Friday, December 16, 2011

සෙනෙහසක මහිම! 4

ඉතින් අපි එහෙන් එන්න හිත හදාගන්න නම් මට හරිම අමාරු උනා. වැඩියත්ම මට අම්මා ,තාත්තා ළඟ නැති අඩුව හරියට දැනේවි. එයාල කොපමණ දුරකින් හිටියත් නිතරම මගේ දුක සැප බලන්නත් අපිට අවශ්‍ය අඩුපාඩු බලන්නත් පුරුදුවෙලා හිටිය. ඒ එනකොට මට අවශ්‍ය හැම දෙයම අරන් තමයි එන්නෙ. මගෙ පුංචි නංගිලා දෙන්නත් ඒ වගේ පුතාලට හරියට සෙනෙහස දැක්වූවා. මහත්ත‍යාගෙ අම්මල ඒ වෙනකොතත් එහෙන් ලංකාවට ඇවිත්. අයියා විතරයි හිටියෙ. අක්කා කලින්ම ආවා. ටික ටික එන්න ලැහැස්ති වෙනකොට හරිම දුකයි. මම මගේ දෙවෙනි මව්බිම වගේ මේ රටට ආදරය කලා. ඒ පුතාල උපන් රට නිසාත් මහත්තයාව මට මුනගැසුන රට නිසාත්. ඒවගේම මට මගේ හිතේ තිබුන ලොකුම දුක චිලේෂියි, ප්ලෝරන්ස්වයි දාල එන්න වෙන එක. චිලේෂිව අම්මට දෙන්න කතාකලත් ඒ වෙන කොට බණ්ඩා අම්මලත් එක්ක හිටිය නිසා ඒකත් හරි ගියේ නෑ. ප්ලෝරන්ස් නම් වෙන කෙනෙක් ලඟ වැඩට නොයන්න තීරණයක් අරන් උන්නෙ. ඒ නිසා එයාව ප්‍රශ්ණයක් නෑ. ඉතින් ටික ටික බඩුපැක් කරන අතරෙ කට්ටිය කෑමවල් වලට කතා කරනවා. ඒව නිසා කාලය ගෙවුනා දන්නෙම නෑ. මහත්තයා තව මාස 6ක් විතර අම්මලාගෙ ගෙදර ඉන්න තීරණය කලා. එයා ගේ වැඩ කටයුතු ඉවර කරගන්න බැරි උනා. අපි අම්මලගෙ ගෙදර ඉන්න අතරේ බොට්ස්වානා වලත් රැකියාවක් බලන්න ගියා. ඒ ගැන පසුව කියන්නම්.


අපි එන්න කිට්ටු‍ෙවන කොට ප්ලෝරන්ස්ට ගෙයක් බැලුවා. ඒකට අවුරුදු දෙකකට මුදල් බැන්දා. එයාට අවශ්‍යය හැමදෙයක්ම මගේ ලඟ තිබුන බඩු වලින් වෙන්කලා. පුතාලගෙ ඇදුම් මැදපු ඉස්ත්‍රික්කය , ලොකුගෙ ඇඳ, බෙඩ්ශීට්, මගෙ ඇඳුම්, වළං පිඟන් හැම ගෙදරට අවශ්‍යය වෙන දෙයක්ම එයාට කරදරයක් නැතිව ඉන්න අපි ලෑස්තිකලා. මගේ මහත්තයා ඒ අතින් හරිම හොඳයි. මගේ තාත්තගෙ ගතිගුණ මම හැම වෙලාවෙම දැක්කා. මිනිසුන්ට කරුණාවයි. චිලේෂි කොල්ලා ගමට යනවා ටික කාලයකට. එයා සියල්ලම දමගත්තේ පොඩි බෑගයකට. ඔන්න ඉතින් එන දවස ලංවෙනවා. අවසන් මැච් එකටත් ගියා. එදා හරිම දුකයි හැමෝටම. කාලයක් එකට සෙල්ලම් කරල අයින්වෙන කොට.


අපි කලින්ම අපේ බඩු ලුසාකා වලට යැව්වා. යන දවසේ අපිට එහේට ගෙනියන්න වැඩි යමක් තිබුනේ නෑ. බබාලව ලෑස්තිකරල දීල ප්ලෝරන්ස් පේන්න නෑ. හොයනකොට එයා ගෙදරට වෙලා හොඳටම අඬනවා. මෙතෙක් කල් හිතේ තදකරන් හිටිය දුක වක්කඩක් කැඩුවා වාගේ දෝරෙ ගලා ගියා. මහ හඬින් කෑ ගහල අඬන්න ගත්තා. මටත් මහත්තයාටත් හරිම දුකයි. එයා මගෙ පස්සෙන් වැටිලා අනේ, මැඩම් මාවත් ඔය යන දිහාවට ගෙනියන්න කියල කාලෙක ඉඳල කිව්වත් අපි ඒක කරන්නෙ කොහොමද කියල මඟහැරියට එදා තමයි තේරුනේ මෙයා කොයිතරම් අපිට ලැදිව ඉදලද කියල.පපුව පැලෙන්න තරම් දුකයි. දෙයියනේ අපේ කකුල් දෙක අල්ලගෙන වැටි වැටී මෙයා අඬනවා. මොනව කරන්නද? පුලුවන් තරම් සැනසුවා තව මාස හයක් අපි ලුසාකා වල ඉන්නවා එහේට එන්න පුලුවන් නේ අපිව බලන්න කියලා. පැයකට විතර පස්සේ තමයි අපි වත්තෙන් එලියට ආවේ. චිලේෂි කලින්ම අපිත් එක්ක ලුසාකා ඇවිත් ගෙදර යන්න ලැහැස්තිවෙලා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අපි පිටත් උනා අම්මලාගෙ ගෙදරට එන්න. නංගිලා සියල්ලම ලැහැස්ති කරලා අපිව පිලිගන්න. මගෙ එකම මල්ලි මේ වෙනකොට ඇමෙරිකාවේ අධ්‍යාපනය හදාරනවා. එයත් නිවාඩුවට එන්න ලඟයි.


බොහොම දුකෙන් කාලයක් හිටිය න්ඩෝලා නගරය අත්හැරල ලුසාකාවට ආවා. හැමදෙයක්ම සිද්ද උනේ හරිම ඉක්මනට. හීනයක් වගේ. අවුරුදු ගානක් හිටියත් හරියට අවුරුදු දෙක තුනයි වගේ. කාලය ඉක්මනින් ගෙවිලා ගිහින්.


මාසෙකින් වගේ අපි බොට්ස්වානා වල රැකියාවක් බලන්න ආවා. අපි ඒ ගමන ආවේ තවත් කාරයක් ගන්නත් එක්ක. ලොකු පුතාව එක්ක ආවා. හේමපාල අයියා ලගත් නැවතුනා ජොබ් එකක් බලන්න. සන්ධ‍යා අක්කා හරිම හොඳට සැලකුවා. එහේ අපිට සැම්බියාවෙ තිබුන පහසුකම් ලැබෙන්නෙ නෑ වග තේරුනා. කලහාරී කාන්තාරය මැද නිසා දේශගුණයත් ටිකක් අමාරුයි වගේ. මොනව උනත් දරුවො තුන් දෙනාට යහපත් අනාගතයක් දෙන්න එහේ අමාරු බව තේරුනා. ඒ නිසා අපි දෙන්න එහෙන් එත්දිම ඒ රටට ආපසු එන අදහස අත්හැර ගත්තා. පුතා අපිත් එක්ක ගියාට බොහොම හොඳට හිටියා. කාටවත් කරදරයක් නෑ එයාගෙන්. වෙලාවට කන්න දුන්නාම පාඩුවේ ඉන්නවා. එයාගෙ ඩිංකි කාර් ටික අරගෙන ගියේ. ඒ එක්කම ඉන්නවා ඒවා එළව එළව. අපි වැඩිය ඇවිද්දෙ නෑ. ගියවැඩේ හරි නොයන බව දැනගත්තාම ඉක්මනින් ආවා. පොඩි දෙන්නා ගෙදර නිසා. මල්සිට සාංකාව වගේ කියල නංගිල කතා කරල කිව්වා. චූටි පුතාට නම් ගානක් නෑ. හැමෝගෙම අතේ හුරතල් වෙවී ඉන්නවා. මේ පාරත් ලිවිංග්ස්ටන් වලට ආවම අයෙත් අපි සුපුරුදු නවාතැනේ නැවතුනා. පුතාට හරිම සතුටුයි ඒ කාමරෙ අයිනට වඳුරො රංචුවක් ඇවිත් හිටියා. මෙයාට හරිම වැඩ ඒ නිසා. කෑ ගහනවා බලන්න යන්න.


ඉතින් ලුසාකා වලට ආව ඉක්මනටම. අපි ලුසාකා ඉන්නා අතරේ, ඇමෙරිකාවට අධ්‍යාපනය හදාරන්න ගිය මගේ එකම මල්ලිත් සැම්බියාවට නිවාඩුවට ආවා. අපිටත් හරිම සතුටුයි. එයාට චූටි පුතාල දෙන්නව බලන්න ලැබුනෙ ඒ ආවහමයි. එයාට දරුවො තුන්දෙනාම එකවගේ ආදරෙයි. අදටත් එහෙමයි. මාමාගෙන් තොර ලෝකයක් නෑ එයාලට. මාමා දැන් නම් එයාලට හරිම වීරයෙක්. ආවහම අපිට මෙයාලව අල්ලන්න බෑ. මාම පස්සෙන් වැටිල එහේ තාක්ෂණය ගැන , මාමිගෙ ව්‍යාපාර විස්තර, අලුත් සොයාගැනීම් ඒව තමයි අහන් ඉන්නෙ.


දවසක් තාත්තා උදේ පාන්දර හේලී ගේ වල්ගා තරුව බලන්න කියල නැගිටලා අපේ ගෙදරට හොරු ඇවිත් කියල කලබල වෙලා අපි හැමෝමව ඇහැරෙව්වා. අපි සාලෙට ආවම ටීවි එක පවා හැම දෙයක්ම හොරු ගෙනිහින්. අනේ, අම්මා අඬන්න ගත්තා ගොඩක් වටින දේවල් කිසිම දෙයක් නෑ. ඉක්මනට කට්ටිය වාහනයට නැගලා එළියට ගියා. අපි ගැහැණු ටික ඉතිරි උනා ගෙදර, බයේ බලන් ඉන්නවා එයාලට කරදරයක් වෙයිද? කියලා. එහේ ඉන්නෙ ආයුධ සන්නද්ධ හොරු. එයාල ජීවත් වෙන්නෙ කොම්පවුන්ඩ් කියල හඳුන්වන පොඩි පේළි නිවාස සංකීර්ණ වල. ඒවා හරිම ප්‍රසිද්ධයි. චිපාටා කොම්පවුන්ඩ්, ගාඩ්න්ඩ් කොම්පවුන්ඩ්, කම්වාලා කොම්පවුන්ඩ්, චවාමා කොම්පවුන්ඩ්, මිසීසි කොම්පවුන්ඩ් මට මතක නම් කීපයක්. මේවා ලංකාවේ තියෙන කොරියාවවල් හෙවත් වත්ත වල් වගේ. ඒවායෙ ඉඳල තමයි අපිට ගෙවල් වල වැඩකරන අයත් එන්නෙ. ඒ වගේම හොරුත් ඒවයේ ඉන්නවා. ලඟ ලඟ ගෙවල් වලින් සමංවිත නිවාස පේළියට පිහිටලා තියෙනවා. ඉතින් තාත්තා මේවයෙ හැම තැනම ඇවිදලා තියෙන නිසා බය නැතිව මේවයෙ යනවා. තාත්තාගෙ රැකියාව ඉඩම් තක්සේරු කිරීම නේ. ඒ හින්දා මේවයෙ පාරවල් හැමදෙයක්ම දන්නවා. තාත්තලා කොම්පවුන්ඩ් එක පැත්තට ගිහින් බලමු කියලා ඒ පැත්තට ගිහින් බලන්න. හෝඬුවාවක් ලැබිලා නෑ. ආයෙත් අපේ ගෙදර පැත්තට ඇවිත්. ඒ එනකොට අපේ පාර කෙළවර තණබිස්සක් ළග වාහනයක් නවතා තියෙනවා දැකලා. ඒකෙ යන්තමට පොළිස් කියල ලියල තිබිලා. එයාල කලිනුත් ඒක දැකලා කොම්පවුන්ඩ් එක පැත්තෙ ඉඳලා මෙහේට එනවා. එයාල හිතලා තිබුනේ පොළිස් පෙට්‍රල් යන එකක් කියලා අපේ හොරකම බලන්න ඇවිත් කියලා. (පසුව දැනගත්තේ ඒ පැත්තෙ ඉදල ඇවිත් තියෙන්නෙ තව ගෙදරක හොරා ගත්ත බඩු දාල එන්න) තාත්තල ළගට එනකොටම ඒක අද්දලා ගිහින්. ඉතින්ල ඒ නවතා තිබුන තැනට ආවම දැකලා අර තණබිස්සෙ අපේ ගෙදරින් සොරකම් කරපු සේරම බඩුටික සඟවා තියෙනවා. ඒත් එක්කම පොළීසියෙනුත් ඇවිත්. ඒ අයත් ඒවා බලලා අපේ තාත්තට උදේට පොලිසියට එන්න කියල බඩු ටික ගෙදර ගෙනියන්න කියලා. ගෙදරටත් ඇවිත් බලලා ගියා. දින කීපයකට පස්සේ හොරාව මහාපරිමාණ සොරකම් වලට අත් අඩංගුවට ගත්බව ආරංචි උනා. අපිට ඒ දිනවල තිබුනේ පර්ජෝ කාරයක්. පොළීසියේ වාහනත් ඒ වගේ. හොරු හිතලා තියෙන්නෙ ඒ ආවේ පොළිසියෙන් කියලා. ඒ නිසා අපේ කට්ටිය බේරුනා පෙර වාසනාවකට. කිසිම දෙයක් අඩු නැතිව ආයෙත් නැති උන බඩු ලැබුන එකම අය අපිවෙන්න ඇති. ඒවා හුඟක් දුක් මහන්සියෙන් අම්මා සහ තාත්තා උපයා ගත් දේවල් නිසාම ලැබෙන්න ඇති. ඒ හොරු පාවිච්චි කරල තියෙන්නෙ පොලිස් වාහනයක් ඔක්ෂන් එකකින් අරගෙන. ඒකෙ පොලිස් කියල ගහල තියෙන අකුරු යන්තමට තියෙනවා ඉතින් කවුරුත් සැක කරන්නෙ නෑ නෙ.


අපි බොට්ස්වානා ඉන්නා අතරෙ ප්ලෝරන්ස් ගෙ දුවල දෙන්නෙක් ඇවිත් ගිය බව අම්මලා කීවා. ප්ලෝරන්ස් කරදර කරනවාලු අපිව බලලා එන්න කියලා. එයාලට අම්මයි තාත්තයි හොඳට සලකලා මුදලුත් දීලා යවලා තිබුනා. වාසනාවකට තාත්තයි, අම්මයි මිනිසුන්ට හරිම කරුණාවයි. ඒ නිසා කාටත් හොඳින් අපේ ගෙදරට ආව කෙනෙකුට සැලකුම් ලැබුනා. ඊට සතිදෙකකට විතර පසුව එයාල කෝල් කරලා කිව්වා ප්ලෝරන්ස්ට අසනීපයි කියලා. අපි කිව්වා එයාලට ඇවිත් යන්න කියලා. බෙහෙත් වලට අවශ්‍ය මුදල් අපි දෙන්නම් කියලා. එයාල ආවා. එහේ ගැහැණු අය ගවුමට උඩින් චීත්තයක් අඳිනවා චිටෙන්ගි කියලා මම, ඒකක් අරන් දුන්නා ප්ලෝරන්ස්ට දෙන්න . මුදල් සමග ඇයට අවශ්‍යය හැමදේම දුන්නා පහසුවෙන්න. ඉක්මන් සුව පතා එයාලව ඉක්මනින්ම පිටත් කලා. ඊළගට ඒ අය ගිහින් දින දෙකකට විතර පස්සේ කතාකලා. ඇයව ඉස්පිරිතාලයකට ගෙනිච්චා, නිතරම මාවත් පුතාලවත් මතක් කරමින් හඬනවා කියලා. මම දන්නවා ඇය අපිට ආදරය කල තරම. ඒක සසර පුරා තිබුන බැඳීමක්ද කොහෙද. සතිදෙකකට පස්සේ ඇය අපි හැමෝම දාල සුරලොව ගියා කියලා කියන කනගාටු දායක ආරංචිය දැනගත්තා. මම හරියට දුක් උනා. අපිට බලන්න යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. දුර නිසා. ඒ දුවලා කීවා මියයන මොහොතේ මම දීපු චෙටෙන්ගිය ඉල්ලුවා ඒක ඇඳගෙන මැඩම් මගෙ ලඟ ඉන්නවා වගේ කියල කිව්වා කියල. ඒක අහපු මට දැනුන දුක. මම අදටත් මලක් පහනක් පුදනා වාරේ ඇයට පින් පතනවා හොඳ ආත්මයකට යන්න කියලා. ඇය ඇදහුවේ ක්‍රිස්තියානු ආගම ඒ උනාට මා ලඟට ආවට පසුව ගොඩාක් දේවල් මගෙන් අහගෙන බෞද්ධ විදිහට ජීවිතය හැඩගසා ගත්තා. මා ලඟට එනවිට ටිකක් නපුරු නොරුස්සන ගති තිබුනා. එයාගෙ දරුවන්ටවත් හරියට ආදරය කලේ නෑ. ඒකට එයාට වරදක් කියන්නත් බැහැ. මහත්තයා දරුවන් හය දෙනෙක් සමග ඇය තනිකර වෙනත් කාන්තාවක් ලඟ ඉන්නවා. මේ මානසික තත්වයේ ඇය හිටියෙ. පසුව ජීවිතය දිහා සුබවාදීව බලන්නත් අනෙක් අයට කරුණාව දක්වන්නත් ඇය පුරුදු උනා. මට සවසට බුද්ධ වන්දනාවට මල් කඩල පහනට තෙල් දාල හැමදෙයම ලැහැස්ති කරන්නත් බුදු මැදුර කාමරය වෙනම පිරිසිදුවට තියා ගන්නත් නිතරම ඇය උනන්දු උනා. ඒ පිනමත් අපේ දරුවන්ට ආදරය සෙනෙහස දෙමින් හරිම පිරිසිදුවට ලෙඩක් දුකක් නොවැළදෙන ලෙස තියා ගත්ත පිනෙන්ම ඇය හොඳ තැනක ඉන්නා බව තමයි මම හැමදාම හිතන්නෙ. ඔය අතරෙ එක් වරුවකට අපෙ මහත්තයාට පොළිස් කූඩුවෙ ලගින්නත් සිදු උනා. අම්මා සමඟ බඩුවගයක් ගන්න ගිහින් වැරදි ලේන් එකෙන් පාර මාරුකරල පාරට දැම්මාට. අපේ තාත්තා එදා ඉක්මනින්ම යහළුවෙකුට කතා කරලා එළියට නොගන්න තව දින දෙකක් ඉන්න වෙනවා කූඩුවෙ. එහේ සිකුරාදා ඇල්ලුවොත් ආයෙ සඳුදාට තමයි එළියට දාන්නෙ. ඒකත් එක්තරා විදිහක අත්දැකීමක් කියලා දැන්නම් හිනා වෙනවා. ඒ උනාට එදා නම් හරිම දුකෙන් හිටියේ.


පුතාල නම් ආච්චිලාගෙ ගෙදර හොඳ සැපට හිටියා, බලාගන්න කට්ටිය ගොඩයිනෙ. උදේට නාන තටාකයට බහින්න පොර. ලොකු දෙන්නාම වතුරට හරිම ආසයි. ඒ වෙලාවට චූටියා තනියම කියව, කියවා එයාගෙ ප්‍රෑම් එකට වෙලා බලා ඉන්නවා. කාලය ගෙවිලා ගියේ අපිටත් නොදැනීම. අපි බොහොම දුකෙන් සැම්බියාව අත්හැරල ලංකාවට ආවා.

9 comments:

ගල්මල්-Coral said...

විදේශ රටක දී විශ්වාසවන්ත කුළුපඟ මිනිසුන් ලැබීමත් එක්තරා වාසනාවක් අක්කේ. අතීත මතක සටහන් පෙලක තවත රසවත් කොටසක්, ලස්සනයි අක්කේ ඉදිරිපත් කිරීම.

Chandi said...

@ ගල්මල්-Coral;ඩීන් මල්ලී ඒක නම් ඇත්ත. අපිට එහේදි ගොඩාක් සොඳුරු මිනිසුන් හමු උනා. ඒ අය අවංකයි. සුහදශීලියි. ගුණ ගරුකයි. ස්තූතියි! මේ පැත්තේ ආවට. මට ඒක මට ශක්තියක්.

ඊ මේල් කවිකාරි said...

සුහද හමුවකට ආරාධනා...........මුහුනු පොතේ පණිවුඩ බලන්න.

Anonymous said...

puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

Chandi said...

@ Ano;
mama me mahabaratha teli nirmanaya kotas vashayen balala thiyenavaa api ZAMBIYA innathtdi saha lankaavedhith samahara kotas baluvaa. maath ithaama kamathi nirmaanayak. sthuuthiyi mathak kalaata. minissu sanveadhii vena hati saha kohomadha pavulaka aadharaya senehasa badhiim athivwenne yana karunu hodhin eake ismathuvelaa thiyenavaa.dan nam mata samahara than amathakai. ayeth balannam vela thiyena vitaka. bohoma sthuuthiyi avith giyaata sithuvili uayanata.

Chandi said...

@ Ano;
karanayak mathak unaa aagama prashnayak nAa mewata. mage nangige mahathtyaa hindhu aagamea. eyaa bohoma hodha kenek. indian sambawaya athi malasiyan kenek eyaa. api pavule ekamuthuva innava.

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

මිනිස්කම ඉස්මතු කරන ලියවිල්ලක් අක්කා.. මට ඔය ගම් වල නං හින්දා පොඩි කම්මැලි කමක් ආවට ඒ ගම් ගැන දන්න අයට වඩාත් රහට දැනෙයි..

Chandi said...

@ චතුර;
බොහොම ස්තූතියි! චතුර මල්ලි. ඔයාට මේ ගම් වල නම් එච්චර අවුලක් කරගන්න එපා. මුලදි අපිටත් එහෙමයි. ඒ අයගෙ නම් බොහොමයක් නියැන්ජා,ලෝසි,බෙම්බා වැනි ගෝත්‍ර වල භාවිතාවන නම්. අප්‍රිකානු ගෝත්‍ර වලට තමයි අපි අපේ රටේ කුල වගේ ඒ අය බෙදිල ඉන්නෙ. සතුටුයි රටවල් ගැන දැනගන්න ආවට.

Chandi said...
This comment has been removed by the author.

Post a Comment