Saturday, September 22, 2012

පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ.





අද මේ ලියන්නෙ දින ගාණක් පහු උණ මගෙ උපන් දිනයේදි ලියන්නට හිතා හිටිය දෙයක්.මේ පහු උණේ මගෙ පනස්වෙනි උපන් දිනය.පනස් වසරක් පිරුණයි කිව්වොත් හරියටම හරි. මෙතෙක් ආ මග ගැන හිතේ තියෙන්නෙ උපේක්ෂා සහගත සතුටක් කීවොත් නිවැරදියි. කුඩා කාලය හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණ. ළමා කාලය ගතවුණේ රත්තනපිටිය හා වේරහැර අතරෙ. රත්තනපිටියෙ මුල් අවදිය ගත කළාට අම්මාගෙ ගම වේරහැර නිසා නිතරම එහෙට ආව ගියා. අද මේ ගම් දෙකම නාගරීකරණය වෙලා. ඒ දවස්වල අපි බෙල්ලන්විල ගියෙ වෙලෙන් එගොඩ වෙලා. දැන් පිල්ලෑව ඒ  මැද්දෙ  කවුරුවත් යන්නෙ නැති නිකම්ම නිකම් කමතක් විතරයි. ඒකෙ පුංචි බෝ පැළයක් තියෙනව මට යාන්තම් මතකයි. මේ ගම් දෙකම ගොවිතැන් බත් කරගෙන ජීවත් වෙච්ච බොහොම අහිංසක මිනිසුන් හිටිය ගම් දෙකක්. සමහර කාලවලට සිරීපාද කඳුවැටියෙ හෙවනැල්ල අදටත් වැටෙන වෙල්යායකට මැදිව වේරැස් ගඟ පැත්තකින් ගලාගෙන ගිය සුන්දර ගම් පියසක්. 



අපි රත්තනපිටියෙ හිටියෙ, නිශ්ශංක වත්ත හෙවත් "සුනිල්ගිරි" කියල හැඳින්වූ වත්තෙ. ගෙවල් කීපයක් එහි තිබුණ. අපේ ආච්චි අම්මගෙ ගෙදර තමයි   ඒ පැත්තටම තිබුණ ලොකුම ගෙදර. අපි හිටියෙ ඊට එහා පැත්තෙන්  කාමර දෙකක්   එක්ක  තාත්තා කසාද බඳින කොට හදාගත්තු ගෙදර. ගෙට ඇතුල්වෙන්නෙ පඩි තුනක් විතර නැගල පොඩි ඉස්තෝප්පු කෑල්ලකින්. එතන තමයි මම ඉන්න ආසම තැන. පොඩි තාප්ප කෑල්ලක් වගේ ඉඳගන්න පුළුවන් බරාදයක් ඒ ගෙදර තිබුණ. ඒකෙ වාඩිවෙලා පාරෙ යන එන අය දිහා බලං ඉන්න මම හරිම ආසයි. අපේ අම්ම හරිම ලස්සනට ගෙදර තියාගෙන හිටිය. හැමදාම බිම කණ්ණාඩිය වගේ අම්ම මදිනව. රතු සිමෙන්තිය මැද්දම හරිම ලස්සනයිනෙ.



එහෙම ඉන්නකොට අපේ ගෙදර ඉස්සරහ තියෙන පාරෙ යන අය පන්සලට යන අය හැමෝම එක්ක මම කතා කරනව. එයාල හරිම ආදරෙයි මට. පන්සල තිබ්බෙ හරියටම අපේ ගෙදර ඉස්සරහ. මගෙ ආච්චි අම්ම පන්සලේ ප්රදානම දායිකාව. ඒ කාලෙ ආච්චි අම්මට මහරගම කඩ කිහිපයක් තිබ්බ. මිල මුදලුත් යහමින් තිබ්බ. අපි ඒ උණාට අපේ තාත්තගෙ පඩියෙන් බොහොම සරලව ජීවත් උණා. මම ආච්චි අම්මත් එක්ක හැම තැනම යනව. එයගෙ ලොකු මිනිපිරිය ලෙස මට පවුලෙ යම්කිසි වැදගත් තැනක් තිබ්බ. කොහොමත් අදටත් ගමේ ඇත්තො මාව දැක්කම කියන්නෙ ආච්චිගෙ කපාපු පළුව කියලයි. ඒ කාලෙ අච්චිලගෙ ගෙදර  විද්යෝදය විශ්වවිද්යාලෙ ඉගෙන ගන්න අය නැවතිලා හිටිය. අද ඒක ජයවර්ධන පුර කියලනෙ කියන්නෙ.   සෝමවීර සේනානායක ගොඩකන්දහේරත් මානවසිංහ විමලසිරි පෙරේරා වගේ ගොඩක් මහත්වරු එහෙට නිතර ආවගියා.  ඒ ඇසුර මාව පොත් කියවන්න හුරු කළා කීවොත් නිවැරදියි. පුංචි මට මේ මහදැනමුත්තොන් ගෙන් ඉගෙනගන්න කොච්චර දේවල් ද?  ඒ අයගෙ කතා අහන්නත් මම හරිම ආසයි. ඒ වගේම මට හැමොගෙන්ම ලැබුණ ආදර සැලකුම් තාමත් මට මතකයි. එයාල මගෙ අම්මටතාත්තට හරිම ආදරයක් දැක්වුවා.  ආච්චිගෙ ගෙදර බෝඩිමක් විදිහට නෙවෙයි එයාලට තිබුණෙ.පාඩම් කරන්න නිදහසත් ආච්චිගෙ ආදරයත් නොඅඩුව ලැබුණ නිසා ඒ අය ඉහළටම ඒ ඒ  ක්සේත්ර වල ගිය බව නම් කියන්නම ඕනෙ.


 අපේ අම්මගෙ පවුලෙ සහෝදර සහෝදරියො නව දෙනයි. තාත්තගෙත්  සහෝදර සහෝදරියො නවදෙනයි. ලොකු පවුල් දෙකක්. ඒ උණාට අදටත් පවුල් දෙකම හරිම එකමුතුයි.ඒ වටිනාකම කියන්න වචන නෑ මට ඒ අයගෙ දරුවො හැමෝම මගෙ අක්කලා, නංගිලා ,අයියලා, මල්ලිලා.කොච්චර වත් අපි එකට කෙළිදෙලෙන්ම තමයි කාලය ගෙව්වෙ.වේරහැර ආච්චි අම්ම ළඟට අපි නිවාඩුවට ගිහාම එහේ දිග බැලැන්කට්ටුවක් තියෙනවාඒක ගේ මැද සාලෙ දිගට එළල අපි දහ දෙනෙක් විතර එකට නිදා ගන්නෙ.මොන නිදාගැනිලිදපාන්දර වෙනකල් කතාවහිනාව තමයි.  ඒ හැමෝගෙම ආදරය ,සෙනෙහස මැද මම හැදුන  වැඩුණ කියන්න ඕනෙ.  

මම පෙර පාසැල් ගියේ ගමෙම ගෙදරක. පංසල පහුකරල පිං  ළිඳ ළඟ ගෙදරකට ගිය වග යන්තමින් මතකයි. බොහොම කරුණාවන්ත ගුරුතුමියක් බවත් මතකයි. පාසැල් යන කාලෙ ආවම තාත්තා අපේ ලිපිනයන් එහෙම මාරුකරල මාව අනුලාවට දැම්ම. මම මුලදි ආශාවෙන් පාසැලට ගියත්, නොකළ වරදකට වේවැල් පාරක් කාපු දා ඉඳල මම පාසැල් ගියෙ හරිම අසතුටින්. ඒ ගුරුතුමිය හරිම වසයි. ගෙදර හුරතලෙට හැදිල කවදාවක් කෝටු පාරක් නොකෑ මට ඒ වෙලාවෙ දැනිච්ච දුක තාම මතකයි. එදා ඉඳල කාරෙකේ සීය මාව ගන්න හන්දියට එනකොට මම ඇඳන් යටකාමර අස්සෙ හැංගෙනව මට මතකයි. අපි පාසැල් ගියෙ මොරිස් මයිනර් කාර් එකක. ඒක අපෙ අම්මගෙ ඥාතියෙක්ගෙ. සීය අපිට මාසෙකට වරක් අයිස් පලමක්කෝන් එකක් අරන් දෙනව.

චූටිම කාලෙ පාසැලේ දේවල් නම් ඒ තරම් මතක නෑ. මලකට අඳල විවිධ ඵ්ර සංගයකට හිටිය බවත් එළවළු වෙළෙන්දියකට ඇන්ද බවත් යන්තම් මතකයි. මම පෙර පාසැල් යන කාලෙ මගෙ නැතිවෙච්ච නංගි ටින් එකක් උඩ වාඩි වෙලා පස්ස පැත්ත කපා ගත්ත කියල නම් අමතක වෙන්නෙ නෑ. ඒ කාලෙ හිටිය දර කඩේ ආච්චි කියල අපෙ ආච්චිලගෙ කුලී ගෙදරක හිටිය ආච්චි කෙනෙක්. එයා හරිම රසට මණි පිට්ටු හදනව. මම උදේ ඉස්කෝලෙ යන්න කලින් එහෙ ගිහින් බිම බංකුවක වාඩිවෙලා පිට්ටු බාන කල් ඉන්නව උණුවෙන්ම පොල් කිරි එක්ක පිට්ටු කන්න. ඊට පස්සෙ තමයි ගෙදර අයට ගෙනියන්නෙ. කොච්චර උණත් අදටත් ඒ වගේ රසට පිට්ටුවක් හදන්න කෙනෙක් නෑ. ඇග්නස් අක්ක කියල ආච්චි අම්මගෙ රෙදි වියන වීවින් එකේ හිටිය අක්ක කෙනෙක් මට බොහොම ආදරය කළා. මගෙ කොණ්ඩෙ හරිම ක්රේල්. එයා තමයි ලස්සනට පීරලා හැඩ කරන්නෙ. තව වීවින් එකේ හිටිය හැම කෙනෙක්ම අපිට ආදරේ. ආච්චි හැමෝම වන්දනාවෙ එක්ක යනව ලොරියක අවුරුද්දකට සැරයක්. එහෙම වෙලාවල මගෙ එකම මල්ලියා මඟහැරිල අඬමින් එයාව හෙව්ව කියලත් මතකයි. මැණික් ගඟ ළඟ ඔන්න ඉන්නව වාඩිවෙලා අඬමින්.

ආච්චිලගෙ ගෙදර ඔක්තෝම්බර් මාසෙ එකම දවසෙ දාන ගොඩක් දෙනව ඒ කාලෙ.  උදේම කිරි අම්මලාට. ඊට පස්සෙ ගරා යකා නටල  දෙවියන්ගෙ දානෙ සමඟ දහම් පාසැලේ හැම දරුවෙක්ටම දානෙ.  ඒක අතරෙම සාංඝික දානෙ. රෑ එළිවෙනකල්ම අපි ඇහැරන් ඉන්නව එදාට. තාත්තලාබාප්පලා පටන් පිරිමි හැමෝමත් එක්ක ගැහැණු කට්ටිය හැමෝම එකතුවෙලා ගජ රාමෙට වැඩ. ගරා යකා නටනව බලන්න මම හරිම බයයි. සේරමත් හරි මම ආසම දහම් පාසැලේ ළමයින්ට දෙන දානෙටයි. ඒ කියන්නෙ මගෙ යළුවො හැමෝම එදාට අපේ ගෙදරට එන හින්දයිඅපි හැමෝටම එක්සසයිස් පොතක්පැන්සලයක් හා මකනයක් ආච්චි අම්මගෙන් තෑගි ලැබෙන නිසයි. ඒ දිනවලත් 120 ක් පමණ ළමයි හිටිය දහම් පාසැලේ. දැන් නම් හිතෙනව මේසා විශාල දානයක් කොහොම කළාද ඇය කියල. පෙර පින් බලෙන් හැම දෙයම තිබුණ ඈට. හැබැයි ජීවිතේ පටන් අරන් තියෙන්නෙ මහරගම සති පොළේ  ලැවරියා විකුණාල කිවොත් ඔබ පුදුම වේවි. තාම මාත් එක්ක එකට ඉගෙන ගත්ත ගමේ ළමයෙක් ඉන්නව බොරලැස්ගමුව පිල්ලෑව ළඟ එළවළු විකුණමින්. ඔහු මාව කාලෙකට පස්සෙ දැකල කතා කළේ බොහොම ලෙන්ගතුව. දැන් වරද්දන්නෙ නෑ එතනින් යනකොට අවස්ය උණත්, නැතත් මොනව හරි එයාගෙන් අරගන්න. ඒ ළමය පොසොන් පෝයට මයියොක්කා දන්සැලක් දෙන බව මට කීවෙ අපේ  ආච්චිලගෙ ගෙදර දාන මතක් කරල. ආච්චි අම්ම නම් හොඳ ලෝකෙක උපදින්න ඇති ඒ දීපු දාන කන්දරාවට. මම අදටත් හිත හිතා සතුටු වෙනව ඒව මතක් කරල.

පාසැලේ හය වසරෙ ඉඳල මම හරිම ආශාවෙන් ඉස්කෝලෙ ගියා. ඒ වසරෙ මට ලැබුණ ගුරුතුමිය තමයි ඒකට හේතුව. ඈ හරිම කරුණාවන්තයි. ප්ර්නාන්දු මිස් කියල මට මතක. ඇය අම්ම කෙනෙක් උණා මට. පාසැලේ වැඩ ආශාවෙන් කරන්නත් ආශාවෙන් පාසැල් යන්නත් මම පටන් ගත්තෙ ඊට පස්සෙයි. කවදා වත් නැතිව පන්තියෙ විසි ගණන් වල හිටිය මම ඒ වසරෙ දහවෙනිය උණා. එදා ඉඳල OL වෙනකල් දහයෙන් පහළ මම ගියෙ නෑ.   අපිට මේ කාලෙ ටිකක් කරදර තිබ්බ. අම්ම තව නංගියෙක් ගෙන්න ඉස්පිරිතාලෙ නැවතුණා. අපි හතර දෙනෙක් එතකොට. මම වැඩිමල්. මට බාල නංගිලා දෙන්නයි මල්ලියි. තාත්ත රැකියාව මාරුකළා. ගෙදර මුදුන් ලීය කඩන්වැටුණ. අලුත උපන් නංගියා මාස ගාණක් රෝහල් ගත කළා. මොළේ උණ කියලයි අපිට කිව්වෙ. මෙලන්ජයිටිස් කියන රෝගය නිසා කියල අපි දැන්නෙ දන්නෙ. අන්තිමේ එයා අපිව දාල යන්නම ගියා. ඒ සිදිධිය මගෙ ජීවිතේ නොමැකෙන සටහනක්. කෙනෙක් ගෙන් වෙන්වීමේ දුක පළමුවතාවට මම වින්දෙ එදා. රෝස මලක් වගේ ඈ පුංචි පෙට්ටියක නිදා ඉන්න හැටි මට තාමත් මතකයි.

මේ කාලෙ අපෙ ආච්චි අම්මලාට හරියට දේ තිබ්බත් අපිට ඒව භුක්ති විඳින්න වැඩිය දුන්නෙ නෑ. සමහර දාට පයිප්පෙන් මම වතුර ටිකක් ගන්න ගිහාම ඒකටත් ආච්චි දොස් කියනව. මට හැබැයි වීවින් එකේ අක්කලා වතුර ළිඳෙන් ඇදල දෙනව. ඒක ලොකු වීවින් එකක්. මම ඒකට ගිහින් ටකස්, ටකස් ගාලා රෙදි වියන්නයි, නූල් ඔතන්නයි හරිම ආසයි.  චූටිං බාප්පා රට හිටියෙ. එයා සුදු පුංචි කෙනෙක් බැඳලා මෙහේ ආව. මම ඉතින් දන්න ඉංග්රිිසි යෙන් එයා එක්ක දොඩනව. අපේ අම්මටයි තාත්තටයි හොඳටම ඉංග්රි්සී පුළුවන්. එයාල නිතර භාවිතාකල නිසා අපි තේරුම් දන්නවා උණාට කතා කරන්න හරිම ලැජ්ජයි.

ඔහොම ඉන්න කොට අපිට තව නංගියෙක් හම්බ උණා. එයා තමයි අර නංගියාම වෙලා අපි ළඟට ආවෙ කියල තාත්තයි අම්මයි කියන්නෙ. මට ඇන්ටි කිව්වෙ මෙයා තමයි. http://chandigesithuviliuyana.blogspot.com/2011/05/6.html    එයා හරීම එකතුයි මට. මගෙ මල්ලියත් මට හරිම ආදරෙයි. ඒ දෙන්නගෙ වැඩ හැම දෙයක්ම කරන්න  අපේ අම්මට පුංචි මම උදව් උණා. ඒව කළේ හරිම ආශාවෙන්. මේ ඉන්න කොට මම හතවසරට පාස් උණා. ඔන්න දැන් ටිකක් මට තේරෙනව. මට වයස අවුරුදු දහයක් එකොළහක් වගේ ඇති. අම්ම පොළේ ගිහින් බඩු ගේනකොට මම ඉඳිආප්ප,  තම්බලා මාළු මිරිසට උයල එහෙම තියෙනවා. අම්මට වැඩට කෙනෙක් නෑ. මට පෝරණුවෙ උයන්න වත් උස නෑ. බංකුවක නැඟල තමයි උයන්නෙ. මේ කාලෙ අපි ටිකක් දුක් වින්ද. ළමයි පහක්! කොහොම කන්න දෙන්නද එක පඩියකින්. සමහර දාට අම්ම අපිට කන්න දීල බඩ ගින්නෙ හිටියද කියල මට හිතුණ වාර අනන්තයි. අම්ම කවදාවත්ම අපිට ඒ අඟහිඟ කම් පෙන්නුවේ නෑ. අපිට ආදරය හැම පැත්තෙන්ම ලැබුණ. අම්මගෙ නංගිලා හරියට අපිට බැලුව. අම්මගෙ අම්ම අපි කියන්නෙ වේරැහැ ආච්චි එයා අපිට කරත්තෙක දාල හරියට කෑම ජාති පොල්කොස් වගේ දේවල් එවනවා. පුංචි අම්මලා කැම්පස් යනකාලෙ එහෙ නැවතිලා තමයි හිටියෙ. එයාල ඉන්නකොට ආදරය උපරිමෙන්ම අපිට ලැබුණ.

මේ ඉන්න අතරෙ අපේ තාත්තා පිට රට රැකියාවකට ඉල්ලුම් පත්රයක් දමපු එකකට උත්තර ආවා තෝරා ගත්තා කියල. තාත්තට එහෙම ලැබුණේ අපි පූර්ව ආත්මෙක කරපු ලොකුම පිනකට කියලයි මම හැම වෙලාවෙම හිතන්නෙ. අගහිගකම් වලින් පිරිල තිබ්බ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මේ සිද්ධිය. එදා ඒක දැනගත්තාම තාත්තගෙ අම්ම, සතුට හා දුක එකපාරටම වැඩි වෙලා අංශ භාගෙන් වැටුණ. අම්මයි තාත්තයි දෙන්නම ගමන මාස හයක් පහුකරල ආච්චි අම්මට සාත්තුකලා තනියම ඇවිද ගන්න පුළුවන් වෙනකල්. කලින් අපේ අම්මට කොච්චර වෙනස්කම් කළත් ආච්චි අම්මා ලෙඩින් වැටුණම අපේ අම්මා බොහොම ආදරෙන් එයාව බලා ගත්තා. මේක මගෙ ජීවිතේටත් පූර්වාදර්ශයක් උණා පසු කාලෙකදි.    

අම්මයි තාත්තයි අෆ්රි්කාවෙ යන්න ලෑස්ති වුණා.  ප්‍රශ්නයක් ආවා අපි කාවද එහේ එක්ක යන්නෙකාවද තියල යන්නෙ කියල. අපේ ඉගෙනීම කැඩෙයිදඑහෙ එක්ක ගියොත් කියල. ඔව්නෑ විතරක් කියන්න දන්න අපි කොහොමද ඉංග්‍රිසියෙන් විෂයයන් කීපයක් කරන්නෙවගේ ප්‍රශ්න. විසඳුම ලොකු තුන් දෙනා මෙහේ ඉන්නවා. මල්ලියිනංගියි සැම්බියාවෙ යනවා. ඔන්න මට වගකීම් රාශියක් එක්ක නංගිලා දෙන්නගෙ බරත් භාර ගන්න උණා. අම්මගෙ අම්ම, ‘වේරැහැ ආච්චි අපි තුන්දෙනාව බොහොම ආදරෙන් භාර ගත්තා. ජීවිතේ අන්තිම කාලෙ අපි වෙනුවෙන් කැපකිරීම කරපු එතුමිය ගැන හිතන කොට මගෙ ඇස් අදටත් කඳුළින් පිරෙන්නෙ ඉබේටම. එහෙම කරුණාවන්ත ආත්තම්මෙක් හැම ආත්මෙකම අපිට ලැබේවා.!    
      

අපි වේරැහැ ගමට ආව අම්මලා ගියාට පස්සෙ. එදා ඉඳල අපි පාසැල් ගියේ එහේ ඉඳල.  අම්මගෙ අම්ම තමයි අපිව බලා ගත්තෙ. උදේට වෙල්යාය මැදින් යත්දි සිරීපාදෙ කඳුවැටියෙ හෙවනැල්ල බලන්න මම හරිම ආසයි. ආච්චි අම්ම මගෙ ජීවිතේ හැම දෙයක්ම හැදුව. අම්මගෙ අඩුව මකාලමින් උදෑසන අවධිවීමේ පටන් ගැහැනියක් ඉගෙන ගත යුතු හැම දෙයක්ම ඉගැන්වූයේ ඇයයි. මේ අතරට ගෙදර හිටිය ලෙස්ලි බාප්පපුංචි අම්ම අනෙක් අම්මගෙ නංගිලා හැමෝම අපේ ජීවිත ඒකාලෝක කරන්න උදව් වුණා. ඒ අය තමයි අපිට හරිමග කියා දීල අද අපිට ලස්සන ජීවිත ගෙවන්න මග පෑදුවේ. අපි එයාලට සදා ණය ගැතියි.

මේ කාළෙ තමයි මම ජීවිතේ හැම දෙයක්ම ඉගෙන ගන්නෙ. රට රට වල ඇවිදින්නෙමේ කාලෙ. හැම මාස හයකටම සැරයක් අපි කොහේ හරිම රටකට යනව. ඒවයෙ ඇවිදලා ඒ ජීවන රටාසංස්කෘතිභාෂාමිනිස් චර්යාවන් හැම දෙයක්ම දැන ගන්නෙ ඒ කාලෙ. මට වත් මතක නෑගිය රටවල් ගාන. මතක් කරන්නෙ දැන් තමයි. මුලින්ම ගියෙ සී සෙල්ස් කියන කුඩාම දූපත් සමූහයට. ඊට පස්සෙ කෙන්යාවසැම්බියාවසිම්බාබ්වේඇන්ගෝලාටැන්සානියාරුසියාවඉතියෝපියාවහන්ගේරියාවදකුණු අප්රිකාවබොට්ස්වානාශ්වාසිලන්ඩ්මලාවි ඉන්දියාවඩුබායි මේ වගේ රටවල් ගානක අපි ඇවිද්දෙ තාත්තගෙ රට රස්සාවට පින් සිද්ධවෙන්නයි.  මට මගෙ ආදරණීය අම්මයි තාත්තයි පුදුම ලෙන්ගතු කමක් අදටත් තියෙන්නෙඒක මම ලබාපු ලොකුම වාසනාවක්අපේ තාත්තා ඇවිදින විශ්වකෝෂයක් බඳුයිතාත්තා තමයි හොඳ පොත් කියවන්න මාව පුරුදු කලේ.   ආභාෂය තමයි අදටත් මාව පෝෂණය කරන්නෙ.


කොහෙ ඇවිද්දත් අපේ කම අත් නොහරින්න ඉගෙන ගත්තෙ මා ඉගෙනගත්ත බෞද්ධ පාසැලේ ආභාසයෙන්. අනුලාව සදා අමරණීයයි. මගෙ කවි හිත ලියන්නට තියෙන හැකියාව හැම දෙයක්ම ඇයගේ ඇකයේදී මා උගත් දේයි. මම සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්නෙ මේ කාලෙදි. ඉහළින්ම සමාර්ථ වෙච්ච මට උසස් පෙළ කරන්න උණේ විද්යා විෂයන් වලින්. විද්යා විෂයන් කලාට පාසැලේ කලා සංගමයෙබෞද්ධ සංගමයෙමම එකතුවෙලා වැඩ කලාඅපි නිතර නිතර ආනන්දෙටත් ආව ගීයා කලා උලෙලවල් වලට එහෙමමම ඔය අතරෙ පොඩි පොඩි නිසදැස් කෑලි පත්තර වලටත් කනිටු සරසවියටත් ලියනවඒව එක දෙක පලවෙනකොට මට හරිම සතුටුයිපොඩි ප්රසිදධියකුත් ලැබුන  නිසාමගෙ ගුරුමව් වරු මට හරිම ආදරෙයිඅම්මලත් ලඟ නොහිටිය නිසා ටිකක් වැඩිය මාව බලා ගත්ත කියල මට හිතෙන්නෙ. ඔය කාලෙ මගෙ පොඩි ආදර සම්බන්දෙකුත් තිබ්බ. ගෙදර අය දන්නව උණාට ඇගෙව්වෙ නෑ මට දන්න බව. දන්නවනෙ පාසැල් ප්‍රේම කතා.  උසස් පෙළ ඉවර උණාම අම්මයි තාත්තයි අපි ඒ රටට එන්න කාලය හරි කියල තීරණය කළා. ඒ වෙනකොට ඇති වෙච්ච පොඩි වැරදි තේරුම් ගැනීමකින් මගෙ සම්බන්දෙත් ඉරිතලා ගිහින් නැතිවෙලාම ගොහින්. හිත පෑරිලා හිටිය මම බොහොම කැමැත්තෙන් හිත හදා ගෙන සැම්බියාවට ගියා.  http://chandigesithuviliuyana.blogspot.com/2011/03/blog-post_29.html

මගෙ ජීවිතේ ගොඩාක් සිද්ධි මේ ආදරණීය රටට සම්බන්ධයි. මට මගෙ ආදරණීය මහත්තයා හමුවෙන්නෙමගෙ ආදරණීය දරු තිදෙනා උපදින්නෙ මේ කියන රටේදියි.  අපි හමු උණේ වෙසක් එකට භක්ති ගී පුරුදු වෙන්න ගිහින් හරිම සුන්දර හැන්දෑවක.  භක්ති ගී තිබුන වෙසක් දවස වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි. ඒ හමුවීම මා දෙවන වර උපන්නා හා සමානයි. මගෙ වාසනාවට ඒ වගේ කෙනෙක් මට ලැබුණෙ කියල මම හිතන්නෙ. අපේ තාත්තා තරමට මා ආදරය කරන කෙනෙක් ලෝකෙ ඉන්නවා නම් ඒ ඔහු පමණයි. එදා මට දුන්න ආදරය අදත් ඒ වගේම එහෙමම තියෙනවා. එයා මේක කවදාවත් කියවන එකක් නෑ. මොකද මම දන්න විදිහට මගෙ නිර්මාණ කියවන්නෙ නෑ.  මම  මේ ලියන්නෙ මගෙ දේවල් කියවන අයටයි. ඒ අය මට අක්කා කියල ආදරේට කතා කළාට පේනවනෙ මගෙ වයස.  මේක කියවල වචනයක් නොලීවට ලෝකෙ හැම පැත්තෙන්ම මට ආදරය කරන අය ඉන්නව නේදකියල හිතනකොට මට දැනෙන්නෙ පුදුම සතුටක්.  කොච්චර අය මාව හඳුනා ගත්තදමේ සටහන් කියවල  අය දැන් මගෙ සොහොයුරියක් සොහොයුරෙක් වෙලා ඉවරයිඑක අතකින් මෙහෙම දෙයක් ලියල කෙනෙක් ඒක බලලා එක මොහොතක් හරි හිතල තමන්ගෙ ජීවිත හදා ගන්නව නම් ඒක නේද වටින්නෙ නිසා මගෙ සටහන් බලන්න ආව හැමටම පින්!    වගේම මගෙ යාළුවො කට්ටියම මට මගෙ උපන්දිනය දා කතා කරල සුබ පැතුවමූණු පොතේ කට්ටියත් එක්කමමේ හැමෝටමත් ගොඩක් ස්තූතියි!......


ඒ ආදරය, සෙනෙහස තමයි මේ නිර්මාණ වල උල්පත. අපි බොහොම සුන්දරව අවුරුදු දෙකක් පමණ ආදරේ කළා. එයාගෙ තාත්තත් අපේ තාත්තා වගේ ඒ රටේ රස්සාවට ආව කෙනෙක්. ඊට පස්සෙ අපි වගේම එහේ ගිහින් ඉගෙන ගත්ත අය. මට බොහෝ කාලෙකට කලින් එයා එහේ ඇවිත් තියෙන්නෙ. පෙනුමෙන් ඒ රටේ අයෙක් වගේ. මම මුලින් හිතුවෙම එහෙම. පස්සෙ දන්නෙ ලංකාවෙ කියල. ඇෆ්රො කොණ්ඩෙ දාල හිටියෙ. එහේ අය ඒ වගේ කොණ්ඩෙ හදන්නෙ. කට්ටිය දැකල තියෙනවනෙ අප්‍රිකාවෙ අය. හැමෝම ආදරෙයි අයියටමොකද ඒ දවසවල එහේ ඉන්න අය අතරින් හොඳ ළමයෙක් කියල.   බෞද්ධ පාසැලක ආභාසය ලබපු කෙනෙක්ට වරදින්න විදිහක් නෑ.

එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියල දැන ගත්තෙ ගොඩක් පස්සෙ. ආනන්දෙත් අවුරුදු 15 න් පහළ ක්‍රීඩා කරල තියෙනවා. මට ලංකාවට ආවම ලයනල් මෙන්ඩිස් ගුරු පියා ඒ කාලෙ ගත්ත ටීම් එකේ සමූහ පින්තූරයක් තෑගි කළා. ඒක අදත් මගෙ ළඟ සුරැකිව තියෙනවා. මාව හැම මැච් එකකටම එක්ක යන්න එනවා. අම්මගෙයි තාත්තගෙයි අවසර ඇතිව අපි එයා සෙල්ලම් කරනව බලන්න යනවා. හරිම දක්ෂයි හැම දේටම. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණ ක්‍රීඩකයෙක් කියල කියන්නෙ බොහොම ආඩම්බරෙන්. ගොඩක් ක්‍රීඩා වලට දක්ෂයි. හොකීරගර් පාසැලේදි ක්‍රීඩා කරල තියෙනවා. බැඩ්මින්ටන්ටෙනිස්ටී ටී වගේ ක්‍රීඩා කළා එහෙදි. අන්තිම කාලෙ ගොල්ෆ් ක්‍රීඩාවත් කළා. කැරම් වලට හරිම දක්ෂයි. මාව බලන්න නිතරම ආව ගියා අපි හිටිය ටවුමට. කිලෝමීටර් 450ක් පෙම්වතිය බලන්න, හැම සතියකම ආව ගිය එකම කෙනා මෙයාමද දන්නෙ නැහැ. සමහර දාට රෑ කොච්චියට නගින එයා උදේ පාන්දර අපි ඉන්න ටවුමට ඇවිත්. මට පේනව බහින කොට. අපේ නිවස තට්ටු පහක් උඩ තිබ්බෙස්ටේෂන් එක පේනව එතනට.

ලංකාවෙන් සැම්බියාවට ගියාම මට කරන්න උණේ වාණිජ  විෂයන්. මම කවදාවත් ඉගෙන ගෙන නැති දෙයක් වෙනත් භාෂාවකින් කරන්න උණාම හරිම අමාරුවක තමයි වැටුණෙ. කොහොමටවත් ආස උණේ නෑ ඒව කරන්න. මම හිතා උන්නෙ වෛද්‍ය වෘත්තිය කරන්න නෙ. අන්තිමේ එහෙ ගිහාම ආයෙත් උසස් පෙළ අවුරුදු දෙකම එහේ කැම්පස් එකේ ගෙවන්න ඕනෙ. ඒ ඔක්කොම කාලය අවුරුදු හතයි. ඉතින් අපේ උන්දැ ඒ අවුරුදු හත ගෙවෙනකල් උඩ බලා ඉදීවියැ. කෙළින්ම කිව්ව මොනව ඉගෙන ගත්තත් මම ඔයාව රස්සාවකට නම් අරින්නෙ නෑ කියල. අපේ තාත්තලාගෙ බලාපොරොත්තු නම් සුන් වෙන්ට ඇති. හැබැයි මට ලොකු බලපෑමක් කළේ නෑ එයාල. කොහොම උණත් මම ඉගෙනීම අතෑරියෙ නම් නෑ. තාමත් මම කියන්නෙ, මට ඉගෙන ගන්න දේවල් තියෙනව කියලයි.  එහේදි තාත්තගෙ යහළුවො වෙච්ච දක්ෂ ගුරුපිය වරුන් කීප දෙනෙක් මට ඉගැන්නුවා. එක්කෙනෙක් මේ ලඟදී මේ ලෝකෙන් සමුගත්තා දකුණු අප්‍රිකාවෙදී. අනෙක් අයට දිගාසිරි පතනවා!

අපි අපේ තට්ටු මාළිගාව අත්හැරල ලස්සන වත්තක් එක්ක ගෙදරකට ආව. ඒ ගෙදර නවීන පහසුකම් හැම දෙයක්ම තිබුණ. නාන තටාකයකුත් එක්ක ගෙදරක් අපිට ලැබුණෙ. තාත්තගෙ අලුත් රැකියාව නිසා අපිට ගොඩක් හොඳ කාලයක් ආව.

ඉතින් අපි 1984 ඔක්තෝම්බර් මාසෙ කසාද බැන්ද. මංගල්ලෙ බොහොම ජයට සිද්ධකලා. අපිට තාත්තගෙ ලංකාවෙ යහළුවො වගේම සැම්බියන් යහළුවොත් එක වගේම උදව් පදව් කළේ තිබුණ හිතවත්කම නිසාමයි. ඩයනා කුමාරිය පල්ලියේ එන විදිහට අපේ නිවසෙ පාර ළඟ ඉඳල සුදු පාවඩ මතින් මට එන්න හදල තිබ්බෙ. මගෙ තාත්තා මගෙ අතින් අල්ලගෙන ආවෙ. අපේ මුලු වත්තම අම්මා මල් වලින් සරසා තිබුණ. කෑම බීම ඉතිරෙන්න තිබුණ. සැම්බියන් යාළුවන්ටත් ලංකාවෙ  චාරිත්‍රානුකූල මංගල්‍යයක් බලා ගන්න ලැබුණ. පොල්මලේ පටන් හැම දෙයක්ම මම ලංකාවෙන් ගෙනගියා. මල් කුමාරියො දෙන්නයි, ලිට්ල් මේඩ්ස්ලා දෙන්නයි, බ්‍රයිඩ් මේඩ්ස්ල දෙන්නයි ,පේජ්  බොයිස්ල දෙන්නයි, බෙස්ට් මන් හා තව යහළුවෙකුයි ඒ මල් පාරෙ ඇවිදන් එනකොට හරිම ලස්සනයි කියල මංගල්ලෙ ආව අය කිව්වෙ. ඒ පුංචි අය අද ලොකු තානාන්තර දරනවා. සමහරු වෛද්‍ය වරියො. ගණකාධිකාරීන් වගේම ගුවන්යානා නියමුවෙකුත් ඒ අතර ඉන්නවා. එක් කෙනෙක් දකුණු අප්‍රිකාවෙ බොහොම ප්‍රසිද්ධ නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙක්. එක් කෙනෙක් ලංකාවෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. අහිංසක සතුටක් තියෙන්නෙ ඒ අය ගැන මට.  ඒ දවස මගෙ ජීවිතේ ලස්සනම දවසයි.  ඒ ගැන වෙනම ලියන්නම් වෙලාවක.  පොරුවත් හදල දුන්නෙ එහේ හිටිය දක්ෂම ලංකාවෙ කළා කාරයො දෙන්නෙක්. නම්  ගම් දමන්න අවසර නෑ.

අපි අපේ ජීවිතේ පටන් ගන්න දෙවෙනි දවසෙ උත්සවය මහත්තයා හිටපු ටවුමෙ. එදා අපිට අමතක නොවෙන දවසක්. උත්සවයට ආව අපේ හිතවතුන් පිරිසක් රිය අනතුරකට මුහුණ පෑව. එතනම මරණ තුනක් හා තව අයිය කෙනෙක් පසුවත් අවාසනාවන්ත ලෙස අපෙන් සමුගත්ත. මේක තමයි අපේ පටන්ගැන්ම. මම මහත්තයගෙ ගෙට ගොඩ උණ ගමන්ම අහන්න ලැබුණ දේ. ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි. පරිභව හැම පැත්තෙන්ම. එකම සැනසීම උණේ අපේ අම්මයි තාත්තයි හොඳින්ම වටහලා දුන්න මෙහෙම දේවල් වෙන්න එදාම නෙමෙයි වෙන වෙලාවකත් වෙන්න පුළුවන්අපි ගෙනාව කර්ම ශක්තීන් අනුව තමයි දෙයක් වෙන්නෙ, ඒව වළකන්න බැහැ කියල. හොඳ ආරම්බයක් ලැබිච්ච ජීවිත ගමන බොහොම සුන්දරයි කියල ඔබ හිතනවද

එයා මගෙ අඳුරු වෙලා තිබ්බ ජීවිතේ හරිම සුන්දරව දකින්න පුරුදු කළා. එයාටත් ආදරයක් ලංකාවෙ තිබිල තියෙනවා. ඒ ගැනත් මට කිව්වා. අද අපි හරිම හොඳ යහළුවෝ. ඕනෙම තැනක බොන අය අතරේ එයා හොඳට එක් වෙලා හිටියට මත්පැන්, සිගරට් බීවෙ නෑ. අපි වරු ගණන් ක්ලබ් එකේ මැච් ඉවර වෙලා ඉන්නව. එහෙම ඒ රටවල ඉන්න අය හරිම අඩුයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.  ඉතින් ඒ කාලෙ අපි ගොඩක් ආදරෙන් හිටිය. අදටත් එහෙමම තමයි. පොඩි පොඩි හැල හැප්පීම් නොතිබුණාම නෙමෙයි. වැඩි හරියක් ඔය ඉතින් පුංචි  පුංචි ඉරිසියාවන් තමයි. මම කාත් එක්ක හරි ක්ලබ් එකේ පැවිළියෙන් එකේ ඉන්න කොට කතා කළත් ඒකත් ග්‍රවුන්ඩ් එකේ ඉඳල බලා ඉන්න බව මට අඟවනව. ඒ කාලෙ එහෙම තමයි. නැත්නම් ජීවිතේ සුන්දර වේවියැ.  ලොකු පුතා ලැබෙන්න ඉන්න කාලෙ මට හැම සැපම දුන්න.  දෙවෙනි පුතා ලැබුණ කාලෙ, එයා සැමබියාවෙ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරුණා. ඒක අපි අදටත් බොහොම සතුටු වෙන කරුණක්. ඒක ක්‍රීඩකයෙකුට ලැබෙන මහඟු අවස්ථාවක්. එහේ වැඩියම ඉන්නෙ ඉන්දියන් හා පකිස්තානුවන්. ඒ අය අතරින් අපේ රටේ කෙනෙක් කැපිලි, කෙටිලි මැද්දෙන් ඉදිරියට එන්නෙ දක්ෂකම නිසාමයි.

ලොකු පුතාට  අවුරුද්දක් වගෙ වෙත්දි තමයි මගෙ මල්ලි ඇමෙරිකාවට යන්නෙ ඉගෙන ගන්න. අපේ තාත්තා මුලදි ටිකක් අකමැති උණා. පවුලෙ එකම කොල්ල වල් වැදේවි කියල හිතන්නැති මයෙ හිතේ. ඒ උණාට එයා මගෙ බාලම නංගිටත් උගන්වලා අද ලෝකේ ලොකුම තැනක ඉන්නව. අපේ පවුලට මගෙ එකම මල්ලියා ලොකු පහණක්. අපිට තිබ්බ ආදරය සෙනෙහස අබ ඇටයක තරම වත් වෙනසක් වෙලා නෑ ඒ රටේ නංගි කෙනෙක් කරකාරෙට ගත්තට. ඈත් මට මගෙම සොහොයුරියක් හා සමානයි. නංගි විශ්වවිද්‍යාල ඇදුරු තුමියක්. ඈ කරකාර බැන්ඳෙත් විජාතිකයෙක්. හැබැයි කාටවත් කියන්න බෑ එයා ලංකාවෙ නෙවෙයි කියල. ඒ තරම්ම අපේ කෙනෙක් වගේ.  ලොකු නංගි කසාද බැන්දෙ අපි ලංකාවට ආව අලුත. ඈට පුතාල දෙන්නෙක් ඉන්නවා.  පොඩි නංගි අම්මලත් එක්කම එහේ ඉඳල ලංකාවට ඇවිත් කසාද බැන්දෙ. එයා අකාලයේ පිළිකා මාරයාට ගොඳුරුව අපිව දාල යන්න ගියා. එයා ගේ මහත්තයා හරිම ආදරෙන් එයාව බලා ගත්තා මිය යන මොහොත දක්වාම. මගෙ ජීවිතේ කවදාවත් මතක නැති වෙන්නැති දිනයක් එදා. මලක් වගේ හැම වෙලාවෙම හිටිය ඈ වයසක ආච්චි කෙනෙක් වගේ එයාගෙ අවසන් ගමන් ගියෙ. මම වගේ නෙවෙයි,  එයා පොඩි කාලෙ ඉඳලම හරිම ආසයි ලස්සනට අඳින්නහැඩට ඉන්න. නියපොත්තක් වත් කැඩෙනවට ආස වෙච්චි කෙනක් නෙවෙයි. හැම වෙලාවෙම ඇඟිලි පාට කරලතොල් පාට කරල හිටිය කෙනෙක් එයාමම මගෙ විවාහ වෙන දවසෙ වත් කිසිම දෙයක් ගෑව නැති කෙනෙක්. ඉතින් පොඩි නංගි  සංසාර දුක අපිට කියල දීල ගියෙ අපි කවුරුත් නොහිතපු වෙලාවකයි.
සෙනෙහසක මහිම ලින්ක් එකෙන් බලන්න අපි ලංකාවට එනතෙක් විස්තර කෙටියෙන්. මෙහෙම ගියොත් මට පොතක් ම ලියන්න තමයි වෙන්නෙ. ලංකාවට ආවත් තාම මම ඒ රටේ ඉන්නෙ වෙලාවකට. රෑ හීනෙන් අපි ඇවිද්ද පාරවල් වල ඇවිදිනව.  ඒ මම ඒ තරම්ම එහෙට කැමති නිසා වෙන්න ඇති. හරිම සුන්දරයි ඒ මතකය.   ලංකාවට එන තෙක් අපිට වදනකින් හරි උදව්වක් වෙච්ච අපේ රටෙත්, ඒ රටෙත් අපේ යාළුවන්ට ස්තූතියි!   


ඉතිරි කොටස ඊළඟට බලන්න. http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_7154.html    එකටම දාන්න ටිකක් දිග වැඩියි වගේ. එක අතකට තව කොච්චර දේ තියෙන්වද ලියන්න.

20 comments:

Chatura Wijekoon said...

ජීවිතයට ගන්න දේවල් ගොඩයි.. අක්කට දිගාසිරි පතනවා..

නලිනි චන්දිමා said...

සොඳුරු දිවියක ගලාබැස්ම. එක හුස්මට කියවන් ගියා අක්කා. උපන්දිනේ දවසෙදි මට සුභ පතන්න බැරි වුණානෙ. ඔන්න මේ ගමන් ඊටත් සුභ පතනවා. විවාහ සංවත්සරයත් ලබන මාසෙ නේද එතකොට?

Bindi said...

හරිම ලස්සන ජිවිත කතාවක් . පොඩ්ඩක් වත් කම්මැලි වුනේ නැහැ කියවද්දී . කවදාහරි දවසක අක්කගේ මගුල් දා පින්තුර බලන්න ආසයි . පුද්ගලිකවම ඔබේ සොඳුරු සිතයි වතයි දැක ඇති නිසා හරිම සතුටුයි. ඔබටයි අය්යටයි සියලු දෙනාටමයි නිරෝගී බව , සතුට නිරතුරුවම පතනවා .

තිස්ස දොඩන්ගොඩ said...

ජීවිතයම උක්දන්ඩක් වැන්නේ
වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ..

අකුරක් නෑර කියෙව්වා

ටී බී ඉලංගරත්නයන්ගේ එහෙම නැත්නම් තිස්ස අබේසේකරයන්ගේ රචනයක් කියෙව්වා වාගෙයි...

බ්ලොග් පිටුවක සිරවුණාට ඒ ගෙවුණ තප්පරයක විනාඩියක කොච්චර ගැඹුරක් තියනවද..

කියන්න දෙයක් ඉතිරි කර නැත..
ජීවිතය නිරවුල්ව ගෙනයන්න හැමට මග එලි දක්වන පහන් ටැඹක් ඔබ දල්වා ඇත...

රූ.... said...

දිවි මගේ පනස්වන කඩ ඉම පසුකර
තවත් සොඳුරු මතකයන්ට ඉඩ සාදාගන්නට
සුභ පැතුම්...

හිරුහිමාවී said...

සුභ පතනවා ආන්ටි :)
ආන්ටි කිව්වට තරහක් නැහැ නේ??
ජයම වේවා!

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

අක්කේ ඔයාට සුබ උපන්දිනයක්!!! ඇත්තෙන්ම දරු මුනුබුරන්ගෙන් පිරුනු සුබ අනාගතයක්!!!

Chandi said...

@ චතුර;
බොහොම ස්තූතියි! මල්ලි. කාලය ඉක්මනින් ගෙවෙනවා. මට මේ ටිකේ ඔයාගෙ සටහන් ටික බලන්න බැරි වුනා. ඉක්මනින්ම බලන්නම්.

Chandi said...

@ නලිනි;
සුබපැතුමට ස්තූතියි! නංගි. මම දන්නවා එදාම සුබපැතුවෙ නැති උනාට ඔයාල හැමදාම මාත් එක්ක ඉන්නවා කියල.

Chandi said...

@ බින්දි;
ස්තූතියි! සුබ පැතුමට නංගි. මට මේ වෙලාවෙ ස්කෑන් කරන්න විදිහක් නෑ නැත්නම් ඒ පින්තූර කීපයක් හරි දමන්න තිබුනා. මේ පොස්ට් එක දමත්දිත් සෑහෙන්න කරදර වුනා අපේ SLT සම්භන්ධතාව නිසා, ඒ නිසාම ලාංකීය සිතුවිලි එකේ පොස්ට් එක කීප පාරක් වැටිලා තිබුනා.

Chandi said...

බොහොමත්ම ස්තූතියි! තිස්ස මල්ලි. මේ විස්තරයම මට බ්ලොග් පිටුව සේම වටිනවා. ඔබ වැනි සොයුරෙක් හඳුනා ගන්නට ලැබීමම පිනක්. ඒ පහන් ටැඹෙන් කා හරි එළියක් දකීනම් ඒ තමයි මගේ සතුට.

Chandi said...

@ රූ;
ඔබටත් බොහොම ස්තූතියි රූ. ඔබලාටත් සොඳුරු දිවියකට සුබ පැතුම්!

Chandi said...

@ හිරු හිමාවී;
අනේ නෑ දුවේ. මම කලින්ම කිව්වනේ. ඔයාටත් වාසනාව සතුට පිරි සුබ අනාගතයක් පතනවා. ස්තූතියි! සුබ පැතුමට.

Dinesh said...

ජීවිතේ ගලා ගෙන ගිය හැටි අපුරුයි නේද.. සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

Chandi said...

@ ඊ මේල් කවිකාරි,
බොහොම ස්තූතියි සුබ පැතුමට නංගියෙ. ඔයාගෙ සටහන් ටික දිගටම කියව්වා, වදනක් නොලීවාට.

Chandi said...

@ දිනේශ්,
ස්තූතියි. ජීවිතය ඉතින් වෙනද වගේම ගලා යනව. සුබ පැතුම්! ඔබටත්.

ගංඟාවේ ගීතය said...

වසර පනහක් ආපස්සට බලුවාම හිතෙන දේවල් කොහොමද බලන්න මටත් ආසයි...

මේ ආවර්ජනය හරිම සුන්දරයි.... දුක උනත් පෙන්නන්නෙ සැනසීමට යන්න ඕනි පාර නෙවෙයිද?

වසර පනහක අතීතයටත් එලැඹෙන අනාගතයටත් සුභ පැතුම්

මමත් අනුලාවියක් .... මන් අපේ ඉස්කෝලෙට ඇතුල් උනේ පළමු වසරට ඒ 1991දී...
2004
දි ඒ අම්මාගෙ තුරුලෙන් පිටඋනේ හදවතේ කොටසක් ඒ තුරුලෙ තියලයි....

 අක්කේ ඒ අතින්... මං ඔයාට දුරින් නංගියෙක් වෙනවනෙ...
ආඩම්බරයි..

මේ වගේ නාදුනන සඹඳකම් ගැන හිතද්දි හරිම පුදුමයි.... නිතර ප්‍රතිචාර සටහන් නොකරාට අමනාප වෙන්න එපා.....  ඔයාට සුභපැතුම්!

Chandi said...

@ ගංඟාවේ ගීතය;
ඔයා මගෙ දුවක් වගේ නිසා එහෙමම අමතන්නම්. මගෙ ලොකු පුතාට දැන් වයස 27ක් නෙ. දුවේ මේ නාඳුනන සබඳකම් නම් හරිම පුදුමාකාර තමයි. ඔයාව මම කාලයක් තිස්සෙ දන්නෙ මම ඔයාගෙ ලිපි කියවන නිසා. මට මතක විදිහට චූටි පුතාට අවුරුදු දෙක පිරුණ දාත් මම කමෙන්ටුවක් දැම්ම. මමත් දුවේ පළමු වසරෙ ඉඳලම ගියෙ අනුලාවට. මගෙ ජීවිතේ හැම දෙයක්ම මම ලැබුවෙ ඇගෙ ඇකයෙදියි. මට වාසනාවට හොඳ මග කියාදෙන ගුරු මව් වරු ලැබුන. ඒ අතරින් අබේසිංහ මිස්, තේනබදු මිස් ,චන්ද්‍රා ප්‍රනාන්දු මිස්, ආදිහෙටිටි මිස්, කල්‍යාණි මිස් වගේ ගුරුමෑණි වරු හරිම විශේෂයි. කමෙන්ටුවක් නොදැම්මට ඇවිත් යනව නම් ඒ ඇති. තව ඉස්සරහට චූටි පුතාගෙ විස්තට පුංචි අම්මලාට ගොඩක් තියේවි ලියන්න. වාසනාවන්ත අනාගතයකට ආසිරි පැතුම්! මේ නැන්දා ගෙන් හැමෝටම.

Kathandara Karaya said...

මගේ සුභ පැතුම්!

හැබැයි මෙතන කතන්දර විසිපහක් විතර තියෙන බව නොකියා බෑ. ඉතුරු විසිපහ ඊලඟ කොටසේ ඇති.

Chandi said...

@ Kathandara Karaya;
ස්තූතියි! කතන්දර මල්ලි. එක අතකට බලපුවාම ජීවිතයම කතන්දර ගොඩක් තමයි. කාලෙකින් හොඳ සින්දුවක් දාල තිබ්බා.

Post a Comment