Monday, May 9, 2011

සොඳුරු මතක සටහන්.6

අහස් යානාව උඩට නංවල ටික වෙලාවක් යනකොට ඔන්න කිවුව අප්රිකාවෙ උසම කන්ද වන කිලමන්ජාරෝ කන්ද පේනව කියල. ජනේලයෙන් ලස්සනට පේනව යන්තමට හිම වැටිච්ච කන්ද. අපි තුන් දෙනාටම ඉවසිල්ලක් නැහැ ඒක බලන්න. මට යන්තම් ටිකක් හොඳයි වගෙ කැරකිල්ල. තව ටික වෙලාවකින් අම්මල ලගට යනව නේද කියල හිතෙනකොට හරිම සතුටුයි. පැය දෙකහමාරක් වගේ ගමන. කෑම ගෙනාවා, බීම ගෙනාව ඒව එච්චර වගක් නැහැ අපිට. මේ ටික යනකල් ඉවසිල්ලක් නැහැ. අම්මලට මොනවද ගේන්නෙ කියල ඇහුවම මට අද වගේ මතකයි මගේ චූටි නංගි අම්මට කියල ලියවල තිබුන එයාට බෝනික්කෙක් ගේන්න කියල. දැන් යන්තමට කතා කරන්න පුලුවන්, හොදට ඇවිදිනව කියල අම්ම අපිට ලියල තිබුන. මල්ලිය නම් දැන් ටිකක් ලොකු ඇති. ඔන්න ඉතින් දැන් බහින වෙලාව. ටිකක් කලුවර වැටෙන්න ලගයි.

මද අදුරෙ යන්තම් ලයිට් එලි පත්තු වෙන ලුසාකා නගරය හරිම ලස්සට පේනව උඩට. අම්මල දැන් ඇවිත් ඇති. කාලෙ ගුවන් සේවිකාවො හරිම හොදයි. කරුණාවන්තයි. ළගටම ඇවිත් බලනව අපි ගුවන් යානාවෙ ආරක්ෂක පටි පැළදගෙනද කියල. යන්තම් ඇති ඔන්න ලුසාකා වලට ආව. ඉක්මනින් බහින්න බැහැ, අපිව සේවිකාවකට භාර දෙනකල් ඉන්න ඕනෙ. පහල ඉන්න ගුවන් තොටුපල සේවිකාවක් ආවහම තමයි අපිට යන්න පුලුවන්. බලාගෙන ඉන්නකොට ඔන්න ආවා. අප්රිකානු සේවිකාවක්. ටිකක් වස පාටයි, උනාට හිනා වෙලා අපිව පිලිගත්තම බය ගියා. අපි තරප්පු පෙල බැහැල ආව එලියට.

කවුරුත් පේන්න නැහැ. හැබැයි කවුද අත වනනව පේනව, අපිත් ඉතින් අත වැනුව. කටිටිය කවුද කියල අදුන ගන්න නම් බැහැ. පොඩි ගුවන් තොටුපළක් . ඇතුලට හිහාම ලියකියවිලි පුරවන්න ඕනෙ. තාත්තගෙ වැඩකරන සහතිකය ඕනෙ ඇතුල් වෙන්න. තාත්ත ඔන්න ආව ඇතුලට. අපිට දැක්කම සතුටුයි, දුකයි දෙකම. අපිට ආදරෙන් හාදුවක්. අම්ම බලා ඉන්නව කිව්ව එළියෙ. මේ අයගෙ ලියවිලි පිරවිල්ල හරිම වෙලා යනව වගේ. මොනව කරන්නද? ඉන්න එපායැ ඉවර වෙනකල්. හොද වෙලාවක් ගියා වැඩ වලට. යන්තම් එලියට ආව. මෙන්නෙ මල්ලි දුවගෙන එනව. ඊළගට අම්ම එක්ක නංගිය. අම්මට ඉවසිල්ලක් නැහැ අපිට හාදු දෙන්න. අනේ දැන් ටිකක් ලොකුයි කියනව අත ගානව අපිව, ආදරේ කරනව. නංගි නම් ටිකක් ලැජ්ජයි වගේ. හොරෙන් බලන්නෙ. අම්ම කිවිව, කට පොඩ්ඩ වැහිල. අපිව පුරුදු නෑ වගේ. සතුටත් එක්ක දුක එයාල දැක්කම. අවුරුදු එකහමාරකට පස්සෙ හමුවීම. අපිව එක්ක යන්න තාත්තලගෙ යහලුවොත් ඇවිත්. කට්ටියම ආදරේ කරනව. බඩුටික දාගන්න උදව් කරනව. අන්තිමට වාහනේට ආව. මග දිගට ප්රශ්ණ වැල මල්ලිගෙන්, තාත්තගෙන්, අම්ම ගෙන්. නංගි සද්දයක් නෑ. එයා එහෙට යනකොට හරිම පොඩියි. මාස අටයි. දැන් අවුරුදු දෙකක් වගේ. එයාට අපිව අමතකයි. ටික වෙලාවක් යයි අපිට එකතුවෙන්න. හොරෙන් බලබල ඉන්නෙ ඒකයි. මල්ලි නම් හරියට කියවනවා. ඔන්න ලස්සන ලුසාකා ටවුමට එන පාරට වැටුන හයිවේ එකෙන්. අමුතු තාලෙ ගෙවල්, තට්ටු නෑ, හොදට ඉඩකඩ ඇතුව හදපු ගෙවල්. ලොකු වතු. සමහර තැන්වල එක ලග ගෙවල්. අපි ආව අපේ ගෙදරට. මන්චින්චි පාරෙ කෙලවරේම ගෙදරක්. කොටස නොර්ත් මීඩ්. නොම්මරය මට අමතකයි. ලොකු ගෙයක්, විශාල බල්ලො දෙන්නෙක් ඉන්නවා. ටීනා සහ ලීනා. නංගිටයි, මල්ලිටයි ඉවසිල්ලක් නෑ අපිට ගෙදර පෙන්නන්න. එහෙ මෙහෙ එක්ක යනවා. කාමරයෙන් කාමරයට. එයාලගෙ සෙල්ලම් බඩු පෙන්නනවා. අපිට එකතු කරපුව අම්ම, චොක්ලට් එහෙම ගිහින් පෙන්නනවා. හරියට කලබල. ගෙදර ආවට හරියට වත්ත පේන්නෙ නෑ. කරුවල නිසා. හෙට තමයි බලන්න වෙන්නෙ. තාත්තලගෙ යාළුවොත් ආව අපිත් එක්ක. අම්මගෙ රසට උයපු කෑම කන්න දීල කට්ටියම ගියෙ ගොඩක් රෑ වෙලා. අපි නින්දට ගියේ ඊට පස්සෙ.

උදේම නංගි එනව කාමරේටආන්ටී” කියාගෙන. එයට අක්ක කියල පුරුදු නෑ. ඉතින් අපි උගන්නන්න වෙයි එයාට. සිංහල වචන යන්තම් කියන්න දන්නවා. වැඩියම ඉංග්රීසීයෙන් තමයි කතාව. අපිට හරි වැඩේ. දුකයි, අපිට නිදහසේ මොනවත් කියන්න බැහැනේ. මල්ලිත් එහෙමයි. හැබැයි ඉතින් අතින් පයින් කියාගන්නවා අපිට ඕනෙ දේ. අම්ම නීතියක් දැම්ම මල්ලි නංගි එක්ක කතා කරන්නෙ ඉංග්රීසීයෙන් පමණයි කියල. මොනා කරන්නද? දැන් කතා කරන්නම වෙනවා. උදේ අපේ කුස්සියේ දොරෙන් තමයි පළමු වරට එළිය දැක්කෙ. අම්මගෙ එලවළු කොටුව, බල්ලො දෙන්නගෙ කූඩුව වගෙම තව පොඩි ගෙයක් තිබුන පැත්තකින්. මට මතකයි ගෙදර පැත්තකින් ලොකු මැයි මල් ගහක් තිබුනා. ලොකු වත්තක්. පිටි පස්සෙ සැම්බියාවෙ කට්ටියකගෙ ගෙයක්. ලස්සන ලමයි ( අයගෙ හැටියට ලස්සනයී) ටිකක් ඉන්නව අපේ වත්තට එබි එබී පාසැලට යන්න ලැහැස්තිවෙලා. අම්මජෙසී මේ මගේ දුව” කියල ජෙසීට මාව හඳුන්වල දුන්න. ඇය මට සුබ උදෑසනක්, ඔබට කොහොමද? කියල සුබ පතල ඔන්න පාසැලට යන්න පිටත් වුනා. In Zambia they always greet you & ask how are You? – “Good morning! How are You”?. That’s the way they always greet you.

මල්ලි සහ නංගිල දෙන්නත් නැගිටල ආව. අපේ අම්මගෙ වැඩේ අපේ ලස්සන බලන එක. කාලෙකින් නිසා වෙන්න ඇති. මම වෙනකොට අවුරුදු 13, හොදට උස මහතට හැදුන ලමයෙක්. නංගිල දෙන්න මට වඩා පොඩියි නේ. අපේ ගෙදර තවම ඉවර නෑ බලලා. කාමර ලොකුයි. ලස්සන මුළුතැන් ගෙයක්. හැම පහසුකමක්ම තියෙනවා. අම්ම කෑම හදන්න දක්ෂ නිසා අම්මට කියාපු තැන. කාලෙ ලංකාවෙ හරි ප්රශ්ණ. සමාජවාදී ආණ්ඩු ක්රමයට වැඩ. හැම තැනම පෝළිම්. පාන් එක ගෙඩියයි දෙන්නෙ, රෙදි මීටර් 2කට වඩා ගන්න බැහැ. චීස් බටර් දකින්න වත් නෑ. අපිට ඉතින් මෙහෙ ගියාම හරි සතුටුයි. ඔක්කොම ජාති පුරවල. අපිට කන්න ආස නිසා හැම දෙයම තාත්තයි අම්මයි ගෙනත් තියල. වෙන ළමයින්ට නොලැබුන වාසනාවක් කියල මට හිතුන. වගේම මගෙ මාමගෙ දුවල, පුතා, අනෙක් නෑදෑ නංගිල, මල්ලිලා මතක් වෙලා දුක් වෙච්ච අවස්ථාත් නැතිව නෙවෙයි. එහෙම තමයි ජීවිතේ හැටි. කෙනෙකුට සැප, කෙනෙකුට දුක. අටලෝ දහම.... ටිකකින් ආව වැඩට හිටිය කෙනා. නම මිස්ටර් පීරි. අපිට නම් හරිම අමුතුයි. නීග්රෝ අයගෙ පාට, මහත තොල් පෙති, හැඩි දැඩි ඇඟ, ගොරෝසු කට හඩ.....හැම දෙයම වෙනස්නෙ. මට මතක් උනා අම්මල යන්න හදන කොට සැම්බියාවට කෙනෙක් කිව්ව යන්න එපා, මිනී මස් කන අය ඉන්නෙ, ළමයි තියල කොහේවත් යන්න එපා මරාගෙන කයි....... වගේ දේවල් තමයි අපේ අය කිව්වෙ. කථා කලාම හරිම යටහත් පහත්. අයව සුදු ජාතිකයන් පුරුදු කරල තියෙන හැටි. බිම අඩ දණ තියල අම්මට සුබ පැතුවෙ වැඩට ආව ගමන්ම. ඊළඟට මට. මම දන්නෙ නෑ මොනව කරන්නද? කියල . අම්ම කිව්ව ගුඩ් මෝර්නින්, ෆයින් තෑක්න්ක් යූ කියන්න කියල. මමත් විදිහට කිව්ව. හරිම නුහුරු උනාට අය හොඳයි කියල තේරුම් ගත්ත. හරියට තමන්ගේ ස්වාමියාට ගරු කරනවා.

2 comments:

නලිනි චන්දිමා said...

සෑහෙන දවසකට පස්සෙ අක්කගෙ මේ මතකයන් කියවන්නෙ. හුඟ කාලයක් වෙන්ව ඉඳලා ආයෙත් හමුවෙනකොට ලමයින් කොච්චර වෙනස් වෙලාද? හිතේ හැටියට නංගි මල්ලි එක්ක කතා කරගන්න බැරි වෙනකොට දුක හිතෙන්න ඇති නේද?

Chandi said...

@ නලිනි චන්දිමා,
අනේ ඔව් නංගියේ, වැඩියත්ම මගේ චූටි නංගි ඇන්ටි කියල කතා කරනකොට නම් දුක හිතුන. අනෙක එයාට අපිව හරිම නුපුරුදුයි වගේ ඉන්නකොට හරිම දුකයි. ඒත් දැන්නම් අපි දෙන්න හොඳම යාලුවෝ.

Post a Comment