මල් , වැටි මාර ගස් වලින් වටවූ එහි රබරෝසියා තන්බර්ජියා හා මලින් පිරීගිය නේක වර්ණ බෝගන්විලා පාසැල තුල දෙව්ලොවක සිරි මැවීය. අප පාසැලේ නොයෙක් ජාතීන් ගේ දරුවන් ඉතා සමඟියෙන් ඉගෙනුම ලැබීය. වැඩි දෙනෙකු සැම්බියානුවන් වූ අතර ඉන්දියානු,   යුරෝපීයයන් හා ශ්‍රී ලාංකික දරුවන් ද මේ අතර විය. අප භාවිතා කල භාෂාව සැමට පොදු වූ ඉංග්‍රීසි භාෂාවයි. මගේ පලමු මාස දෙක පාසැලට පුරුදු වීම සඳහා ගත වුණි. පන්ති භාර ගුරුවරිය වූයේ ජෙසිකා මුවාලේ මහත්මියයි.  වයසින් අවුරුදු හතලිස් පහක පමණ වූ ඇය ඉතා කරුණාවන්ත නීති ගරුක මහත්මියකි. පාසලට පැමිණි මුල්ම දිනෙයේදීම නීතියට ගරු කිරීමේ මුල්ම පාඩම ඇය මට කියා දුන්නාය. එදින වාහන තදබදයකට හසුවී මා පැමිණෙන විට විනාඩි කිහිපයක් ප්‍රමාද වී තිබුණි. පලමු පාඩම් වාර දෙක සඳහා මට පන්තියේ සිටීමට අවසර නොලැබුණි. ඒ වෙනුවට කට්ට අවුවේ අනෙක් අයගේ උසුලු විසුලු මැද දන ගසා සිටීමට සිදුවිය. මෙයින් මහත් කම්පාවටත් ලැජ්ජාවටත් පත්වූ නමුත් ජීවිතයේ වටිනාම පාඩම මම උගත්තෙමි. ඉන් පසුව ජීවිතයේ කිසිම අවස්ථාවක කිසිම වැඩකට මම පමාද නොවුනෙමි. ඇය ද එය ක්‍රියාවෙන්ම පෙන්වූ උතුම් ගුරුවරියකි. උදෑසන බොහෝ වෙලාවට මා පාසැලට පැමිණෙන විට ඇය විවේකාගාරයේ තම සටහන් වැඩ කටයුතු වල යෙදෙනු දක්නට ලැබුණි.


කාලය මෙසේ ගෙවී යත් දී එක්තරා සුන්දර උදෑසනක සුරලොවින් ආ දෙවඟනක් ලෙස යුවතියක් අප පන්තියට පැමිණියාය. ඉන්දියානු සම්භවයක් ඇත්තියක සේ පෙනීගිය ඇය වාඩි ගත්තේ මා අසලින්මය.  මම මොහොතකට ඇය දෙස බැලුවෙමි. මදක් ලැජ්ජාවෙන් මා හා සිනාසුන ඇය බියපත් දෑසින් මේ නුහුරු පරිසරය හඳුනා ගැනීමට තැත් කරමින් සිටියාය. රන්වන් වූ ඈ වත කමල නිල්වන් දෙනෙත් හා තද කලු පහැති කෙස් නිසා වඩා ඔපවත් විය. මෙතෙක් මා ජීවිතයේ දී දුටු සුන්දරම යුවතිය ඇය විය. පසුව ඇගේ නම මලීෂා බවත් ඈ ශ්‍රී ලාංකික යුවතියක බවත් දැන ගත්තෙමි.  මගේ මිතුරු මිතුරියන් ඇය ඉන්දියානු යැයි සිතා එතරම් කැමැත්තක් නොදැක්වීය. නමුත් සසර ගත පුරුද්දකට දෝ ඇයට මම බෙහෙවින්ම ඇළුම් කලෙමි. පන්තියේ ලමුන් නිතරම ඇයට ඉන්දියන් කෙල්ල යන තේරුම ඇති මුවෙන්ඥෙ යන නමින් විසුලු කරනු ලැබීය. නමුත් ඈ එය ඉවසා සියලු දෙනා සමඟම සුහදව සිටිනු දක්නට ලැබුණි. මගේ සොයුරිය නැති පාළුව නිසාද ඇගේ ආශ්‍රය මම නිතරම පතන්නට පුරුදු වුනෙමි.  වසර ගනනාවක් යන තෙක්ම මගේ හොඳම මිතුරිය වූ යේ ඇයයි. මේ කාලය මගේ ජීවිතයේ රසවත්ම කාලය බව මම ඔබට කියමි. අදටත් ඒ කාලය මා සිහි කරන්නේ මහත් සොම්නසිනි. මගේ පුතුට මේ දේවල් පවසත්දී ද මගේ නෙතට කඳුලක් එක් වෙයි. ඒ අතීතය මා අද විඳගන්නේ සතුට පිරි සොම්නසිනි.



6 comments:

Ravi said...

/ ඉන්දියානු සම්භවයක් අති ඇය වාඩිගත්තේ මා අසලින්මය. /

මලීෂා ශ්‍රී ලාන්කික නම් මේ වාක්‍යය වැරදියි නේද චාන්දි? මට හිතෙන්නෙ ඔයාට කියන්ට උවමනා කලේ මෙහෙම වෙන්න ඕන.

" ඉන්දියානු සම්භවයක් ඇත්තියකසේ පෙනීගිය ඇය වාඩිගත්තේ මා අසලින්මය. "

කතාව බොහොම අපූරුයි. ඔබ වගෙ අප්‍රිකාවෙ අත්දැකීම් ඇත්තියක අතින් ලියවෙන කතාවක් කියවන්න ලැබෙන එකත් වාසනාවක්

Chandi said...

ස්තූතියි! රවි. ඇත්තටම කියන්න ඕනෙ උනේ ඒක තමයි. ඔබ කොහේ හිටියත් කවුරු උනත් සහෝදරකමින් මේ වැරදි පෙන්වා දීම අගයනවා සොයුර. එහේ ඉන්න අය නිතරම අප දැක්කාම හිතන්නේ එහෙම යි. ඉන්දියන් කියලාම තමා. ඒ නිසා හිරිහැරයට පත්වූ අවස්ථාත් එමටයි එක් කාලයක දී. මම එය හදන්ම් රවි. බොහෝම ස්තුතියි!

ඉවාන් පවුලූශා said...

මේ කතාව ලියන්න හිතුනේ කොහොමද කියලා දැනගන්න වටිනවා

Chandi said...

@ ඉවාන් පවුලූශා,
අපි කාලයක් ජීවත් වුන සුන්දර රට. මගේ මහත්තයා හමුවූ රට. අපි දෙන්නාගේ විවාහය සිදුවූ රට. මගේ දරුවන් තිදෙනාගේ උපන් රට. ඒ වාගෙම මගෙ ජීවිතේ වැඩි කාලයක් මා ගත කලේ එහි. මේ හැම දෙයක්ම නිසා මනසින් බොහෝවිට මා එහි ගැවසෙනවා. මගෙ දරුවන් තිදෙනා පොඩි කාලෙ බලා ගත් අය, මගෙ පන්තියේ යහළුවන්, අපේ තාත්තාගෙ යහලුවන් ගැන නිතරම අපි හිතනවා. ඒ කාලෙ අපේ ජීවිතවල සුන්දරම කාලෙ. අපි රටවල් ගනන් පහු කරල සංචාර ගිය රට. මේ හැම දෙයක්ම මේ දේට පිටිවහලක් වෙන්න ඇති කියල මට හිතෙනවා. ස්තූතියි! අදහස් දැක්වූවාට සොයුර.

කුරුටු ගෑ ගී පවුර said...

සුන්දරයි වගේ ම ඒ සමාජය ගැන හිතන්නත් ගොඩක් දේවල් තියෙනවා

Chandi said...

@ කුරුටු ගෑ ගී පවුර,
ඇත්තෙන්ම ඔව්. අපි ලංකාවෙ අය හිතාගෙන ඉන්න විදිහ හරි වැරදියි. කාපිරි අය උනාට එයාලගෙ හොඳ ගතිගුණ අනන්තයි. සේවකයන් තම ස්වාමියාට උපරිමෙන්ම ගරු කරනවා. වැඩිහිටියන්ට උපරිමෙන්ම ගරු කරනවා. තව ගොඩාක් මම දැක්ක හොඳ ගති ඒ අය තුල තිබෙනවා. ස්තූතියි! අදහස් බෙදා ගත්තාට.

Post a Comment