Saturday, October 3, 2015

ආදරනීය මලීෂා. 1







මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත්, සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි

ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත. ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි. මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්‍රිකානු රටට යායුතු වේ.

මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය.

දිනක් මගේ සීයා මෙම විල්තෙරෙහි ගීයක් ගයමින් සිට ඇත. ඔහු අත තිබී ඇත්තේ  අත් පියානෝව හා කුඩා බෙරයක් පමණි. මේ ඉන්දියානු ජාතිකයා ඔහු වෙතට පැමිණ තව ගීයක් ගයන ලෙස කාරුණිකව ඉල්ලා ඇත. එම කාරුණික ඉල්ලීම උදෙසා මනරම් ගීයක් ගයමින් පටෙල් මහතා සතුටු කරන්නට සීයාට හැකිවී ඇත. ඉතාමත් සතුටට පත්වූ පටෙල් මහතා ලුසාකා නගරයේ තිබෙන ඔහුගේ විශාල සාප්පු සංකීරනයේ වැඩට සහය වීමට සීයාට ආරාධනා කර තිබේ. එම ආරාධනාව මහත් ආදරයෙන් පිළිගත් සීයා ඊට සති කිහිපයකට පසුව නගරයට පැමිණ තිබේ.

ලුසාකාව සැම්බියාවේ අගනුවරයි. මෙම නගරය ඉතා දැකුම්කළු කුඩා නගරයකි. මෙහි වැඩි හරියක් වෙසෙන්නේ අප්‍රිකානු ජාතිකයන්ය. යුරෝපීයයන් හා ඉන්දියානුවන් ද සෑහෙන ප්‍රමාණයක් ද මෙහි ජීවත් වෙති.

මේ කාලයේ ඔවුන් ඉතා සුහදව සාමකාමීව ජීවත් වී ඇත. නගරයට පැමිනි මගේ සීයාව ඉතාම ආදරයෙන් පිළිගත් පටේල් මහතා එම විශාල සාප්පුවේම පැත්තක නවාතන් පිලියෙල කොට සීයගෙන් සිදුවිය යුතු කාර්යයන් විස්තර කොට නවාතැන් දී ඇත.  ඇසක් අන්ධ ඔහුට දැකිවූ කරුණාව හේතුවෙන් සීයා මියැදෙන මොහොත දක්වාම පටේල් මහතාට යටහත් පහත්ව සේවය කර ඇත.

දවසේ මුල් භාගය පිරිසිදු කිරීම වලටත් භාණ්ඩ නිසියාකාරව තැබීමටත් වෙන්විය. සවස් වරුවේ යන එන අයගේ ගමන් මළු වලට භාණ්ඩ දැමීමත්, අපිරිසිදුවන සාප්පුව නිතර ඇමදීමත් සීයාගේ දෛනික දින චරියාව වී ඇත. සන්ධ්‍යාවේ අත් පියානෝව වයමින් ගීත ගයමින් පාරේ යන එන්නන් සතුටු කිරීම සීයාගේ සිරිත වී ඇත. මග යන එන්නන් මොහොතක් නතරවී සීයාගේ මියුරු සංගීතයට සවන් දීම ඒ දිනවල දැකිය හැකිව තිබුණි. මෙම සංගීත සැඳෑවෝ අවුරුදු ගනනාවක්ම එලෙසම පැවතී ඇත.




 දිනක් මේ සංගීත සැඳෑව නිමා වෙමින් පවතිත්දී කුඩා යුවතියක් සීයා හමුවට පැමිණ නගරයේ යම් කිසි ස්ථනයකට යාහැකි පහසුම ක්‍රමය විමසා ඇත. ඒ අවස්ථාවේ දී වැඩි තැකීමක් නොකලද, පසු කාලයකදී මගේ ආච්චි  අම්මා වන්නේ මේ යුවතියයි. ඔහු ස්වේච්ඡාවෙන්ම ඇයව එම ස්ථානයට ගෙන ගොස් ඇරලවා තිබේ. සීයාට ස්තූතිය දැක්වූ මේ සුන්දර යුවතිය එම නිවස තුලට ගොස් තිබේ. ටික වේලාවකින් සීයා ද තම නවාතැනට පැමිණ ඇත.

සති කිහිපයකට පසුව මගේ ආච්චි අම්මා වූ ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ සීයා සේවය කල සාප්පු සංකීරනයට පැමින තිබේ. ලුසාකා අගනුවර පිහිටි මෙම සාප්පු සංකීර්නය හැඳින්වූයේ ලිම්බාඩා නමිනි. එහි ඉතා වටිනා රෙදිපිළි ද, සුවඳ විළවුන් වර්ග ද, නොයෙකුත් තෑගි භාන්ඩ හා ගෘහ  උපකරණ රාශියක් ද විකිණීමට තබා තිබේ. ඇය දුටු විගසම ඈ හඳුනා ගෙන සීයා සමඟ කතා බහ කර තිබේ. ඇය මෙම නගරයට පැමිණ ඇත්තේ තඹ ආකර පිහිටා ඇති ප්‍රදේශයෙනි. ඇය ගේ නම මාර්තා නම් විය. මගේ සීයා ලුවාලේ ගෝත්‍රිකයෙකි. ආච්චි අම්මා බෙම්බා නම් වූ ගෝත්‍රයට අයත් ය. ඔවුනොවුන් මෙසේ හඳුනා ගැනීමෙන් පසුව දෙදෙනාම ටික කාලයක් ආශ්‍රය කර ඇත. ආච්චි අම්මා සේවය කල ශ්‍රී ලාංකික පවුල ඉතා කරුණාවන්ත පවුලක් විය.

දෙදෙනා ගේ ආශ්‍රයෙන් දෙවසරක් පිරුන පසුව පටෙල් මහතා විසින් සීයාට විවාහ වීමට අවසර දී තිබේ. මගේ ආච්චි අම්මා සීයාට බෙහෙවින් ආදරය කර ඇත. එය පළමු දැකීමෙන්ම ඇතිවූ ආදරයකි. එක ඇසක් ඇති සීයා සමඟ විවාහයට මුළින්ම ආච්චි අම්මාගේ පවුලේ උදවිය අවසර දී නොමැත. ඔවුන් අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සීයාගේ ආබාධිත තත්වය හා සීයා පවුලෙන් වෙන්වී නගරයේ ජීවත් වීම නිසාවෙනි.  සැම්බියාවේ සංස්කෘතියට අනුව ලොබෝලා නම් වූ දෑවැද්දක් පිරිමියා විසින් ගැහැනියට දෙනු ලැබේ. මෙය බොහෝවිට හරකෙකු හෝ එළුපට්ටියක් හෝ කුකුළ් කොටුවක් වේ. මෙය මෙසේ දෙනු ලබන්නේ ගැහැනියගේ සේවය එම පවුලට අහිමි වීම නිමිත්තෙනි. සීයා සඳහා මෙම දෑවැද්ද සපයා දී ඇත්තේ ද පටෙල් මහතා විසිනි.

මුළින්ම ආච්චි අම්මා ඇයගේ ගමට ගොස් තම දෙමාපිය ආශිර්වාදය ලබා ගෙන ඇත. අකමැත්තෙන් වුවද ඇයගේ පියා මේ විවාහය සඳහා ආශිර්වාදය ලබා දී ඇත. විවාහට දින නියම කර ඇත්තේ ද ලොකු සීයා විසිනි. මෙහිදී කුස්සියේ උත්සවය හෙවත් කිචන් පාටි නම් උත්සවයක් පවත්වනු ලැබ ඇත.  මෙම උත්සවය එම රටේ ගැහැනුන් සඳහාම විශේෂිත වූ උත්සවයකි. පිරිමින් කිසිවිටකත් මේ සඳහා සහභාගී නොවේ.

මෙම අවස්ථාව ඔවුන් යොදා ගන්නේ විවාහ වන කාන්තාවට ගෙදර දොර වැඩ කටයුතු පුහුණු කිරීමටත්, තම ස්වාමිපුරුෂයා හා හැසිරිය යුතු අන්දම හා චාරිත්‍ර මනාළියට පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහාය. වැඩිහිටි කාන්තාවන් මනාලියට අවවාද අනුශාසනා කර විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළුම දෑ මෙහිදී ඉගැන්වේ.

ඉන්පසුව විවාහයට පෙර දින ඇයව සීයාගේ ගම්පලාත වන කසාබා බේ වෙත රැගෙන ගොස් ඇත. එදින ඇයට ආහාර පිලියෙල කිරීම තහනම් විය. පසු දිනට අවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක් නොයෙක් වර්ග වලින් සාදන ලදී. බීම සඳහා ගමේ පිරිමින් විසින් ශාකයකින් ලබාගන්නා මත්වන චිබූකු නම්වූ සැර බීමක්ද, බීර විශාල ප්‍රමාණයක් ද ගෙනෙන ලදී. මුළු ගමම විවාහයකදී නටමින් ගයමින් විනෝද වේ. මේ සඳහා බෙර මහ හඬින් වයමින්, ගෝත්‍රයට ආවේනික ගීත ගයමින් සතුටු වෙති. 

සතුට, විනෝදය ගම පුරා පැතිර ගිය මේ උත් සවය මේ දුප්පත් ගම් වාසීන්ට ඉමහත් ප්‍රීතියක් ලබා දුන් බව කිව යුතුමය. පුරා දින තුනක් පැවති මෙම උත්සවයෙන් අනතුරුව ආච්චි අම්මාට ආහාර පිසීමේ දිනය උදාවිය. ඈට අවශ්‍යය වළන් හා ගින්දර ඇයගේ නැදි මයිළනුවන් විසින් හඳුන්වා දෙන ලදී. ඒ මොහොතේ පටන් ඇයට මුළුතැන්ගෙය තුලට පැමිණීමට අවසර ලැබිණ. මේ මොහොත ඔවුන් දෙදෙනාටම ඉතාම සුන්දර අවස්ථාවක් විය.

සති දෙකක් ගමේ සුන්දරත්වය විඳි ඔවුන් පටේල් මහතා විසින් සීයාට ලබා දුන් කුඩා නිවසක පදිංචියට යළිත් ලුසාකා නගරයට පැමිණ තිබේ.  මංගල උත්සවය සඳහා විය පැහැදම් දෙදෙනාගේම හාම් පුතුන් විසින් දරනු ලැබීය. එයින් දින කීපයකට පසුව දෙදෙනාම සේවයට වාර්තා කලහ. 



දෙදෙනාගේම සමඟිය නිසා විවාහ දිවිය ඉතාම සාර්ථක විවාහ දිවියක් විය. දෙදෙනාම එක ලෙස මහන්සියෙන් වැඩ කරමින් මගේ පියාගේත් ජෙසී නැන්දාගේත් කුඩාකල ජීවිත සතුටින් ගත කිරීමට අවශ්‍යය පසු බිම සකසා ඇත.


මගේ පියා ඉපදී ඇත්තේ ඔවුන්ගේ විවාහයෙන් වසර දෙකහමාරකට පසුවය. මගේ පියාණන් නමින් චිලේෂි බන්ඩා නම් වේ. ඔහුට මාස දෙක පිරුන දා පටන් ඔහුවත් පිටේ බැඳගෙන ආච්චි අම්මා රැකියාව සඳහා ගොස් තිබේ. ඉතා කරුණාවන්තවූ ඇගේ ස්වාමිදියණිය ඇයට රිසි පරිදි රැකියාව කරගෙන යාමට අවසර දී ඇත. මගේ පියාගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය ගෙවුනේ මවගේ පහස ලබමින් ඇගේ උර මත රැඳි රෙදි උරය මතය. වැඩ කරන අතරතුර ඈ ගැයූ මිහිරි ගීත පසු කාලයකදී මට ද අසන්නට ලැබුනි. සන්ධ්‍යාවේ සීයා වැඩ නිමාවී ආච්චි අම්මාත් සමඟ සිය නිවසට පැමිණීම  ඔහුගේ සිරිත විය.


මෙලෙස ඔවුන්ගේ ජීවිත ඉතා දුකසේ නමුත් සාමයෙන් සතුටින් ගෙවී ගොස් ඇත.  මගේ පියා කුඩාකල ඉතා හොඳ දරුවෙකු වූ බව ආච්චි අම්මා නිතර පැවසූ බව කියනු ලැබේ. තෙවසරකට පසුව පවුලේ එකම ගැහැණු දරුවා වූ ජෙසී නැන්දා ඉපදී තිබේ.  ජෙසී නැන්දා කුඩා කල ඉතා දඟකාරියක වූ බව මගේ පියා මට පැවසූ බව මතකයේ ඇත. ඔවුන් කුඩා කල ඉතා සමගියෙන් හා කෙළිදෙලෙන් විසූ බව කියැවේ. ඔවුන් ගේ වාසය අගනුවර වූ ලුසාකාව වුවුද ඔවුන් ගේ සීයාගේ උපන් ගම වූ කසාබා බේ ප්‍රදේශය ගැන විසිතුරු නිතරම සීයා විසින් පවසන්නට යෙදුනු බව සුන්දර මතකයක්ව මගේ පියාගේ ලමා කාලයේ මතක ගබඩාවේ තිබී ඇත. තම පුතුට වයස අවුරුදු හතක් වූ කල තම උපන්ගමට යාමට කාලය යැයි සීයා විසින් තීරණය කෙරිණ. එම දිගු ගමනට සියල්ලන්ම ලක ලැහැස්ති වූයේ දින ගනනාවක සිටය. එම දිය උදාවන තෙක් සීයා සහ ආච්චි අම්මා නොඉවසිල්ලෙන් පසු වූ බව පවසා ඇත. තම දෙමාපියන් කලකට පසුව දැකීමේ ප්‍රීතියෙන් සීයා පසු වූ බව කියැවේ. 

https://chandigesithuviliuyana.wordpress.com/2015/10/16/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%93%E0%B6%BA-%E0%B6%B8%E0%B6%BD%E0%B7%93%E0%B7%82%E0%B7%8F-1/

13 comments:

Ravi said...

/ තෙවසරකට පසු පවුලේ එකම දරුවා වූ ජෙසී නැන්දා ඉපදී තිබේ. /

" තෙවසරකට පසු පවුලේ එකම ගැහැණු දරුවා වූ ජෙසී නැන්දා ඉපදී තිබේ. " වෙන්න ඕන නේද?

හරිම ලස්සනයි . ලැසි ගමනේ ගඟුලක් ගලනව වගෙ කතාව ගලා යන්නෙ..අපූරුයි චාන්දි...:)

Chandi said...

බොහොමත්ම ස්තූතියි! Ravi. ඔන්න වැරැද්ද හැදුවා. අගැයීමටත් තුති පුදමි.

Dr Ruwan M Jayatunge said...

Excellent narration, Pl do continue I read with utmost pleasure

Chandi said...

Thank You dear Dr. It’s a privilege that you have read this & comment. Sure will continue.

Chandi said...
This comment has been removed by the author.
සැබෑ ලිංගික නිදහස said...

අදයි බ්ලොග් එක බැලුවේ. හොඳ කරුනු ටිකක් එකතු කරගත්තා. ස්තුතියි ලිපියට.

Chandi said...

@ සැ ලි නිදහස;
ස්තූතියි! කියෙව්වාට.

ගල්මල්-Coral said...

මේ කතව කියවාගෙන යද්දි හිතේ සිත්තම් වෙන අප්‍රිකානු පරිසරය බොහෝම සුන්දරයි. 70 දශකයේ ඒ පරිසරයේ නොකැලල් සොබාව සුන්දරත්වය මතුකරන ඔබේ රචනා විලාසය හා කතාවේ ගැලීම ගොඩාක් සිත්ගත්තා. ලස්සන කතා පෙලක් රසවිඳින්න අපිට පුළුවන් වේවි.

සුබ පැතුම් අක්කේ!

Ian said...

රවී නිදහස් සිතුවිලි එකේ දාපු ලින්ක් එකකින් පාර හොයාගත්තේ. ඉතම ලස්සන විදිහට කථාව ලියලා තියෙනවා.

Anonymous said...

සමාවෙන්න. පුංචි පැනයක් අසන්නට අවසර.....

මෙය ඔබගේ ජිවිත කථාවද ? එසේත් නොමැතිනම් කෙටි කථාවක්ද?

ලිපිය ඉතාමත්ම ආසාවෙන් කියවූයෙමි. ඔබට බෙහෙවින්ම ස්තුතියි.

Chandi said...

@ ගල්මල් - Coral ,
බොහොම ස්තූතියි! මල්ලි, ඔයා දැනට අවුරුදු පහකට පෙර මේ බ්ලොග් එක හදන්න උදව් නොකලා නම් අද මම මෙතන නෑ. ඒ වෙනුවෙන් මගේ හද පතුලෙන්ම නැගෙන ස්තූතිය!. ලඟකදී පොඩ්ඩිගේ සටහනක් කියවත්දීයි මමත් දන්නෙ දැන් වසර පහක් තිස්සෙ මාත් මේක ලියන බව. ඒ ගැන නිරාමිස සතුටක් හිතේ තියෙන්නෙ. මල්ලි, ඔයාලා මේක කියවලා දුන්න දිරියෙන්ම තමා මේ දුර ආවෙ. මේ කතා පෙල ඔබව මාව යලිත් ඒ නොකැලැල් සුන්දරත්වයට වගේම සුන්දර මිනිසුන් වෙත ගෙනයාවි. වැරදි ඇතොත් මට කියාදෙන්න කියන අහිංසක ඉල්ලීමෙන් නවතිමි.

Chandi said...

@ Ian;
බොහොම ස්තූතියි! ඉයන්. සාදරෙන් පිලිගන්නවා ඔබව .

Chandi said...

@ Anonymous;
ස්තූතියි! ඔබටත්. සාදරෙන් මේ අඩවියට පිලිගන්නවා සෙනෙහසින්ම. මේ මගේ කතාව වගේම ඒ කාලෙ අපිත් එක්ක ජීවත් වෙච්ච හැමෝගෙම කතාව වේවි. කෙටි කතාවක් නම් නෙමෙයි. මහ දිග කතාවක්. මට මෙය ඉවර කරන්නට ලැබුනොත් ඒ ඇති.

Post a Comment