Posts

Showing posts from 2018

ආදරණීය මලීෂා 9 වන කොටස.

Image
ඩේවිඩ් ලිවිංස්ටන් මහතා ගේ පිළිරුව.  අපි සියල්ලෝම බස් රථයකින් යලිත් ගම්මානයක් බලා පිටත් වුනෙමු. අපිට අපේ ජාතික ගෝත්‍රික  නැටුම් බලාගැනීමට හැකි වේවි යැයි මගේ ගුරුතුමිය පවසා සිටි හෙයින් අපි ඉතා සතුටින් සිටියෙමු . ගම්මානයේ මැද මිදුලේ අප යනවිටත් ඔවුන් ඒ සංදර්ශනය සඳහා ලක ලෑස්ති වී සිටියහ . වෙස්මුහුණු හා වර්ණවත් පාටින් ඔවුන්ගේ මුහුණු වර්ණවත් වී තිබුණි . ඉතා වර්ණවත් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටි ඔවුන් අපේ පැමිණීමෙන් සතුටු වූ බව අපි දුටුවෙමු . හූ හඬින් තොල් වලට ගසමින් වූඋ....හූඋ... ශබ්දයන් නිකුත් කරමින් ඔවුන්ගේ නැටුම් ආරම්භ විය. වටේ කැරකෙමින් තාලයට බඳ හා පස්සා පැත්ත  ලෙලවමින් ඔවුන් නැටුම් ඉදිරිපත් කලේ අප සැම කුල්මත් කරමිනි. විශේෂයෙන්ම මලීෂා ඇතුළු ඇගේ පවුලේ අය මේ සංදර්ශනය දෙස අමන්දානන්දයෙන් යුතුව බලා සිටිනු දක්නට ලැබුණි . පැයක කාලයක් අපි නැටුම් බලමින් සතුටු වූ අතරම අපිද නැටුවෙමු. නැටුම් සඳහා ඇයද අප හා ලැජ්ජාවෙන් යුතුව එක් විය. අපි ඇයව වට කර ගෙන නැටුවෙමු . ඒ මිහිරි රාත්‍රිය තවමත් මගේ මතක අතර තැන්පත් ව ඇත්තේ කිසිදා නොමැකෙන ලෙසිනි . අපි නවාතැන් පලට පැමිනෙන විට රෑ බෝවී තිබුණි .

ආදරණීය මලීෂා - 8 වන කොටස.

Image
වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්‍රිකානු වෙකුගේ හදවතේ තමන් අප්‍රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක්  ඇතියවුන් ලෙස අප්‍රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ

ආදරණීය මලීෂා - 7 කොටස.

Image
           හිමිදිරිය වසන්ත සුළඟේ හමා යන සීතලෙන් ගත නිවයි. උදෑසන කුරුලු නාදයත් , මොණරුන්ගේ කෑ ගැසීමත් සමඟ මම අවදිවීමි. කිසිවෙක් අවදිවූ බවක් නොදැනුණි. මම හිමිහිට එලියට ආවෙමි. මද සීතලක් සමඟ මුසුවූ මිහිරි මල් සුවඳකින් මගේ හදවත පිරී ගියේය. විශාල ගස් කිහිපයක් සහිත ආවරණයක් යටට මා පැමිණියේ හිමිදිරිය සුන්දරත්වය විඳගනු පිණිසය. විශාල බට පඳුුරක්  ඒමේ අත වැනෙමින් ක්‍රීක් ක්‍රීක් ශබ්දයක් නිකුත් කරයි. තණපත් මත කුඩා මකුළු දැල් වන් වියන් වේ.  ඒ මත පිනි වියන් සෑදී ඒවා ලාහිරු එළියේ දියමන්ති සේ දිලේ. ඒ මත පය තබන විට දැනෙන සිසිලසට මම කවදත් ප්‍රිය කරමි. සමන් මල් මෙන්ම කුඩා ගඳපාන මලින් ද මේ  ගස් වටා එතීගිය තන්බර්ජියා වැල් පුරාවට පිරුණු දම් පැහැ මල්ද පරිසරය වර්ණනවත් කරයි. හිමිදිරි පාන්දර යන්තම් එළිය වැටී එයි.  ලා හිරුරැස් වැටී බිමමත නේක රටා මවයි.   කුරුලු ගීත දස අතම ඇසේ. ඉඳහිට ලේනෙකුගේ හඬත්, බකමූනෙකුගේ හඬත් එකිනෙක පරයා ඇසේ. මා අසලින් ගමන් ගත් ලේන් පැටියෙකු බිය වී ගසක් මතට නැග්ගේ කලබලයෙනි. වැසි වැටී තිබු පරිසරය නැවුම් බවක් උසුලයි . මලීෂා ගේ මව ඈතින් එනු පෙනෙයි. "චිලේශි, උදෙන්ම නැගිටලා නේද? සුබ උද

අම්මා.

Image
සසර සරණා පතිනි මවුවරුන් සෙනෙහස බෙදනා නිමල සිතින් දොර ගලා යන ආදර  සෙනෙහෙන් රකිනා පියතුම හා ඇයගේ දරුවන් නිදි නොලබා නෙත නිති නිදිවරමින් හිරු වඬිනා කල හිමිඳිරි උදෑසනින් බත සලසා ඈ ගිහි ගේ ගිනි පිඹිමින් නිති රකිනා  තම දරුවන් ඇස මෙන් ජීවිතයේ බර මෙසේ අදිමින් ගතේ විඩා දුක් කිසිත් නොතකමින් නේක නේක දුක්  ඉවසා දරමින් අම්මා යයි මේ සසර මගෙහි  සතුටින් චාන්දි.

ආදරණීය මලීෂා 6 කොටස.

Image
මගේ ජීවිතයේ පරිවර්තනය සිදුවූ මේ අවධියේ මම මගේ පියාගේ නැගණිය අප හට අහිමි වූයේ  පෙර සසර කල කර්ම විපාක වල ප්‍රතිඵලයක් ලෙස බව වටහා ගතිමි. එමෙන්ම මගේ දෙමාපිය දෙපලගේ දෙමාපියන් ද අපව හැර දමා කෙදිනක හෝ යන බවත් සියලු දේ සිදු වන්නේ දෙවියන් ගේ කැමැත්ත ටම නොව අපගේ කර්ම ශක්තිය අනුව බව වටහා ගත්තෙමි. අප නිතර පාසැලේ දී විවේක අවස්ථා වලදී ධර්ම සාකච්ඡා කලෙමු. මගේ දහම් දැනුම මෙන්ම ජීවිතාවබෝධය ලබා ගැනීමට මේ සාකච්ඡා බෙහෙවින් ඉවහල් විය. කෙමෙන් කෙමෙන් අප පාසැල් වාර අවසානය ලඟාවිය . අපි මේ අවුරුද්දේ ලිවිංග්ස්ටන් යාමට කතිකා කරගත්තෙමු. ලිවිංග්ස්ටන් නගරය සිම්බාබ්වේ හා සැම්බියානු දේශ සීමාවේ පිහිටා තිබේ . මනරම් වික්ටෝරියා දිය ඇල්ල පිහිටියේ මේ කුඩා නගරයේය. අපි සැම බොහෝ උනන්දුවෙන් ඒ සඳහා ලක ලැහැස්ති වීමු. දුර ප්‍රමාණය කිලෝ මීටර් 490 කි. යාමට ගතවන කාලය පැය හතකට ආසන්නය. පන්තියේ සැම දෙනෙක්ම මේ සඳහා යම් කාර්ය භාරයක් ඉටු කල යුතුවූ හෙයින් අපි සැම සාකච්ඡා කොට එක් එක් කෙනාට වැඩ පැවරුවෙමු. මහ මඟට අවශ්‍ය කෑම බීම  මෙන්ම බෙහෙත් හේත් ද අනෙකුත් අවශ්‍ය දෑද සාමූහිකත්වයෙන් සපයා ගත්තෙමු . මලීෂා ගේ දෙමාපියන් ද ස්ව කැමැත්තෙන

ගමන් මග

Image
සිනාසුණු තැන් ජීවිතේ බොහොමයි සිත රිදුණු තැන් ද ජීවිතේ බොහොමයි හොවා මා හිස ඔබේ ලය මඬලේ පිරිමදින විට සියලු දුක් ගිනි පහව යයි රිසිසේ සසර එක් නවාතැනක් පමණ ද මේ ඒ නවාතැන  සදා සෙනෙහෙ මිහිරෙන් පුරවා මගේ දිවියට සතුට සැනසුම ලබා දුන් නුඹ පුදම් බැති පෙම් උපදවා ලය මඬලේ මේ අතිර සසර මගේ මාද ඔබ හැර යනු ඇතී මගෙ රත්තරනේ පාළුවෙන් හිත පුරවනු ඇතී දහම් මග යමින් ඔබ සැනසුම  ලබනු ඇතී නිවන්නට බව ගිමන් නිබඳ මා හා එනු ඇතී චාන්දි .
Image
පුංචි සුරංගනාවිය  ! අතීතයේ එක් දිනෙක හමුවූ මගේ පුංචි සුරංගනාවිය මතකයේ මතක මත සරන්නී නොදන්නී ඈ... මා ඇයට ආදරය කල බවක් දිනගනන් සති ගනන් මග බලා සෙනෙහසින් බලා උන්නෙමි පවසන්න හද පිරි සෙනෙහස ඇයට කාලය ගෙවී ගියමුත් සමු අරන් මා ඇගෙන් දුර ඈත මතකයන් සරයි නිතර හද රිදවමින් අපි අපෙන් ඈත් වී බොහෝ කල් නමුදු මතක අතර නිබඳ දැවටෙමින් හදවතේ කොනක ඈ හිදී හිනැහෙමින් අමතක කරන්නද ඒ සුවඳ මා ලඟින් චාන්දි.
Image
ඔබ නිදනවා හැමදාම ආදරෙන්  මං ගාව සයනයේ දකින හීනයක නෙතු ගාව හිමිදිරිය නින්දෙන් මා ඇහැරවන   වත ගාව හැමදාම මා ඉන්නම් ආදරෙන් නුඹ ගාව වසන්තය ඉගිලිලා නොමයාවි කිසිදාක අපේ ආදරේ නම් පවතීවි හැමදාම එදා වාගෙම අදත් පායාවි හඳ පාන ගෙවේවි හැමදාම මදුසමය වාගේම මේ ගෙවන්නෙ අප ජීවිතේ හැන්දෑව බොහෝ මතකයන් ඇත මිහිරි කවියක්ව කාලයේ වැලිතලා වෙන් වැසීයන අපූරුව තවත් එක ආත්මයක් ගෙවී යයි සුන්දරව අපි අපේම වී දැන් බොහෝ කල් ගෙවී ඇති කිසි ලෙසින් නොවේ අපි දුරස් වී ඇති දුක සතුට එකසේම දරා අප විත් ඇති සොඳුරුව අප ජීවිතේ ගංගාව ගලා යනු ඇති