ආදරණීය මලීෂා - 8 වන කොටස.






වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්‍රිකානු වෙකුගේ හදවතේ තමන් අප්‍රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක්  ඇතියවුන් ලෙස අප්‍රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය .



ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි .

"ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය .
මද වේලාවක් අපි ඒ අසල රැදී සිටියෙමු . ඒ සියලුම දෙනා එහා මෙහා යමින් කොල  අතු  කඩා දමමින් අප පැමිණි මාර්ගය මඟ හරිමින් වනය තුලට ගමන් ගත්හ.
එලිමහනක තණ තීරයකට අපි පැමිණියෙමු . ඈතින් විශාල ගසක් දෙකක් දිස්වේ. අතරින් පතර කුඩා කටු සහිත නිඳිකුම්බා කුලයේ පඳුරු මත රෝස පැහැති මල් පිරී තිබිණ. කහ පැහැති කුඩා සමණලුන් ඒ මේ අත පියඹා යති. චූටි බටිත්තන් උඩ පැන පැන නටති. ඒ අතර ඇන්ටිලොප් රංචුවක් තණකොළ කති. අතරින් පතර කුඩු නම් වූ තරමක්  විශාල මුවන් කීප දෙනෙක් වෙති . හදිසියේම සිංහ ධේනුවක් හා පැටවුන් තිදෙනෙකු ගල් තලාවක් මත වැතිර සිටිනු දුටුවෙමු . පැටවුන් එහෙට මෙහෙට මවගේ ඇඟ මත පනිමින් හුරතල් වනු දැක්කෙමු. ඊට මදක් ඈතින් කම්මැලි ලෙස හිස ඔසවා විමසිල්ලෙන් බලන විශාල  සිංහයෙකු විය. හොඳින් වැඩී සිටි ඔහු අපේ වාහනය දෙස නෙත් යොමා සිටිනු දුටුවෙමු . මලීෂා ගේ කැමරාවේ මේ සියලුම දර්ශන දර්ශනීය ලෙස සටහන් වීය. මට ඇත්තේ මතකයක් ම පමණි . ඈ අසලින්ම වාඩිවී සිටි මා හට ඇගේ උණුසුම දැණුනි. විටෙන් විට ඈ කුමක් හෝ කියමින් මා හා දොඩමළු වෙයි. කීප විටක් ඇගේ අතින් මා අත තදකර විමතියෙන් මේ මනස්කාන්ත දර්ශන නැරඹීමෙන් ඈ සතුටු වූ බව දුටුවෙමි .



දහවල ගෙවී සැන්දෑව ලඟා වෙත්දී අපුරු දර්ශන නරඹා අපි වනතීරයෙන් එළියට ආවෙමු . කළින්ම සැලසුම් කල ලෙස දිවා ආහාරය පික්නික් පෙට්ටි වල දමා බීම බෝතලයක් සමග අපිට ලැබුණි . එක් ස්ථානයකට රොක් වී විහිළු තහළු කරමින් ඒවා අනුභව කලෙමු . සීත පෙට්ටියක බහා ගෙනා අයිස්ක්‍රීම් පොප්සිකල්ස් අපිට ලැබුණි. මද වෙහෙසක් දැනුන'මුත් අපි සන්ධ්‍යාවේ සැම්බීසි ගංතෙර ගත කිරීමට තීරණය කලෙමු . හිපපොටේමස් හා කිඹුලන් ගෙන් ගහණ මේ ගංතෙර හිරු බැසයන විට මනස්කාන්ත රටා මවයි. රත් පැහැති හිරු කෙමෙන් කෙමෙන් සිතිජ ඉමට ලඟා වෙත්දී වළාකුළු ද ඒ පැහැය සමඟ මුසු වී මනරම් චිත්‍රයක් අහස් කුස අඳින යුරු දැකීමට අපි වාසනාවන්ත වීමු. සියල්ලෝම ප්‍රීතියන් පසුවූ ඒ සැදෑවේ අපි ගී ගයමින් සතුටු වුනෙමු .

ගං දිය මත යන්තම් හිස පමණක් පෙනෙන සේ සැගවී ඉන්නා හිපපොටේමස් කීප දෙනෙක් හා ඈතින් දිය යටින් පිහිනා යන කිඹුලන් ද අපි දුටුවෙමු .
රත් පැහැති හිරු දියේ ගිලීයාමෙන් පසුව ඉතා සුන්දර මතකයක් සමඟ  අපි යලිත් නවාතැන වෙත පැමිණියෙමු .

ඇගපත සෝදා ගත් පසු කියා ගත් නොහැකි සනීපයක් දැනුණි . රාත්‍රී ආහාරය පිළියෙල වනතෙක් අපි මැද මිදුලට එක්ව මොනොපොලි සෙල්ලම් කලෙමු. ඒ අතර අපි එකිනෙකා හා විහිළු තහළු ද කලෙමු .අප දෙදෙනාට තනිවී කතා කිරීමට ඉඩක් නොවීය. නමුත් එක්ව ලඟට වී සෙල්ලම් කිරීමටත් විහිළු කිරීමටත් අවස්ථාව විය .

ආදරය මට දැනෙන තරමට ඇයටත් දැනෙන්නට පටන් ගෙන ඇති බව මට පැහැදිලි වී තිබිණ. ඇගේ ඇස් නිතර මා පසු පස දිවෙන බවත්. නිතර මා අසල ගැවසීමෙන් ඈ සතුටු වන බවත් මට හැඟුණි .
රාත්‍රී ආහාරය සඳහා උනුසුම් ෂීමා සහ බත් සමඟ කුකුළු මස් හා ගෝවා කොල ව්‍යාංජනයක් සහ බැදපු කුඩා කපෙන්ටාවන් විය. ඇයත් ෂීමා කෑමට කැමති බව හඟවමින් මා අසලින්ම අසුන් ගත්තේය .
"චිෂී, මටත් ෂීමා කන්න උගන්වනවා නේද ?ඒ සුවඳ ට මං හරිම ආසයි ". ඈ කීවේය .
" අපොයි එහෙනම් මං බත් කන්නම් " මම කීවෙමි .
" ඔන්න අත් පුච්චා ගන්න නම් එපා , ෂීමා උනුවෙන් කන්න ඕනෙ උනත් අතේ ගුලි කරත්දි තමා නිවෙන්නෙ "
"එහෙනම් බෙදා ගෙන එන්න , බෙලින්ඩා ත් ඒවි ඔයාත් එක්ක."
"ඔව්, අපි ගිහින් බෙදා ගෙන එන්නම්" කියමින් ඈ බෙලින්ඩවත් ඇද ගෙන කෑම මේසය පැත්තට ගියේය . අනිකුත්  අපේ යහලුවන් ඒ වටා රොක්වී ආහාර බෙදාගනිමින් සිනාසෙමින්  සිටිනු දක්නට හැකිවිය. පිලිවෙලින් එකිනෙකා පසු පස යමින් ඔවුන් සහයෝගයෙන් රාත්‍රී ආහාරය සඳහා  සූදානම් වූහ. ටික වේලාවකින් ඇය ෂීමා හා කුකුළු මස් වයාංජනය සමඟ රැලිෂ් නමින් අප හඳුන්වන  ගොවා ව්‍යාංජනයක් හා බැදපු කපෙන්ටා මාලුවන් කීප දෙනෙක් තම පිඟානට රැගෙන ආවේය .
"අපි නම් මේවාට කියන්නේ හාල් මැස්සන්" කපෙන්ටා මාලු පෙන්වා ඇය කීවේය . "ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද ? " මම ඇසුවෙමි .
මදක් කල්පනා කල ඈ "හරියටම පෙරලුවොත් රයිස් ෆ්ලයිස්" හඬනගා සිනාසෙමින් ඈ කීවේය .
" ඒ කියන්නෙ අපේ මෙරුවෝ එහෙම නේද? " පෙරලා මම ඇසුවෙමි. මා දන්නා තරමින් ඈ මෙරුවන්ට කැමති නැත. ඈ කට ඇද කරමින් සිනා සුනේය.

ඇයට ෂීමා ගුලිකර කන විදිහ ඉගැන්වීමට මට සිදුවිය .

"ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ෂීමා ටිකක් අතට අරන් මෙන්න මේ විදිහට අතින් තලලා ඒ මැද්දට කරි ටිකක් දාල බෝල කරගෙන ටික ටික රස කර කර කන්න ඩියර්" ඈ සිනාසෙමින් ෂීමා රස විඳී. අපි සැම ඒ දෙස බලා සිටියෙමු .
ඇගේ පියා ඇය සොයා පැමිණ විමතියෙන් ඒ දෙස බලා "ආ දැන් ෂීමාත් කන්න පුරුදු වෙනවාද ? හොඳයි , හොඳයි " කියා යලිත් ඇගේ මව සිටින දෙසට ගියේය .
එදෙස බලා යලිත් ඈ රස විඳීමට පටන්ගත්තේ ය.
" අනේ මේ ෂීමා නම් හරිම රසයි නෙ චිෂී . ඕගොල්ල මට කලින් කිවුවෙ නෑනෙ " කියමින් ඈ නෝක්කාඩු කියන්නට පටන් ගත්තේ ය.
" අපෝ අපි කිව්වා නම් එහෙම අපිට කන්න ඉතිරි වෙන එකක් නෑ ඉතින් ."
ඈ මට ඔරවා අතින් පාරක් ගසන්නට පැන්නේය. මම ඒ සැනින්ම කෑම බෙදා ගැනීමට ගියෙමි. ඉක්මනින් ආහාර බෙදා ගෙන යලිත් ඇය අසලින්ම වාඩි උනෙමි.
" රසද?"
" අපෝ මං ආයෙත් යනවා ෂීමා කන්න චිෂී , හරීම රසයි අනේ"
ඇය යලිත් නැඟිට තව පාරක් කෑම බෙදා ගැනීමට ගියේය . උණු උණු ෂීමා හා ව්‍යාංජන ඈ රැගෙන ආවේය . පළපුරුදු කාරියක ලෙස ඈ ෂීමා අනුභව කලේය . අපි කෑම ගැනීමෙන් පසුව කෑම කාමරය අස් පස් කලෙමු .
ඊට පසුව සියල්ලෝම මැද මිදුලට රැස්ව ගී කියමින් සතුටු වුනෙමු . රාත්‍රිය මනරම් . කෙමෙන් නිදිමත දැනෙන්නට පටන් ගත් විට එක්කෙනා දෙන්නා තම කුටි තුලට ඇදෙද්දී අපි ද කුටි තුලට ගියෙමු. නිහඬ රාත්‍රිය සසල කරනා ඉදහිට ඇහෙන බකමූණෙකු ගේ හඬත්, නරියෙකුගේ හූවත් ඇරෙන්නට වෙන කිසිදු ශබ්දයක් නැත. ගස් එකිනෙක පිරිමැඳෙන සිරි සිරිය යාන්තමට කණ වැකේ. වෙහෙස නිසා නොදැනුවත්ව නිදිසුව අප කරා ආවේය.




පසුදා උදෑසනින් අවදිවීමි. සීතල සුළඟ සමග මුසු වූ මල් සුවඳ ක් හමා මසිත මන්මත් කලේය. අද දවස වෙන් වූයේ වික්ටෝරියා දිය ඇල්ල බැලීමටයි . අප එහි යාමට අදහස් කලේ සැන්දෑව ලඟා වන වෙලාවෙ ගඟේ පාවෙන විශාල බෝට්ටුවේ ගොස් පසුව ඇල්ල හරහා සිම්බාබ්වේ පැත්තට ඇවිද ගොස් කලුවර වැටීමට ප්‍රථම යලිත් සැම්බියාව පැත්තට පැමිණීමටය. දහවල ආහාරය තෙක් අපි නගරයේ ඇවිදිමින් කාලය ගතකිරීමට තීරණය කලෙමු . 

අපි සැම උදෑසනින් ආහාර  ගෙන නගරය බලා ගියෙමු . අපි ලී කැටයම් හා වෙනත් විසිතුරු භාණ්ඩ බැලීමට ගියෙමු . එහිදී ඈ සිත්ගත් සැම්බියානු ගැහැනියක ගේ ලීයෙන් කැපූ පිළිරුවක් මිලදී ගත්තේ එය ඉතා අලංකාර බව පවසමිනි . එය තාමත් ඇය ලඟ සුරැකී ඇතිබව මම දනිමි. මට ඒවායේ වටිනාකමක් නැත . විශාල මාලයක්  හා මානා තොප්පියක් ද ඈ මිලදී ගත්තේය . ඇගේ මුව සතුටින් පිරී තිබිණ . බ්‍රෙන්ඩා ගේ කරවට අතක් දමා ඈ ගමන් කලේ අප්‍රිකානු අපේ වෙනසක් නොදන්නා අයෙකු මෙනි. දහවල් ආහාරය සඳහා අපි නවාතැන ට පැමිණියෙමු . ඉක්මනින්ම යලිත් ගමනට සූදානම් වියයුතු හෙයින් අපි ආහාර ගෙන සැහැල්ලු ඇඳුම් ඇඟලා ගතිමු.

අපිව රැගෙන යන දිගු බස් රථය පැමිණ තිබුණි . අපි එකිනෙකා පහසු ලෙස අසුන් ගතිමු . ටික වේලාවකින් අපි ජැටිය ලඟට පැමිණියෙමු . එහිදී අපිට ජීවිතාරක්ෂක ඇඳුම් ඇගලා ගතයුතු විය. දිගු බෝට්ටුවේ උඩ තට්ටුවේ අපි අසුන් ගතිමු .  ගඟ දිය උතුරා යමින් තිබිණ . දෙපස විශාල ගස් ගඟට බරවී තිබිණ . මානා පඳුරු හා කුඩා උණ පඳුරු ගං දිය සිප ගනිමින් නැමී තිබිණ . සෙමින් සෙමින් අපි පහළට ගියෙමු . පැද්දෙමින් සෙමින් සෙමින්  ඇදීයන බෝට්ටුවේ කිසිම කලබලයක් නැතිව අපි සිරි නරඹන්නට වීමු . ඈතින් කිඹුලෙක් දෙන්නෙක් ඇදීයන බව දුටුවෙමු . හිපපොටේමස් කීප දෙනෙකු එක් රොක්වී  සිටිනු දුටුවෙමු . යාන්තමට හිස් ඔසවා බලමින් දියේ ගිලී ඔවුන් නිසොල්මනේ සැදෑ සුව විඳිති. ගං දිය පැහැදිලිය . කුඩා මාලු රංචු රංචු පැහැදිලි දියේ පිහිනා යති. අතරින් පතර විශාල  මාලුන් කීප දෙනෙක් අපි දුටුවෙමු . බැසයන හිරුමඬල කෙමෙන් කෙමෙන් සිතිජ ඉමට ලං වෙත්ම සෑහෙන දුරක් අපි  ගමන් කොට තිබිණ . ඈතින් දිය ඇල්ලේ ජල බිඳිති අහස උසට නගිනු පෙනේ. ඒවා මත හිරු එළිය වැටී පාට මවමින් දේදුන්නක් සැදී ඇත .




චාරිකාව නිමා කරමින් බෝට්ටුවෙන් බැස දිය ඇල්ල ලඟට අපි පැමිණියෙමු . පටු පාර දිගේ පේළියට අපි ගමන් ගතිමු . අතර මඟදී මලීෂා මා අසලට පැමිණියාය . අපි ලං වෙත්දී දිය ඇල්ලේ ශබ්දය ඇසෙන්නට විය. මහා ගෝසාවකින් කඩා හැලෙන දිය කඳ ඉතා  චමත්කාර දර්ශනයකි. ලංවෙත්දී අපි වැසිකබා ඇද ගතිමු .  සිරි පොද වැස්සක් සේ ජල බිඳිති මුළු වටාපිටාවම තෙත් කරයි. බිම ලිස්සන සුළු ය. අපි එකිනෙකා අත් අල්ලා ගතිමු . ඇගේ මෑණියන් ඇයට අවවාද කලේ පරිස්සමින් ගමන් කරන ලෙසටයි . ඈගේ මවත් පියාත් අපිට මදක් පසු පසින් පැමිණෙන බව දුටුවෙමි . ඔවුන් කුඩ ඉහලාගෙන සිටියහ .

අපි පටු පාලම මතින් ගමන් ගතිමු . එය ලිස්සන සුළු බැවින් ගමන් කල යුත්තේ ඉතා පරිස්සමිනි. දිය ඇල්ලේ ශබ්දයත් වැහි බිඳිතිත් නිසා පරිසරයේ ගෝසාකාරී බවක් හා අඳුරු බවක් දකින්නට ලැබුණි .
අපි එකිනෙකා නොපෙනෙන ලෙස අඳුරු විය . ඈ තදින්ම මගේ අත අල්ලා සිටියේ අපි පහළට කඩා වැටේ දෝ යි සිතා මෙනි .  







තද මීදුමෙන් පිරී තිබූ පරිසරය නිසාවෙන් අප ඉදිරිපස සිටි කිසිවෙක් හෝ පසුපස සිටි  කිසිවෙක් අපිට නොපෙනේ . අපි පරිස්සමින් ඉදිරියට අඩි තබන්නට වීමු. එක පාරටම ඈ ලිස්සා ඇද වැටුනේ මාවත් ඇදගෙනය.

" මලීෂා ඔයාට තුවාල ද, මොනවත් උනේ නෑනෙ , හිමිහිට නැගිටින්න" සෙමින් ඈ ඔසවා නැගිටින්නට උදව් කලෙමි.
" නෑ චිෂී , පොඩ්ඩක් කකුල ඇඹරුනා විතරයි . "  ඇය හිමින් නැඟිටිමින් කීවේ ලැජ්ජා වෙන් සිනාසෙමිනි.
අපි සිම්බාබ්වේ පැත්තෙන් සිරි නැරඹුවෙමු . ඒ පැත්තෙ ඒ තරම් මීදුම් ගතියක් නොතිබුණු බැවින් පැහැදිලි දර්ශනයක් බලා  ගැනීමට වාසනාව ලැබුණි . මේ දියඇලි කොමලිය නොදකින දෑස් කුමකටදැයි මට නොයෙක්වර සිතුණි . මේ තරම් අසිරිමත් දර්ශනයක් මගේ ජීවිත කාලයටම දැක නොතිබුණු අතර ඇය ද එය සනාථ කලේය. ටික වේලාවකින් අපි යලිත් පටු පාලම දිගේම යලිත් සැම්බියාව පැත්තට පැමිණියෙමු . අපේ ගුරුතුමිය අපහට පැහැදිලි විස්තරයක් ලබා දුන්නේය . අපි ඩේවිඩ් ලිවිංස්ටන් මහතාගේ පිළිරුවට ගෞරව කලෙමු .  ළමයින් සියල්ලෝම මල් කිනිති තබමින් ගෞරවය පුද කරන ලදී.














මෙම චායා රූප අන්තර්ජාලයෙනි.

Comments

  1. බොහොම ස්තූතියි චාන්දි...ඔබට ඉඩ ලැබෙන පරිදි කථාව දිගටම ලිවීම සතුටක්...:)

    ReplyDelete
  2. ස්තූතියි ! රවි. යාන්තම් වෙලාව හොයා ගන්නවා. මේ ටිකේ අවිවේකී නිසා අමාරුවෙන් කාලය සොයා ගන්නෙ. ඔබේ ඇගයුම වටිනවා ගොඩාක් .

    ReplyDelete
  3. Waiting for the next post impatiently! Love your writing style! So captivating <3

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .