අසුබ දිනෙක ආ සුබ පැතුමක්! 2

අරවින්ද ගෙයි ඇගෙයි ප්‍රේම සම්බන්දෙ පටන්ගත්තෙ කවදද කියල කියන්න ඈට මතක නෑ. බලාපොරොත්තූ ගොඩක් හිතේ තියාගෙන හීන මැව්වෙ හීනෙ කවදාක හරි හැබෑවෙයි කියලයි. පාසැලේදී වගෙම ඈට ගමේදිත් හිටිය හොඳම මිතූරා අරවින්ද අයියයි. දෙන්නම පාසැල් ගියෙත්,දහම් පාසැල් ගියෙත් එකටමයි. කන්ද පහල ගූරුපාර ලඟ අරවින්ද මාලතී එනකල් බලා ඉන්නව. වෙලාවකට වෙලාවටත් කලින් මාලතී පාරට එනව. ඊට පස්සෙ දෙන්නම කතා කර කර හිමින් හිමින් කඩ මණ්ඩිය පහුකරගෙන පාසැලට යනව.

අරවින්ද අයිය ලොකූ ඉස්කොලෙට ගිහාම මාව අමතක වෙයි නේද?” වෙලාවකට මාලතී එහෙම අහනව.

අපෝ නංගි ඔයාව මම කොහොමත් මතක තියාගෙන නෑනෙ කියල අරවින්ද අයිය කියන කොට මාලතී ඇස් රතූකරගෙන අයියට ඔරවනව.

අපෝ , මට මොකද මතක තියාගත්තත් නැතත් , මමත් ඉතින් කොහොම හරි හොඳට විභාගෙ ලියල සෙන්ට්රල් එකට එනවනේ කියල හිමිහිට පාරක් ගහනව.

ඒක තමයි , ඔයා හොඳට ඉගෙන ගත්තොත් නැන්දටත් දුක්විඳින්න ඕනෙ නෑනෙ නංගි. ඒක නෙමෙයි ,ඊයෙ නැන්ද මට පොරොන්දු උනා හැලප දෙකක් එවනව කියල ඔයා අතේ. කෝ ඒක ගෙනාවද ?

අනේ තව ටිකෙන් ඒකත් අමතක වෙනවනේ, .... මෙන්න. අපෙ අම්ම ඔයාට හරි ආදරෙයි අයියෙ, මටත් එකයි හම්බ උනේ

නැන්ද දන්නව ඇති ඔයා මගෙ හැලප වලටත් විදින බව.

අපෝ මට නම් එපා, ඔයාගෙ ඔය කෙහෙල් මල. මම යනව පන්තියට අද මගෙ පන්තිය අතූගාන දවස. එහෙම කියල පන්තියට දිව යන්නෙ විදුලි වේගයෙන්.

කාලය ගෙවිල ගියෙ දෙන්නගෙම ජීවිත වල වෙනස්කම් ඇතිකරමින්. අරවින්ද මධ්‍ය මහා විද්්‍යාලයට ඇතූලත් උනා. මාලතීට තව අවුරුදු දෙකක් ඉන්න වෙනව කඩ ඉමට එන්න. විභාගෙ අත ලඟ තියෙත්දි තමයි තාත්ත මාලතීලගෙන් සමුගත්තෙ. මරණෙ වැඩ කටයුතූ ටික චාමෙට ලස්සනට සිදුකලේ අරවින්ද අයියයි එයාගෙ යහළුවො ටිකයි එකතූ වෙලා. සතියකට පස්සෙ හත්දවසෙ බණ ඉවර වෙලා අරවින්ද අයිය මාලතීට අවවාදයක් දුන්න හොඳින් විභාගෙ වැඩ ටික කොහොම හරි හොඳින් කර ගන්න කියල. නිහඬව මාලතී වෙලාවෙ හිටියෙ අරමුණක් ගැන හිත යොමු කරගන්න බැරිව.

විභාගෙ ඉවර වෙලා ගමට ආව අරවින්ද අයියව මාලතීට හමුඋනේ පන්සල් වත්තෙදියි.

කොහොමද නංගි , විභාගෙ හොඳට කලාද? ”

ඔව්, අයියගෙ විභාගෙ කොහොමද? අයිය නම් කොහොමත් උඩින් පාස් වෙයි නේ.

මමත් පුළුවන් තරම් හොඳට කලා නංගි, ඒත් කැම්පස් යන්න නම් කොහොම වෙයිද ? දන්නෙ නෑ.”

අපෝ අයිය ඔය බොරුවට මට කියන්නෙ. අයිය නම් හොඳින් පාස්වෙයි ,ඊට පස්සෙ මාවත් අමතක කරයි කැම්පස් ගිහින්.

හා ! හා! හැමදාම ඔයා කියන්නෙ ඔය ණේනෙ. නවත්ත ගන්නව ඔය කට. අන්න පොඩි හාමුදුරුවොත් මේ පැත්තට එනව.

ඊට මාස ගානකට පස්සෙ තමයි අරවින්ද අයියගෙ ගෙදරට සැක හිතිල තිබුනෙ මේ සම්බන්ධය ගැන. මෙතෙක් කල් මාමගෙ තිබුණ ලෙන්ගතූ කම සේරම දියවෙලා යන්න පටන් ගත්තෙ ඊට පස්සෙයි. අම්මට බලපෑම් කරන්නත්, කෙනෙහිලිකම් කරන්නත් මාම පටන් ගෙන තිබුනෙ මාලතී කවදාකවත් හිතූවෙ නැති විදිහටයි. හොරෙන් හොරෙන් හම්බවෙච්ච අරවින්ද අයිය ගෙදරින් නැගෙන ප්‍රශ්ණ වලට මූණ දුන්නෙ තනිවම. එන්න එන්න අම්මගෙ ශක්තියත් පිරිහී යන බව මාලතීට හොඳින් වැටහුනා. සාමාන් පෙළ විභාගය හොඳින්ම සමත් උනත් ඇයට ඉදිරියක් ගැන හිතන්න බැරිඋනේ අම්මට වාරුවක් වෙන්න ඕනෙ උන නිසයි. ඇඟළුම් කම්හලක සේවයට යන්න අරවින්ද අයියව කැමතිකරව ගත්තෙ හරිම අමාරුවෙන්. ඒකට වෙනත් හේතූවකූත් තිබුන. ඈයටත් අරවින්දටත් එකට හම්බවෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තූව දෙන්නගෙම හිත්වල තිබුන නිසයි. හැමදාම වැඩ ඇරිල මාලතීව ගන්න එන අරවින්ද අයියට කැම්පස් එකේ යහළුවොත් විහිළු කල බව මාලතී දන්නව. ඔහොම කාලය ගෙවෙත්දි අම්මට සිද්ධ උනා ඇයට තහංචි පනවන්න. අම්මටත් හොරෙන් අරවින්දගෙ ආදරයෙ අතරමං උනේ පුංචි කාලෙ ඉඳල තිබුන ලෙන් ගතූකම නිසාමයි. ඇරත් ඇය නෑකමට අරවින්ද ගේ ඇවැස්ස නෑනා බව ඈ දන්නවා.

අරවින්දත් කැම්පස් යන ගමන්ම රැකියාවක් සොයා ගත්තෙ මාලතීට උදව් කරන්න හිතාගෙන. නමුත් එන්න එන්නම මාමගෙ බලපෑම් වැඩිවූ බව මාලතීට වැටහුනා. මාස හතකට විතර පසුව අරවින්දට වැඩ කරන තැනින් වැඩි දුර පුහුණුවකට ජපානයට අවුරුදු හතරකට යන්න ලැබුන. පාර තමයි මාලතී කලබළ උනේ. මේ වෙනකොට මාලතීගෙයි අරවින්දගෙයි සම්බන්දෙ බොහොම දුර ගිහින්. මාලතීට දරුගැබක් පිහිටි බව දැනගෙන හිටියෙ ඇයත් අරවින්දත් පමණයි. අරවින්ද ජපන් ගමනට ලක ලෑස්ති වෙත්දි මාලතී හිටියෙ මහ ගින්දරක් හිතේ දරාගෙන. අන්තිමට මාලතීටත් නොකියාම අරවින්ද ජපානයට ගියෙ හිත් පිතනැත්තෙකූ විදිහට. මාලතීට අම්මත් එක්ක වග උත්තර බඳින්න උනේ ඊට පස්සෙයි. අම්මගෙ ඇස් වලින් වැටුන කඳුළු තව තවත් මාලතීගෙ හිත පෑරුවා. මාමත් එක්ක මේ ප්රශ්ණය විසඳගන්න ගිය අම්ම, අරවින්දගෙ පුංචි අම්මගෙ දොස් මුරයට අහුවෙලා ගෙට ගොඩ උනේ පපුව අල්ලගෙන. කොහෙද ඉඳල ආව සිරිදාස අයිය ඇවිත් අම්මව එදා ඉස්පිරිතාලෙ නොගෙනියන්න අම්මගෙ ජීවිතේ ඉවර වෙන්නෙ එදාමයි. මෝරන දරුගැබත් එක්ක අසරන වෙච්ච මාලතී අහස දිහා බලමින් සුසුම් හෙලමින් කල්පනා කලේම ජීවිතය නැති කරගන්නයි. නමුත් තමන් හදාවඩා ගන්න අනේක විධ දුක්කන්දරාවක් ඉහිලූ අම්මට දුකක් දෙන්න බැරිකමටම ඈට සිදු උනේ මේ දුක උහුලගෙන ඉන්නයි. අම්ම ඈත් නැති උනොත් ජීවත් නොවෙන බව හොදින් දැනගෙන හිටිය.

ඔය විදිහට දරුගැබට මාස නවයම ගෙවුන. දරුගැබ අත ගගා සුසුම් හෙලනව මාලතීගෙ අම්මත් බලාඋන්නෙ වේදනාවෙන්. එක ගෙදරකට වෙලා අරවින්ද එක්ක පවුල් කන්න හීන මැව්ව ඈට සිදු උනේ කඳුළු ගඟක තනිවෙන්නයි. හිත කොයිතරමක් රිදුම් දුන්නත් වෛර කලේ නෑ අරවින්දට. දරු පැටියගේ මූණ දැක්කෙ අරවින්දගෙ කපාපු පළුවක් වගෙයි. දරුපැටිය උපන්නට පස්සෙ ඈට ආයෙත් ජීවත්වෙන්න ඕනෙ කියල හිතූන. එදා ඉඳල අම්මගෙ පෙරැත්තෙට සිරිදාස එක්ක දීග යන්න උනා ඇයට. සිරිදාස ඈට කවමදාකවත් වෙනස් කමක් කලේ නෑ. කිසිම දවසක ඈට අරවින්ද ගැන කියල හිත රිදවන්න වත් උත්සාහයක් කලේ නෑ. දරුවටත් තමන්ගේම දරුවෙකූට වගේ ආදරෙන් සැලකූව. හැන්දෑවට ගෙදර ඇවිත් දරුවව කරේ තියාගෙන හැම තැනම ඇවිද්දෙ හරිම ආදරෙන්. අම්මටත් සිරිදාස සැළකූවේ තමන්ගෙම අම්මට වගේ. අම්මත් වගේම සිරිදාසට ආදරය කලා. හිටි හැටියෙම අම්මට ආයෙත් අර පපුවෙ අමාරුව හැදුන. ගමන සතියක් විතර ඉස්පිරතාලෙ හිටිය අම්මව සනීප කර ගන්න ගත්ත උත්සාහය පලක් නැති උනේ මාලතීගෙම අවාසනාවට.

ඈව තනිකරල අම්ම අවසන් ගමන් යන දිනයෙදි වත් මාමල ආවෙ නෑ ඇගෙ මුහුණ වත් බලන්න. ගමේ හැමෝගෙම උදව්වෙන් අම්මගෙ මිනියෙ වැඩ කටයුතූ ටික හොඳින් කර ගන්න සිරදාසටයි මාලතීටයි හැකි උනා. ගමේ හැමෝම මාමලට දොස් කීවෙත් එළිපිට නම් නෙවෙයි. ලොකූ හාමුදුරුවො පමණක් මාලතී ළගට ඇවිත් අරවින්ද අයියලගෙ මුළු පවුළටම දොස් කීව බව ඇයට මතකයි. ඊට මාස තූනකට පස්සෙ හරියටම තූන් මාසෙ දානෙ දීල දවස් පහකට පස්සෙ සිරිදාසව ගහකින් වැටිල ඇඳට වැටුන. පුංචි පැටියවත් තූරුළු කරන් යන එන මං නැතිව මාලතී උන්නත් දරුපැටියට දුකක් දෙන්න ඈට හිත් දුන්නෙ නෑ. හිත හදාගෙන රබර් කට්ටියෙ කිරි කපන්න පටන් ගත්තෙ දරුපැටියව උරමල්ලක දමාගෙන. උදේම රබර් කිරි ටික ගත්තට පස්සෙ ඒව පහල කඩේ ඇඩ්ඩින් අයියට දුන්නෙ මාසෙ අන්තිමට පොතේ ගානට හිලව්වටයි. හවස් වරුවෙ සිරිදාසගෙ තෙල් බෙහෙත් සාත්තූවට ආවෙ සිරිදාසගෙ එකම නංගියි. ඈත් එක්කත් පුංචි සන්දියෙ ඉඳලම මාලතී යහළු නිසා ඒ කාර්්‍යය පහසු උනා. ඉස්පිරිතාලෙ ලොකූ දොස්තර මහත්තයා නම් කියන්නෙ සිරිදාසගෙ කොඳු ඇට පේළියේ ඇට වලට සිද්ද වෙච්ච හානිය නිසා ඔහුට කවදාකවත් ආයෙ නැඟිටින්න බැරි බවයි. කෙමෙන් කෙමෙන් මාලතීත් අම්ම වගේ කඩයප්පන් හදන්න පුරුදු උනා. හින්ද දරුවගෙ වැඩ ටික හොඳින් කර ගන්න ඈට පුළුවන් උනා.

සමහර දවසට දවසෙ වැඩ කටයුතූ ටික ඉවර වෙලා ගෙයි මිදුලෙ තිබුන බංකූව උඩට වෙලා හිතින් තනිවෙන්නෙන අරවින්ද ළග. කොයිතරම් සුන්දර කාලයක් ඈට තිබුනද කියල හිතනකොට ඇස් දෙකෙන් කඳුළු කඩා හැළුනෙ ඈට නොදැනිම. සිරිදාස ගැනත් , අරවින්ද ගැනත් හිත දෙපැත්තට පෙරළුනෙ ඈටත් නොදැනීම. මොනව උනත් දැන් සිරී ඈගෙ කසාද මිනිහ. හිත හදාගත්ත. ඔහු වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්න ඕනෙ බව තේරුම් ගත්ත.

අද උදේ අවුරුදු හතරකට පස්සෙ අරවින්ද අයිය ඈව බලන්න ආවම තමයි ඈට හිත වාවගන්න බැරි උනේ. සිරී ඈඳ විට්ටමට තදින් තඩ්බාන සද්දෙට මාලතී ගේ ඉස්සරහට දුවගෙන ආවෙ ඒ ඇයි? කියල බලන්නයි. ගේ දොරකඩ හිටගෙන හිටිය අරවීන්ද අයියව දැක්ක මාලතී ගල් පිළිමයක් වගේ බලා හිටියෙ කතා කරගන්න වත් බැරිවයි.

නංගි, මම ආවෙ ඔයාලව බලල යන්නයි. කොහොමද ? දැන් සිරීට. තාම හරියට සනීපයක් නෑ වගෙ නේද? කිසිම ගානකට නැතිව අත තිබුන බඩු පාර්සල් ටික ටීපෝව මත තබල සිරී ලඟට කිට්ටු උන අරවින්ද අයිය දිහා මාලතී බලන් හිටියෙ ගල් ගැහිල. සිරීගෙ ඇඳ විට්ටමට තඩිබෑම වැඩි උන තැනදි තමයි ඈට සිහි එළවුනේ. ඉක්මනින්ම ආපසු ගෙට දුවල ගිහින් තිබුන එකම ප්ලාස්ටික් පුටුව ඇඳ ලඟින්ම තිබ්බෙ අරවින්දට ඒකෙ වාඩි වෙන්නයි.

සිරී ගෙ අතින් අල්ල ගත්ත අරවින්ද අත්දෙක පපුවට තද කරගෙන මට සමාවෙයන් සිරී කියල කිව්ව. සිරීගෙ අසරනවෙච්ච ඇස් දිහාව බලාන උන්න මාලතීගෙ දෑසටත් කඳුළු පිරුනෙ ඈටත් හොරාම. මාලතී දිහාවට තම දෑත දිගූකරමින් කිසිවක් කියන්න සිරී උත්සාහ කලේ හරියට උඹ මගෙන් නෙවෙයි සමාව ගන්න ඕනෙ මාලතීගෙන් කියන්නා වගෙයි. දෙන්නගෙම ඇස් වල කඳුළු බේරෙනව. මාලතීත් අඬනව. සිරී අතින් ඈට සන් කරනව පුතාව අරවින්දට පෙන්වන්න කියල. ඈට එවිට තමයි සිහි උනේ දරුව තාම නිඳි බව. අරවින්ද සමගම ගේ ඇතූලෙ කාමරයට පියමැන්නෙ ඔහුගෙ පුතාව පෙන්වන්නයි. කොලු පැටිය සීතළට ගූලිවෙලා නිදි. ඔහුව ආදරෙන් සිපගෙන අරවින්ද අතට දෙනකොටම තමන් එක්ක ආදරෙන් තනි උන දවස ඈට මතක් උනා. හැම සිදුවීමක්ම ඈට තාම හොදාකරව මතකයි. වක්කඩක් කැඩුවාසේ ගලන කඳුළුත් එක්කම ඈට ඉකි ගැහුනෙ ඉබේටම. අරවින්ද ඈවයි පුතාවයි දෙන්නවම තූරුළු කරගෙන.

මට අනේක වාරයක් සමාවෙන්න නංගී , මගෙ අතින් ලොකූ වැරැද්දක් උනේ. මට ඒකට දැන්වත් වන්දිගෙවන්න ඉඩ දෙන්න නංගි. කියල කිව්වෙ තම දරුවව සිප ගනිමින්ම.

සිහි එළවා ගත්ඇය ඉක්මනින්ම සිරී ඉන්න තැනට ආවෙ තවත් එතන රැඳුනොත් ඈට හිත වාවගන්න අමාරු නිසයි. ඒ සැනින්ම අරවින්දත් පසුපසම එතනට ආව. සිරී ඔහුගෙ දෑත් එක්කරමින් අරවින්දට මාලතීව බාර ගන්නා ලෙස අයදින බව දෙන්නටම වැටහුනා.

ඔව් , සිරී මම ඔය දෙන්නවම බලා ගන්නම්, නංගි කැමතිනම් මට පුළුවන් ඔයාලට හෙවනක් වෙන්න.

එපා , අයියෙ එපා! මේ අසරනයව මට තනි කරන්න බැහැ. ඔයා මාව තනිකරල ගියාට පස්සෙ මට හැමදෙයටම හිටියෙ සිරී. පින් අත්වෙයි , ඒක නම් මට කරන්න කියන්න එපා. මට පුළුවන් විදිහට මම සිරීව බලා ගන්නව. මොනව උනත් සිරීව මම දාල යන්නෙ නෑ. කිව්වෙ තිර හඬින්. ඇඳ පැත්තකින් වාඩි උන ඇය සිරිදාසගෙ හිස පිරිමැද්දෙ අපමන සෙනෙහසකින්. දිහා අරවින්ද බලා හිටියෙ වේදනාවෙන් බව දැක්ක. පුතාව සනසමින් ටික වේලාවක් හිටිය අරවින්ද කිසි කතාවක් නැතිව හිමිහිට පහළට පල්ලම් බැස්සෙ සැබෑ ආදරයක මිහිර මේ යැයි හඳුනාගෙන.

Comments

  1. මේ පොස්ට් දෙක මට මග හැරිලා.

    කතාවේ කොටස් දෙකම එක හුස්මට කියවාගෙන ආවේ ඉදිරි කොටස ගැන කුතුහලයක් ඇතිව. සැබෑ සුවඳපිරි මාලතියක් දුටුවෙමි. ඔබේ ලිවීම ගොඩාක් රසවින්ඳා අක්කේ.

    ReplyDelete
  2. @ ගල්මල්-Coral ;
    මඟ හැරුනත් මෙහෙම ඇවිත් වචනයක් ලියන එක මට හරියට වටිනවා ඩීන් මල්ලී. ස්තූතියි!

    ReplyDelete
  3. චන්දි අක්කා... මේක පත්තරේක පළ වුණාද? මං මේක පත්තරේක හරි වෙන කොහේම හරි කියවලා තියෙනවා.. සමහර විට සයිබරයේ ම වෙන්න ඇති..

    කතාව නම් අපූරුයි.. හරිම රසවත්..

    ReplyDelete
  4. @ චතුර ;
    බොහොම ස්තූතියි! කමෙන්ටුවට චතුර මල්ලි. ඔයාට මේ කතාව මතක ඇත්තේ සීගිරියෙ දි වෙන්න ඕනෙ. මම වෙන කොහේවත් මේ කතාව දැම්මේ නැහැ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!