Sunday, June 22, 2014

අත්හැරීම.



සඳ දිය දහරින් නහවා මා හද
හිම කැටයක මුදු සිසිලස රඳවා
සිසිලැල් කරවූ ඔබමයි  නිරතුරු
සැඩ හිරු පහරින් මා දවාලන්නේ

සමනළ තටුවක සුසිනිඳු පහසින්
මා වත සිඹ සනසවමින් 
දැවටී දැවටී නිරතුරුවම ඔබ
සනසා මාගේ මුළු ජීවිතයම

දේදුනු මාවත සසර පුරාවට 
සැරිසරමින් මා අත ගෙන
නහවා නහවා සෙනෙහස් දහරින්
ජීවිතයම පහන් කෙරූ නුඹ

ආදරයේ මුදු පියවිළි මත්තේ 
හිමිහිට හිමිහිට ඇවිද යන්නට 
ඇයිද හිදින්නේ අත නොහැරම නුඹ
යන්නට නම් මේ කාලය ඇවිදින්

4 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ලෞකික අර්ථයෙන් එක තේරුමක් ගත හැකි
අලෞකික අර්ථයෙන් මේ "සක්කාය දිට්ඨිය" එක්ක කරන සංවාදයක් කියල ගන්නත් හැකි නේද?

Dinesh said...

ලස්සනයි අක්කෝ.. කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ..

Chandi said...

ඇත්තෙන්ම යටි අදහස නම් එයමයි තිස්ස මල්ලි. ඔබට ස්තූතියි! මේ අත්හැරීම හැර යන්නේ කොහොමැයි? සිත නිතරම කරදර කරනවා නොවැ. ඇත්තෙන්ම සක්කාය දිට්ඨියම තමා බිඳ දමන්න ඕනෙ.චුල වේදල්ල සූත්‍රයෙහි මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් තියෙයෙනවා. රහතුන්ගේ ධර්ම සාකච්ඡා පොතෙහි ඉතාම ලස්සනට මේ සක්කාය කියන්නේ කුමක්ද? එය ප්‍රහානය කරන්නේ කොහොමද කියල කියැවෙනවා. තෙරුවන් සරණයි!

Chandi said...

බොහොම ස්තූතියි දිනේශ්. අවිවේකය තමා හේතුව.

Post a Comment