වැඩිහිටියන්ගේ අලුත් අවුරුදු උත්සවය.

වැඩිහිටියන්ගේ අලුත් අවුරුදු උත්සවය.




අපි අවුරුදු නිවාඩුව ගත කරන්න ගියේ හම්බන්තොට. තිස්සමහාරාමේ බෙරළිහෙල, වීරහෙළ ගමේ තියෙන පුංචි පන්සලක මගේ බාප්පගෙ පුතා මහණ වෙලා ඉන්නවා. පන්සලේ නම ශාන්ති නිකේතනාරාමය. ස්වාමීන් වහන්සේ බොරලැස්ගමුවේ විජිතසිරි. අපේ ගමේ මහණ වෙච්ච අපේ හාමුදුරුවෝ මේ සියලු සැප සම්පත් අත හැරල මේ දුශ්කර ගමට ගිහින් දැන් අවුරුදු ගනනාවක් ගත වෙලා. දැන් මේ කුඩා පන්සල ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවන් වහන්සේ නමක් වැඩ වාසය කරන ඉතාම මනරම් පුන් භූමියක්. අපේ හාමුදුරුවන් වහන්සේගේ අප්රහිත ධෛර්යය නිසාම මෙම තත්වයට පත්වූ බව කියන්න ඕනෙ. මේ සඳහා දායකවූ බොහෝ පිරිසක් තව ඉන්නවා. අතරින් නන්දපාල ගොඩකන්ද මහතා සහ එම මැතිණිය ,හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා, පී.එම්.සී තිලකසිරි මහතා සහ එම මැතිණිය (මගේ පුංචියි, බාප්පයි) , සිරි නිශ්ශංක හා හේමා නිශ්ශංක වන මගේ දෙමාපියන්, මගේ පරපුරේ අනෙක් නෑදෑයන් , අප පවුලේ සියලුම දෙනා විශේෂයි කියල මට හිතෙනවා. වගේම හතර පේරුවේ දායක පිරිස වන ගමේ ඉන්න හැමදෙනෙක්ම මේ පන්සල වැඩි දියුණු කරන්න ගොඩාක් වෙහෙස මහන්සි වෙලා තියෙනවා. දැන් අද මේ පුංචි විහාරය බොහොම ලස්සනට ගමේ ඉන්න අයට දහම් දැනුම ලබාදෙමින් හැම කටයුත්තකදිම ගමේ දේවල් වලට සහ සම්බන්ධ වෙමින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව විශාල ශාසනික මෙහෙවරක් ඉටුකරනවා.
ඉතින් අපි හැම අවුරුද්දකම මේ විහාරය වැඳ පුදා ගන්න ගියත් මේ වසර අපිට විශේෂ උනා. අපි විහාර භූමියට ඇතුල් උනේ හරියටම හිස තෙල් ගාන නැකතට. අපි යනකොට කට්ටිය බොහොම සංවරව පෙළගැහිල අපේ හාමුදුරුවන් වහන්සේ අතින් හිස තෙල් ගාවගනිමින් තමයි හිටියෙ. ලොකු කුඩා හැම වයසකම අය පේළියෙ ඉන්නවා. අපිත් ඉතින් හිමිහිට එයට එකතු උනා. අතරේ මම දැක්කෙ මගෙ පුංචි අම්මල, මගෙ අම්මල කටිටියම එන පොඩි ළමයින්ට පුංචි, පුංචි තෑගි දෙනව. සමහරුන්ට සරුංගල්, කෑම පෙට්ටි, පැන්සල් පෙට්ටි, ලෝක ගෝල, ..... වගේ දේවල් සමඟ කුඩාම අයට සබන් කැට එහෙමත් තිබුන. හැම දරුවෙක්ගෙම හිත සතුටින් පිරිල. තෑගි කඩල බලනව, ආයෙම ඒව මාරු කරන්න යනව, “අනේ මට මේක නැතිව වෙන එකක් දෙන්න” කියනව, “මේක වෙන පාටක් දෙන්න කියනව” වැඩ ගොඩයි. හැබැයි මේ හැම ඉල්ලීමකටම ලොකු අය බොහොම ඉවසිල්ලෙන් කන්දීල ඒක ඉටුකලේ බොහොම සතුටින්. ඔය අතර වාරේ මගේ හිසටත් තෙල් බිඳක් ගාගන්න වෙලාව ආව. මුලින්ම අපේ හාමුදුරුවන් වහන්සේට නම්ස්කාර කරල පයට පැගෙන නුග කොල උඩ හිට ගත්තා. තෙල් සහ නානු ගාගෙන ආයෙත් වැඳල කෙලින්ම ගියෙ අම්මටයි තාත්තටයි වඳින්න. අවුරුද්දටත් දීර්ඝායුශ ප්රර්තනා කරල පුංචිලටත් වැදල සුබ පතල අපිත් ඉතින් තෑගි බෙදන්න ආව. මගේ මහත්තයත් අපේ වාහනේ තිබුන තෑගි කීපයකුත් ඒකටම ගෙනත් දැම්මෙ බොහොම සතුටින්.
ඉතින් කට්ටියම මෙහෙම පොඩි පැටවුන්ට තෑගි බෝග බෙදන අතරෙ, මේ දිහා පැත්තකට වෙලා බොහොම ඕනෑ කමකින්,සතුටකින් බලා ඉන්න මම නාඳුනන පුංචි පවුලකුත් හිටිය. තමයි මේ විහාර මළුවේ බොහොමයක් ගොඩනැගිලි තම වියදමින් හදන්න උදව් කරපු පානදුර ගිහාන් ටෙක්ස් අධිපති නන්දපාල ගොඩකන්ද මහත්තයාලගෙ පවුල. අයව අපිට හදුන්නල දුන්නෙ අපේ තාත්තයි, බාප්පයි. මේ තාක්කල් නොදැක, නමුත් ගොඩක් විස්තර අහල තිබුනු නිසා ඔවුන් අපිට අපේම අය වගේ හිතට සමීප බවක් දැනුන. බොහොම ආදරෙන් එයාලත් එක්ක එකතු වෙලා මේ උතුම් වැඩ සටහනට සහසම්භන්ධ වුනා.
දැන් ඉතින් ටික ටික කට්ටිය අඩුවෙනව වගේ තෙල් ගාගන්න එන. ඒත් මේ ආරංචිය ගිහාම දුවගෙන ආව අයත් හිටිය. හැමටම පුංචි හරි දෙයක් දෙන්න පුලුවන් උන එක කොයි තරම් සතුටක්ද? මේ අතරෙ මේ පන්සලේ අළුතින්ම ඉඳිකෙරුන "රත්නාවතී විශ්රාම ශාලාවෙ" අපිට උදේ ආහාරය පිළිවෙල වෙලා කියල අපේ හාමුදුරුවෝ අපිට කිව්ව. අපි එතනට ගිහාම මට හිතාගන්නවත් බැහැ ගිය අවුරුද්දෙ අපි මේක හදනකොට දැක්ක තැනමද මේ කියල. ඉතාම ලස්සන නිදහස් පරිසරයක තියෙන තැනක්. පිරිසිදුවට හැම දෙයම පිලිවෙලට තියල තිබුන. මේ විශ්රාම ශාලාව නම් කරල තියෙන්නේ නන්දපාල ගොඩකන්ද මහත්තයාගෙ අම්මගෙ නමින්. අම්මටත් මේක දකින වාරයක් පාසාම පින් ලැබෙන්නට ඕනෙ කියල හිතන්ම පින් දුන්න. මෙහිදී මට අපේ හාමුදුරුවන් ගේ තාත්තගෙයි අම්මගෙයි නම් දෙක එකතුකලාම එන්නෙත් රත්නාවතී කියල මතක් උනා. මගෙ බාප්පගෙ නම රත්නපාල , පුංචි දයාවතී. ඒකත් හරි පුදුමයි.

කොහොම උනත් අපි හැමටම මේක සම්පතක් නිසා හැම දෙනෙක්ම මෙතනට යන එන අය මේ ස්ථානය තම නිවස සේම පිරිසිදුවට ලස්සනට තියා ගන්න කටයුතු කරන්න ඕනෙ බව නම් මතක් කරන්නට ඕනෙ. අපිට උදේ ආහාරයට අවුරුදු කැවිළි සමග උනු උනු කැකුලු බතුයි, අල කිරි හොදියි, හාල්මැස්සන් තෙල්දමල, ළුුණු සම්බලයකුයි බොහොම රසට තිබුන. ගෙනාව ඇත්තන්ටත් පින් දීල ඉතින් අපිත් කෑම කාල එතන අස්පස් කරල ඔන්න ආයෙත් විහාර භූමියට ආව.
ආවෙ නම් විශේෂම කටයුත්තකට. මේ පංසලේ අවුරුදු කීපයක් තිස්සෙ වැඩිහිටියන්ට කියන්නෙ අවුරුදු පනහට වැඩි අයට අවුරුදු උත්සවයක් කරනවා. මේ සඳහා දායක වෙන්නෙ ගමේම අය සමඟ අපේම හාමුදුරුවො සහ අපේ පවුලෙ උදවිය හා ගොඩකන්ද මහත්තයාගෙ පවුලෙ ඇත්තො තමයි. ඉතින් අපි යනකොට කට්ටිය පුටුවල වාඩිවෙලා ඉන්නවා. සමහර අයගෙ දරුවොත් සඳහා උදව් පදව් කරන්න විහාරය ඇවිත් හිටිය. අය හරි හරියට උයනවා. අපිත් ගිහින් එතන බලලා පින්තූර ටිකකුත් අරගෙන උත්සවයෙ වැඩ කටයුතු වලට සම්බන්ධ උනා. අපේ හාමුදුරුවෝ හරියට මහන්සි වෙනව මේ කටයුත්ත සංවිධානය කරන්න. ස්වාමින් වහන්සේ කියන විදිහට මේ පලාත්වල අම්මලා තාත්තලා වයසට යනකොට ටිකක් දරුවන්ගෙන් ඈත්වෙනව කියලයි. ඒක නම් ඉතින් හැම තැනම සිද්ධ වෙන දෙයක් නේ. වැඩිහිටියන්ව, ළමයි තරුණ වයසට එනකොට පේන්නෙ හණමිටි අදහස් තියෙන වැඩකට නැති අය වගේ තමයි. නමුත් අයගෙන් අපිට ගන්න පුලුවන් දේ බොහොමයි කියල ගොඩ දෙනෙක් හිතන්නෙ නෑ. ගෙවල් වලිනුත් ඈත්වෙන මේ අසරණ අයට මේ වගේ සතුටුවෙන සත්කාරයක් කරන එක මොන තරම් උතුම් කියල හිතුනෙ වැඩ සටහන අතරතුරේදියි. මුලින්ම තිබුනෙ ජන ගී ගායනා තරඟය. අපි කවදාවත් අසා නැති ජන ගීතත් එතනදී කියවුනා. හරිම මිහිරට කට්ටිය ගැයුවා. තෑගි බෝග එහෙම ලැබෙන නිසා උනන්දුවෙන් සඳහා සහභාගි උනා. මේ අවස්ථා සමහරක්.

ඊළගට අලියට ඇහැ තියන්න. බෝඩ් එකෙන් එහාට යනකොට නම් දුකයි. ඒත් තරගෙ නීතිය කඩන්න බැහැනෙ. ඊළගට කණා මුට්ටිය බිඳින්න. ඒක නම් ටිකක් විතර අමාරු උනා සමහර අයට. තරම් ශක්තියක් ගන්නත් අමාරු වයසනේ. හරිම විනෝදයි මේ වැඩේ. හැම දෙනෙක්ම සතුටු උනා. ඒකෙන් පසුව බැලුම් පිපිරවීම. අනේ සමහර අයගෙ හුලං ආපහු බඩටම යනවා. විනෝදෙ වගේම දුකයි. මේ හැම කාර්යකට මගෙ පුතාල දෙන්නයි මහත්තයයි බොහොම ආසාවෙන් සම්බන්ධ උනා. කට්ටියගෙ ඇස් බඳින්න, එහෙට මෙහෙට අල්ලගෙන යන්න වගේ දේවල් තමයි තිබුනේ.
තරඟ තීරකයන් උනේ පලාතේ ග්රාමසේවා නිළධාරී තුමියයි ගොඩකන්ද මහත්තයයි. අයට තමයි උදව් ඕනේ මේ දේ පිලිවෙලට කරගන්න. අපේ පුංචි හාමුදුරුවන් ලොකු සහයොගයක් දුන්න සංගීතය එහෙම සපයල. පංසලේ අවශ් ගීත එහෙම තෝරලා ඒව උචිත වෙලාවට වාදනය කරන්න සහය දුන්නෙ පුංචි හාමුදුරුවන් තමයි. දෙනමක් වැඩ වසන පුංචි පංසලක මේ වගේ ලොකු වැඩක් කරන්නෙ කොහොමද කියල හිතුන වාර අනන්තයි.
ඊලඟ අංකය කිරි වීදුරුව බීම බටයකින් ඉක්මනින්ම බොන්න. ඒක නම් ලෙහෙසියි. දිගම හූව, ලොකුම හිනාව, සංගීතයට බෝලය පාස් කිරීම, ඇස් බැදල යෝගට් කැවීම, වගේ දේවල් ආවෙ ඊට පස්සෙ. තරඟ වලින් දිනපු අයට තෑගි දෙන්න හැමටම අවස්ථාවක් ලැබුන. ගොඩකන්ද මහත්තයා ඇතුලුව හැම දෙනෙක්ම හරිම සතුටින් මේ දේ කලේ. අවසානෙට ආව හැම දෙනෙකුටම හොද රසවත් කෑම වේලක් දාන ශාලාවෙ. නොයෙකුත් වැඩ රාජකාරි අතර මෙහෙම තමන්ගෙ පංසලට ඇවිත් අම්මල, තාත්තලට කෑම උයපු හැම දෙනෙකුටම පිං. අය බොහොම සතුටින් සමඟියෙන් දේ කල බව කියන්නම ඕනේ. කෑම මේසෙ රතුකැකුලු බත් සමග කූනිස්සන් තෙල් දමල, අල තෙල් දාල, පරිප්පු, සමඟ ළුුණු සම්බල තව කට්ලට් , පපඩම් එහෙම ජයටම තිබුන. කැවිලි සමග කෙසෙල් ගෙඩිත් අතුරුපසට. අංග සම්පූර්ණ ආහාර වේලක්. පන්සිල් සමාදන් වෙලා බොහොම සතුටින් අපිත් කෑම බෙදන්න සහභාගි උනා. ගොඩකන්ද මහත්තයාගෙ පවුලෙන් හැමටම ලස්සන චීත්තයක් ගැහැනු අයටත්,හොද සරමක් පිරිමි අයටත් ලැබුන අවුරුදු තෑගි ලෙස. කෙනෙක්, ස්තූති කථාව කරල මේ සහභාගි උන හැමටමත්, කෑම වෙල පිලියෙල කල අයටත්, අපේ හාමුදුරුවන් ඇතුලු හැමටත් බොහොම පිං ප්‍රාර්ථනා කලා.

ඔන්න ඊට පස්සෙ අවුරුදු තෑගි බෙදා දීම. හැමටම චීත්ත, සරම්. ගොඩකන්ද මහත්තයා ගේ නෝන අපිට කියපු විදිහට ආයතනයෙ අය මේව ලැහැස්ති කරල තියෙන්නේ මාස කිහිපයකට කලින්. උදව් කරපු හැම දෙනාටම පිං. එයාලගෙ දියණියත් මේවට සම්භන්ධ උනේ හරිම සතුටින්. එදා රෑම ඔස්ට්රේලියාවෙ ඉගෙන ගන්න එයාගෙ අයියටත් මේ හැම විස්තරයක් කිව්ව බව කිව්වෙ ගොඩකන්ද නෝනයි. මොනතරම් සතුටක්ද, මෙහෙම විඳින්න ලැබුනේ. අවුරුද්ද පුරාම හිත හිතා සතුටුවෙන්න පුලුවන් දෙයක්නෙ. අපිත් පිංකමට සහභාගි උන එකට හරිම සතුටුයි. දැන් ඉතින් පොඩි විනෝදයක් ලබන්න වෙලාව ඇවිත්.


මගෙ මහත්තයා යාගෙ ඩෝලෙත් අරන් ආව. මිහිරි පැරණි ගීත ගායනා, නැටුම් එහෙම අපිට බලන්න පුලුවන් උනා. හරිම විනෝදයි. හිතා ගන්නවත් බැහැ මේ අය මේ තරම් මේ වගේ දේවල් වලට දක්ෂද කියල. හැම දෙනාම හොද හැටි සතුටු උනා. අපිටත් දැන් බඩගිනියි. ඉවර කරන්න වෙලාව ඇවිත්. කැමැත්තක් එහෙම නැහැ සමුගන්න. උනත් දානෙ උයන්න ආව අයත් බඩගින්නෙ නිසා අපේ හාමුදුරුවන් අපි දැන් අවසන් කරමුද? කියල ඇහුව. අකමැත්තෙන් උනත්, අය හැමටම සමුදුන්නෙ ජාතික ගීය ගායනා කරලයි.


Comments

  1. සිරිබර අවුරුදු උත්සවයකට ගියා වගේම දැනුනා අක්කේ. අගේ ඇති පොස්ට් එක. මහන්සිවෙලා පොස්ට් එක කරාට බොහෝම පිං.

    ReplyDelete
  2. සත්කාරය දැක්කම හරිම සතුටුයි අක්කා

    ReplyDelete
  3. අලුත් අවුරුදු කාලයේ ඉතාම යහපත් වැඩකටනෙ සහභාගි වෙලා තියෙන්නෙ. සිත පහන් වෙන විස්තරයක්. ස්තුතියි චාන්දි අක්කා.

    ReplyDelete
  4. @ගල්මල්-Coral:
    බොහොම ස්තූතියි මල්ලි. මට මේක හදන්න නම් දින ගනනාවක් ගියා තමයි. ඒ උනාට හරිම සතුටුයි ඒක ලියල ඉවර උනාම. ඔයාව හැම දාම සිහිකරනවා කෘතවේදීව මේ දේට මට පාර පෙන්වපු නිසා. එයට බොහොම පින්.

    ReplyDelete
  5. @ නුවන් තිලංග,
    මල්ලියේ ගොඩා ස්තූතියි මාව නිතරම දිරි ගන්වනවාට. පිලිතුරු ගොඩාක් පමාඋනා සමාව අයදිමි.

    ReplyDelete
  6. චන්දිමා නංගිටත් , ගොඩක් පින් හැම වෙලාවෙම කරන දිරි ගැන්වීම් වලට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!